2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ලංකාවේ පැරණිම සඟරාවට අවුරුදු 175යි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 297

ශ්‍රී ලංකාවේ අඛණ්ඩව අදටත් පළවෙන පැරණිම ශාස්ත්‍රීය සඟරාව වන්නේ රාජකීය ආසියාතික සංගමයේ සඟරාවයි. Journal Of The Royal Asia Society Of Sri Lanka නම් එය අදත් භාෂාව පුරාවිද්‍යාව, ඉතිහාසය, සමාජ විද්‍යාව, මානව විද්‍යාව ආදී ක්ෂේත්‍රවල ගැඹුරු පර්යේෂණ ලිපි පළකරයි. මෙම සඟරාව පවත්වාගෙන යන රාජකීය ආසියාතික සංගමයට ද පසුගිය පෙබරවාරි 7දාට වර්ෂ 175ක් සපිරිණි. 175 වැනි සංවත්සරය වෙනුවෙන් 2020 පෙබරවාරි 7දා සිට 2001 පෙබරවාරි 7 දා දක්වා වැඩසටහන් රාශියක් සැලසුම් කර තිබේ.

වර්ෂ 1845 පෙබරවාරි 7 දා එවකට යටත්විජිත විනිසුරුවරයකු වූ ජේ. ස්ටාක් මූලික වී එය ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික, ශාස්ත්‍රීය, කලා ශිල්පාදී කෞශල්‍යයන් ගවේෂණය ඇතුළු ජීවී අජීවී පරිසරය අධ්‍යයනය එහි අරමුණ විය. මහවැලි කේන්ද්‍රයේ දෙවැනි මහලේ පිහිටුවා ඇති රාජකීය ආසියාතික සංගමය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉංග්‍රිසි උගතුන්ගේ තෝතැන්නක් විය. එය බ්‍රිතාන්‍ය රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස ක්‍රියාත්මක විය. නිදහසින් පසු සිංහල ඉංග්‍රීසි ද්විභාෂික ශ්‍රී ලංකිකයන් එහි ශාස්ත්‍රීය පර්යේෂණවල නිරත වූහ. ස්වාධීන සංගමයක් බවට ද පත්විය. 1100කට අධික සාමාජික සංඛ්‍යාවක් මෙහි සාමාජිකත්වය දරති.

“ලංකාවේ සිටි ඉහළම විද්වතුන් තමයි මෙහි සභාපතිවරැ වුණේ. පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී.බී. ජයතිලක, මහාචාර්ය සෙනරත් පරණවිතාන, රදගුරු එඩ්මන් පීරිස්, විල්හෙල්ම් ගයිගර්, මහාචාර්ය නන්දදේව විජේසේකර ඒ අතරින් කිහිප දෙනෙක් පමණයි. මේ සෑම කෙනෙක්ම සංගමයේ සඟරාවට ලිපි සැපයූවා. ඒවා ඉතා වටිනා පර්යේෂණ ලිපි. ඉන් සමහරක් සිංහලටත් පරිවර්තනය කර පළ කර තිබෙනවා. ආචාර්ය සෝමපාල ජයවර්ධන පරිවර්තන කළ සී.ඩබ්. නිකලස්ගේ මධ්‍යකාලීන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය ඒ අතරින් එක් පොතක් එලෙස පැවසුවේ සංගමයේ උපසභාපතිනි මහාචාර්ය කුසුමා කරුණාරත්නය. රාජකීය ආසියාතික සංගමයේ පුස්තකාලය ඉතා දුලබ කෘති රාශියකින් සමන්විත විමර්ශන පුස්තකාලයකි. එහි ග්‍රන්ථ 12000ක් පමණ රුස්කර තිබේ.

මෙහි සංවත්සර ශාස්ත්‍රීය වැඩසටහන් පිළිබඳව සඳහන් කළ සංගමයේ සභාපති කීර්තිමත් වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වොෂ් මෙසේ පැවසුවේය. “ඉතිහාසය පිළිබඳ සඟරා වෙළුමක්, පැරණි සඟරාවල පළවූ වටිනා ලිපි නැවත මුද්‍රණය, පාලි භාෂාවෙන් විශේෂ කෘතියක් වගේම පාලි පාඨමාලාවක් ආරම්භ කිරීමටත් සැලසුමක් තිබෙනවා. ලංකාව හා චීනය අතර ඓතිහාසික සම්බන්ධතා, ලංකාව හා ඉරානය අතර සම්බන්ධතා, දකුණු ආසියාව ගැන ආදී වශයෙන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ මාලාවකුත් ඉදිරියේ පවත්වනවා. ලංකාවේ විශිෂ්ට විද්වතුන් සිහිපත් කිරීම සඳහා මාසික දේශන මාලාවක් පෙබරවාරි මාසයේ සිට ඇරඹෙනවා. එය සෑම මාසයකම අන්තිම සඳුදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම ලෝකයට ගෙන ගියේ රාජකීය ආසියාතික සංගමයේ ශාස්ත්‍රීය සඟරාවයි. එම ලිපි ලෝකය පුරා විද්වතුන් අතර හුවමාරැ විය. කතාබහට ලක්විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මිනින්දෝරැ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු පුරොගාමී රාජ්‍ය ආයතන රාශියක් ආරම්භ කිරීමට ද මේ සංගමය මුල්වූ බව බොහෝ දෙනා නොදනිති.

වර්තමාන සමාජයේ පාසල් සිසුන් ඇතුළු පාඨක ප්‍රජාව පොතපත පරිශීලනයෙන් ඈත් වන නිසා ගුරු - සිසු සහිත පාසල් ප්‍රජාවට අතීත විශිෂ්ට උරුමයන් පිළිබඳ ගවේෂණයට සුදුසු පරිසරයක් සකස් කිරීමට ද රාජකීය ආසියාතික සංගමය මුලපුරා ඇත. ඒ සඳහා සුවිශේෂ වෙබ් අඩවියක්ද සැලසුම් කෙරෙමින් පවතී.

පාඨක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00