2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ලංකාවත් වහවැටුණු බීට්ල්ස්ලාගේ ඕ-ලඩී... ඕ-බ්ලඩා...

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 170

ඒ ලිවර්පූල් දෙසින් ආ බීට්ල්ස්ලාගේ ගී රැල්ල සුළං රැල්ලක් මෙන් ලෝකයේ දසත හමාගිය යුගයයි. ඒ පැඟිරි කොල්ලන් සිව් දෙනකු නවසිය හැටේදී එක්වී, එම දශකය අග වෙද්දී මුළු ලොවම තමන්ගේ සංගීත රිද්මයට නතු කරගත් යුගයයි. ඒ තම තමන්ගේ භාෂාවෙන් ගී ඇසූ ලොව සංගීත රසිකයා බීට්ල්ස්ලාගේ ඉංග්‍රීසි ගීයට සවන් යොමා ඒවායේ වචනවල අරුත හරි හැටි නොතේරුණත් එම රිද්මයටත්, ගායනයටත් තනුවටත් ආසා කරන්නට ගත් යුගයයි. ඒ නවසිය හැට ගණන්වල අග භාගයයි. ඒ වන විට අප රටේ තරුණයාට ද ගිටාරයට වහවැටෙමින් සංගීත කණ්ඩායම්වලට ගොනු වෙන්නට බීට්ල්ස් රැල්ල බොහෝ සෙයින් බලපෑවේය. අප රටට ද ඔවුන් කෙතරම් බලපෑවේ ද කියතහොත් ඇතැම් වෙසක් සැරසිලිවල පවා බීට්ල්ස් සිව්දෙනා ගායනා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය විය.

බාබා බ්ලැක්ෂිප් වැනි ළදරු ගීයක් හැරෙන්නට වෙනත් ඉංග්‍රීසි ගීයකට හුරු නොවී උන් මෙරට පොදු සිංහල ගීත ශ්‍රාවකයෝ බීට්ල්ස්ලාගේ එක් ගීයකට හොඳින් දෙසවන් විවර කළහ. එම ගී තනුව දශක ගණනාවක් පුරා ඔවුන්ගේ දෙසවනේ රැව් දුන්නේය. එම තනුවට අදාළ බීට්ල්ස්ලාගේ මුල් ගීතය මෙයයි. (මේ එම ගීයේ කොටසකි.)

Desmond has a barrow in the market place
Molly is the singer in a band
Desmond says to molly, girl I like your face
And Molly says this as she takes him by the hand 
Ob – la di Ob – la – da – da life goes on bra,
La – la, how the life goes on.

ඩෙස්මන්ඩ් සහ මොලීගේ මෙම ආදර කතාව තුළ ඩෙස්මන්ඩ් මොලීට කැරට් විස්සේ රන් මුදුවක් මිලට ගත් ආකාරයත් ඔවුන් ගෙවල් දොරවල් ඉදිකර දරු දෙදෙනකු ලැබූ ආකාරයත් විස්තර වේ. ඉන්පසු දෙදෙනා පවුල් දිවියේ බර උසුලමින් එකිනෙකාගේ සුපුරැදු කාර්යයන්හි නිරත වේ. ජීවිතය ඔහේ ගෙවී යයි. ඒ නිසා මෙය එක් ආකාරයක අවසානයේ ශෝකය දනවන ආදර කතාවක් ලෙස ද අර්ථ නිරූපණය වේ.

මෙම ඉංග්‍රීසි ගීයේ ශ්‍රාවකයන්ගේ අවධානය එකහෙළා පැහැරගත්තේ Ob – la – di Ob – la – da – bra යන ඛණ්ඩයයි. එය ඉංග්‍රීසි පදයක් ද වෙනත් භාෂාවකින් ආ පදයක්දැයි සිතන්නට කුඩා අපි ද එකල උනන්දු නොවූයෙමු. එහි එන සරල ඉංග්‍රීසියේ පවා උච්ඡාණය නොවැටහුණු නිසා, අප ද අසුවූයේ ගීයේ රිද්මයටත්, ගායනා විලාසයටත්, එහි තනුවටත්ය. ඉංග්‍රීසි ගී ගැයූ මෙරට සංගීත කණ්ඩායම්වලට ද මේ ගීය සංදර්ශනවලදී නොගයා ඉන්නට නොහැකි විය. සිංහල ඉංග්‍රීසි භේදයකින් තොරව මෙරට නාගරික සංගීත රසිකයෝ මෙම ගීය වැළඳ ගත්හ. හැට අටේ එළිදුටු මෙම ගීයේ තනුව තවමත් අප අතර ප්‍රචලිතය. එම තනුවට ලැබුණු ජනප්‍රිය බව නිසාදෝ 1971 තිරගත වූ “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටයේ “කොඩිගහ යට මම උපන්නේ” ගීයේ තනුව වූයේ මෙම ගීයේ තනුවයි.

මුල් ගීයේ Ob – la – di, Ob – la – da (ඕ බ්ලා ඩි, ඕ බ්ලා ඩා) යන්න නයිජීරියානු යොරූබාවරුන්ගේ පදයකි. ගීයේ එන life goes on යන්න Ob – la – di, Ob – la – da යන අරුතම දෙන්නකි. සාමාන්‍යයෙන් “ජීවිතය ඔහේ ගෙවි යනවා” වැනි අරුතක් එහි ඇත. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියේ life goes on යන්න පවසනුයේ දුක්මුසු පුවතක් කීමෙන් අනතුරැවයි. එම නිසා “ජීවිතය ඔහේ ගෙවී යනවා” යන්න එහි අරුත ලෙස ගත හැකිය. මෙහි ඉන් අනතුරැව සැවොම එක්වී කියන “Bra” යන පදය කුමක්දැයි එකල කුතුහලයට පාත්‍ර වූ වදනක් බව පෙනේ. ඇත්තෙන්ම “Bra” යන පදයේ මෙහි අරුත වන්නේ මේ කාලයේ කොලු කෙල්ලන් (බොහෝවිට මුහුණුපොතේ පවා) “Bro” යනුවෙන් කෙටි කර කියන “Brother” යන පදයේ කෙටි කිරීමකි. “Bro” යන්න ජැමෙයිකානුවන් උච්ඡාරණය කළේ “Bra” යනුවෙනි. මෙම ගීතයේ ඇත්තේ එම ජැමෙයිකානු උච්ඡාරණයයි.

නිතරම සිත ගත යොදන්නේ
රස තැන් සොයන්නටයි
කෙනකුට කරදර නොදෙන්නේ
අපි අන්තිම අහිංසකයි
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ එන මෙම ගීය කෙතරම් ජනප්‍රිය වුණාදැයි කිවහොත් කොඩිගහ යට උපන් කොළඹ කොල්ලන්ට එම ගී තනුව ආවේ ලිවර්පුල් කොල්ලන්ගෙන් බවද අමතක විය. ගාමිණී, විජේ, ඇන්තනි සී, ලයනල් දැරණියගල ආදීන් රංගනයට එක්වූ, එම්.එස්. හා ජෝතිපාල ගැයූ එම කොඩිගහ යට මම උපන්නේ ගීය මෙකල පවා මුහුණුපොතේ සංසරණය වේ. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය එක් වරකින් නොනැවතී දෙවැනි වරට ද නිෂ්පාදනය වූයේය. Ob – la – di, Ob – la – da ගීයෙන් නාගරික රසිකයා පිනවූ එම ගී තනුව “කොඩිගහ යට” ගීයෙන් පසුව ගම් නගර භේදයකින් තොරව සිංහල ශ්‍රාවකයාගේ සිත් පැහැර ගත්තේය. මුල් ගීයේ එන “ස්කා - රෙගේ” රිද්මය අමතක කොට අපට හුරු බයිලා තාලයට, කොඩිගහ යට ගීය යළි නිර්මාණය වී තිබිණි. (අපේ ගීයේ එන අන්තර් වාදනය ද බීට්ල්ස්ලාගේ අන්තර් වාදනය නොවේ. අපේ ගීයේ එන අන්තර් වාදනය එකල ජනප්‍රිය වුණු ඌමා පෝචාගේ බොම්බෙ මෙරි හායි ගීයේ අන්තර් වාදනයට බෙහෙවින් සමීප වූයේය.)

බීට්ල්ස්ලාගේ Ob la di ගීය පසුපස රසවත් කතන්දර රාශියක් ඇත.

බීට්ල්ස් සංගීත කණ්ඩායම එංගලන්තයේ ලිවර්පුල්හි බිහිවූයේ 1960 වසරේය. එහි සාමාජිකයන් වූයේ ජෝන් ලෙනන්, පෝල් මැකාර්ට්නි (Paul Maccartney), ජෝර්ජ් හැරිසන් සහ රිංගෝ ස්ටාර් යන අයයි. ඔවුහු 1960 – 1970 කාලයේ ලෝකයේ වඩාත් ක්‍රියාකාරී වූත්, ජනප්‍රිය වූත් සංගිත කණ්ඩායම විය. පෝල් මැකාර්ට්නිට මුලින්ම ජෝන් ලෙනන් මුණගැසී තිබුණේ 1957 වසරේය. ඔවුන් අයත් ප්‍රධාන සංගීත ශානරය වූයේ රොක් - පොප් ශානරයයි. ඕ බලා ඩී ගීය රචනා කළේ පෝල් මැකාර්ට්නි සහ ජෝන් ලෙනන් දෙදෙනා විසිනි. ඇත්තෙන්ම පෝල් මැකාර්ට්නි “ඕ බ්ලා ඩී, ඕ බලා ඩා” යන පදය හඳුනා ගන්නේ ජිමී ස්කොට් නැමැත්තාගෙනි. ලන්ඩනයේ විසූ ජිමී ස්කොට් නයිජීරියානු සම්භවයක් ඇත්තෙකි. ඔහුගේ සම්පූර්ණ නම Jimmy Anonmuqgharan Scott Emuakpor ය. පෝල්ට, ස්කොට් මුලින්ම හමුවන්නේ ලන්ඩනයේ Bag (O) Nails සමාජ ශාලාවේ බව කියවේ. ඔහු නයිජීරියානු කොංගා වාදකයෙකි. පෝල් මෙම ගීය රචනා කරන්නේ බ්‍රිතාන්‍යයේ රෙගේ සංගීතය ජනප්‍රිය වෙමින් පැවති අවධියේය. මෙම ගීයේ ඉන්නා ඩෙස්මන්ඩ් ද රෙගේ ගායකයකු වූ “ඩෙස්මන් ඩෙකර්” බව ප්‍රචලිතය.

1968 මෙම ගීයේ මූලික හඳුන්වාදීමේ පටිගත කිරීම්වලදී ගිටාරය වයමින්, පෝල් මැකාර්ට්නි ගායනා කර පෙන්වූයේය. එය ඒ හැටි සාර්ථක වී නැත. ඕ බ්ලා ඩී ගීයේ විධිමත් තැටිගත කිරීම් ඇරඹුණේ එම වසරේ ජූලි මාසයේය. එහිදී ස්කොට් කොංගා බෙරය වාදනය කළ අතර සැක්සෆෝන් වාදකයන් තිදෙනෙක් ඊට සහාය වූහ. විධිමත් තැටිගත කිරීම දින කිහිපයක් තිස්සේ පැවතිණි. ජෝන් ලෙනන්ට නම් ගීතය මුලින්ම ඇසු විට එය ඇල්ලුවේම නැත. ඔහු කීවේ එය පෝල්ගේ තවත් යල්පැනගිය වැඩකට නැති ඉලව්වක් ලෙසයි. ඒ ගැන ඔහු ශබ්ද ඉංජිනේරු ජෙෆ් එම්රික් සමඟ වාදයකට ද පැටළුණේය. පටිගත කිරීම් අතරමග සිත් තැවුලෙන් ශබ්දාගාරයෙන් ඉවත ගිය ජෝන් ලෙනන් ගංජා කූරක් දල්වාගෙන ඉරුවේලු. ඉන් අනතුරුව ශබ්දාගාරයට පැමිණි ඔහු ගීතය අදාළ රිද්මයට පියානෝව මහ හඬින් රිද්මය තවත් වේගවත් කොට වාදනය කළේය. එවර ගීය සාර්ථක වීලු. ඉන්පසු ජෝන් ලෙනන් ගීයට ආසා කරන්නට ගත්තේය. ජූලි 9දා අවසාන පටිගත කිරීමේදී රිංගෝ ස්ටාර් වෙනුවට ඩ්‍රම්ස් වාදනය කළේ පෝල් මැකාර්ට්නිය. පෝල්ට හැමදේම අති නිවැරදි ලෙස ඕනෑ වූ නිසා එය ද අනික් අයට වදයක් විය.

ගීතය පටිගත කිරීමෙන් අනතුරුව ද ඊට අදාළ ගැටලු නිමා වී නැත. පෝල් වෙත පැමිණි ස්කොට් එම ගීත රචනාවේ සම අයිතිය තමාට ද අයිති බව කියා සිටියේය. මෙහි Ob – la – di, Ob – la – da කොටස හඳුන්වා දුන්නේ තමා නිසා ඒ වෙනුවෙන් ඔහු රචනා අයිතිය ඉල්ලා සිටියේය. පෝල් ඊට එකඟ වූයේ නැත. පෝල් කියා සිටියේ ස්කොට් අලුත් දෙයක් නිර්මාණය නොකළ බවයි.

කෙසේ වුවද ඒ කාලයේම තමාගෙන් දික්කසාද වූ බිරිඳට ගෙවිය යුතු වන්දි ගෙවීමට අසමත් වූ නිසා Scott ව සිරගත කරනු ලැබිණි. එම වන්දිය තමා වෙනුවෙන් ගෙවන ලෙස ස්කොට්, පෝල්ගෙන් ඉල්ලා සිටියේය. සිපිරි ගෙයින් මුදවා ගන්නට පෝල්, ස්කොට් විසින් ගෙවිය යුතු දෑ ගෙවා දැමුවේ එක් කොන්දේසියක් පිටය. “ආයෙ සින්දුවෙ අයිතිය නම් ඉල්ලන්න බෑ” කොන්දේසිය වූයේ එයයි. ස්කොට් ඉන්පසු ගීතයේ අයිතිය ඉල්ලුවේ නැත. “Bad Manners” නම් Punk රොක් සංගීත කණ්ඩායමකට එක්ව සිටි Scott 1986 දී මිය ගියේය.

ගීතය වඩාත් ජනප්‍රිය වූයේ බ්‍රිතාන්‍ය හා අමෙරිකාවේ නොව වෙනත් රටවලය. ඔස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය, බටහිර ජර්මනිය යන රටවල ශ්‍රේණිගත කිරීම්වල බොහෝ කල් (1968 – 69) යනතුරු ඕබ් - ලා - ඩී ගීතය මුල්තැන ගත්තේය.

එහෙත් BBC ය විසින් 2004 දී දහසක් දෙනාගේ සහභාගීත්වයෙන් කළ ඡන්ද විමසීමකදී නරකම ගීත 50 අතරට ද මෙම ගීය එක් වූයේය.

1970 දක්වා අතිශය ජනප්‍රියව උන් බීට්ල්ස් සංගීත කණ්ඩායම 1970 දී බිඳී වෙන්ව ගියහ. ඔවුන් බිඳී වෙන්ව යාමට විවිධ හේතු බලපා ඇත. බීට්ල් උන්මාදය නිසා හටගත් මානසික ආතතිය ද ඉන් එකකි. 1967 දී ඔවුන්ගේ කළමනාකරු බ්‍රයන් එප්ස්ටෙයින් මියයාම ද තවත් හේතුවකි. මේ සියල්ලට වඩා ජෝන් ලෙනන් හෙරොයින්වලට ඇබ්බැහි වීමත් ඔහු පමණට වඩා Yoko Ono හට සමීප වීමත් ඊට බලපා තිබේ. Yok Ono ද කලාකාරියකි. ගීත රචිකාවියක හා ගායිකාවකි. ඇය ඔහු හා විවාපත් වී 1980 දී නිව්යොර්ක්හිදී සාහසිකයකුගේ වෙඩි පහරින් ජෝන් ලෙනන් මියයන තුරුම එක්ව සිටියාය. එම වසරේ දෙසැම්බර් 8දා ඝාතකයා තැබූ වෙඩි පහර 5න් හතරක්ම ඔහුට වැදී තිබිණි.

බීට්ල්ස් සංගීත කණ්ඩායම බිඳී වෙන්වුණු පසු ජෝන් ලෙනන් මෙන්ම පෝල් මැකාර්ට්නි ද තනිව ගීත නිර්මාණය කොට ගායනා කළහ. කණ්ඩායම බිඳී වෙන්වුණු පසු ඔහු තුළ සිත් තැවුල ද කාන්සිය ද ඇතැම් නිර්මාණ තුළ ගැබ් වී තිබිණි. ස්කොට්ලන්තයේ, කිංග්ටයර් අර්ධද්වීපයේ සිය බිරිඳ සමඟ කල්ගෙවූ ඔහු එම අර්ධද්වීපයට උපහාර පිණිස Mull of Kintyre ගීය ඩෙනී ලෙයිත් සමඟ එක්වී නිර්මාණය කළේය. බැගී පයිස් වාදකයන් රාශියක් හවුල් වන එම ගීය අති සුන්දර නිර්මාණයකි.

මුහුදෙන් පෙරළී එන
විහිදුම් දෙස නිරතුරුව බලා හිඳුමයි
මගේ ආසාව 
මෙතැන හිඳ
දුර ගෙවා බොහෝ දේ දැකගතිමි
අඳුරු ගිරි දුර්ග හා
නිල්ල දිලි නිම්නයන් සමඟම
හිරු ගිනිගෙන දැවෙන එළියෙන්
පින්තාරු කළ කතර ද පසු කළෙමි
ඔබ වෙත එන්නට
ඔහු මෙසේ ගායනා කළේ Kintyre අර්ධද්වීපයේ තමාගේ ගොවිපළ තිබූ Mull නම් ස්ථානය ගැනය.

 සමන් පුෂ්ප ලියනගේ