බොහෝ ත්‍රීරෝද රියැදුරන්ට නීතිය වලංගු නැත. තමන්ට හිතුමතේ අනුන්ගේ ගෙවල් අසල මහ පාරේ ත්‍රීරෝදය නතර කොට හයර් ගනිති. ඇතැම් “ත්‍රීවිල් පාක්*වලට වර්තමානයේදී අවසරයක් නැත. නමුත් කල්ලි ගැසෙන ත්රීරෝදකරුවන්ගේ අවලාද අසන්නට බැරි අහලපහළ බොහෝ නිවැසියෝ මේ සියලු දුක්ගැහැට විඳ දරාගනිති. ඇතැම් ත්රීරෝදකරැවන් ජීවත් වන්නේ මාර්ගයේ අයිතිකරැවන් මෙනි. මහ ශබ්දයෙන් ඇසෙන ඝෝෂාකාරී සංගීතය නිවැසියන්ට පමණක් නොව මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට ද හිසරදයකි. මාර්ග නීති උල්ලංඝනයකි. නමුත් බොහෝ විට ඒ සියල්ල විඳ දරා ගැනීමට සිදුවන්නේ ඇතැම් ත්රීරෝදකරුවන්ගේ ආවේගශීලී හැසිරීම් රටාව හේතුවෙනි.
පිරිසක් මෙලෙස තම වෘත්තිය හිතුවක්කාර ලෙස ගෙන ගියද ඉහළට ඉගෙන ගෙන ලබාගත් හොඳ ගතිගුණ ඇති විනයානුකූල ත්රීවිලර් රියැදුරෝ ද ඕනෑතරම් වෙති. අසරණ වුණු කෙනකුට රෝහලට ගෙන යන්නට අතේ මුදල් නොමැති කෙනකුට වුව අවශ්‍ය තැනට ගෙනයන්නට මෙවැනි රියැදුරෝ දෙවරක් නොසිතති. දුප්පතාගේ හිතවතා ලෙසින් ඇතැමුන් ත්‍රීරෝද රියැදුරන් හඳුන්වන්නේද එහෙයිනි.
කෙසේ වුවද ත්රීරෝදයට පණමෙන් ආදරය කරන ත්රීවිලර්කරැවන් ඕනෑතරම්ය. ත්‍රිරෝදය පිටුපස විවිධ ලියා තැබීම ඔවුන් අතින් සිදුවන සුලභ දසුනකි. එවැනි ඇතැම් වැකිවලින් කියවෙන දෑ අපූරැය. ඇතැම් වැකි ගීතවලින් උපුටා ගත් කොටසකි. තවත් ඒවා හිතුමතේට කටට ආ කියමන්ය. මේ අතරේ හිතේ දුකට ප්‍රදර්ශනය වූ කවි පද ද ඕනෑතරම්ය. එවැනි රසවත් වැකි සොයා පසුගිය දිනක ගිය ගමනක තොරතුරු මෙසේ සටහන් කරමු.
ආදරයේ විරහව විඳි බොහෝ තරුණයෝ තමන්ගේ හිතට දැනෙන දේ වැකි ලෙස ත්‍රීරෝද රථය සටහන් කරගත්තටත් අමතක නොකරති. මේ එවැනි වැකි කිහිපයකි.
කෙල්ලෝ ළඟ හිටියොත් හොටෙල් බිල්
දුර හිටියොත් ෆෝන් බිල්
දාලා ගියොත් බාර් බිල්
සිහින කොතරම් සිතේ තිබුණත් සියල්ලම නෑ ඉටු වුණේ
ඔබම පමණක් පතා සිටි මට දුකම පමණයි ඉටු වුණේ
රිද්දපු තැන් අමතක කළාට
රිද්දපු අය මතකයි නාඩියේ මීටරයට
බොක්කෙන්ම ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් මම අද කෝටිපතියෙක්
සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වදුරන්ටත් ලව් කරයි
ඔබද මා විය මාද ඔබ විය
ඔබ අන් සතුවිය මට කෙළවිය
උරැමක්කාරිව හසුවන තුරැ කරැමක්කාරිට හසු නොවන්න
කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගෙයි. ගැරන්ට් නෑ... වොරෙන්ට් නෑ... මදිවට ඩුවල් සිම්...
නැන්දම්මේ උඹත් එපා... උඹේ මහ ලොකු දුවත් එපා..
සුදු මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගඟ ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක
ආදරේ විරහව ගැන ආදරය ගැන එවැනි වැකි බොහෝමයක් අතරේ තරුණ හිත් රිදුම් දෙන තැන් ගැන ලියවුණු වැනිදෑ බොහෝමයක් දක්නට ලැබුණි. විශේෂයෙන් හිතේ හයියෙන් ජීවිතය ජයගන්නට වෙර දරන තරුණ හිත් ගැන කියවෙන එවැනි වැනි කිහිපයකි මේ.
ඇත්තෝ කති බොති
නැත්තෝ ලෙව කති
මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න
පුතේ කෝ යාළුවෝ ඇතිදාට විතරයි අම්මේ
පෙර දින වැරදුණේ හිත හොඳ වැඩි හින්දාම
අද දින හිතන දෙවරක් ඒ හින්දා
අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක
අම්මා ලස්සන නම් බබා වඩාගන්න තාත්තලා ගොඩායි
ඔබ පසුවුණා නෙවෙයි - මා ඔබ පසුකළා
මව් කිරි බීපු කටින් විසමල උරද්දී
අම්මලා වැළපෙයි
Sorry bro. පැරදෙන එක ගැන මම දන්නේ නැහැ
මම ඉපදුණේ දිනන්න
සුනාමියට අසුවුණු මට ගංවතුරත් කජ්ජක්ද?
කාසි සද්දේ දැම්මට නෝට්ටු සයිලන්ස් Bro.
කොපමණ ගල් බොරළු තිබුණත් අතරමඟ
යා යුතු තැනට යනවාමයි ගලන ගඟ
බොහෝ තරුණ ත්‍රීරෝද රථ රියදුරන් තමන්ගේ ත්රීරෝදයට සලකන්නේ දෙවියන්ට සලකන්නා සේය. ඉතා දුක් මහන්සියෙන් මිලදී ගත් ත්‍රීරෝද රථයට තමන්ගේ හිතේ ඇතිවන හැඟීම් ඔවුන් මෙවැනි වැකිවලින් අදහස් පළකර ඇති අන්දමද දැනගත හැකිය.
ටෙන්ට් එක කපපු එකාට හෙන ගහපන්
බොන්නත් යන්... ගේන්නත් යන්... යතුර නම් ඉල්ලන්න එපා මචං...
පුංචි හින්දා දඟ කළාට එපා බනින්න
ඇළේ නාලා පැලේ හැදිච්ච මට මොන ඒසීද
අබලන් මා දෙස නොබලන් ඔබගේ සසල නෙතින්
ඉඟිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
වීල් එකට රෝද තුනක් තටු නෑ එන්නේ
පාඩුවේ ගමන් යද්දී දාන්න එපා වෙට්ටු
අවුස්ස ගත්තොත් අපි උඹලට වඩා සත්තු
හිනාවෙන්න එපා මචං නැගිට්ටේ මේකෙන්
රොහලේ සිවිලිම අප්‍රසන්නයි. හිමින් රිය පදවන්න
දඟ කළාට පුංචි අපිට එපා බනින්න
පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න
රෝද තුනක් උඩ හීන ගොඩාක් ඇත
සම්බුදු සරණයි එන්ජිම පරණයි
ළංවුණාට කමක් නැහැ... ඉඹින්න එපා...
බුදු මල්ලියේ ඈතින් වරෙන්
ලීස් එක ඉවර වුණාම රේස් යමන්...
රැපියල් සත නිසාද අපි මේ දුක
ගොළුවොත් කතා කරයි මා ළඟ ඇතිදාට
කතා කරපු අයත් ගොළුවෙයි මා ළඟ නැතිදාට
ඉගිල්ලෙන්න තහනම් නම් ඇයි දුන්නේ ලයිසන් එක
ජීවිතං අනියතං - රක්ෂණං නියතං
NO race – Wife Case
ගන්නේ හැදෙන්නයි... යාළුවෝ නිසා බෑ...
ටිකක් රස්තියාදුවේ ගියාට ජීවිතේ නාස්ති කරගන්නේ නෑ අම්මේ...
අපිට හිනාවුණු අයට රෝද තුනක්වත් තිබුණේ නෑ...
බලන අයට බුදු සරණයි - රවන අයට දෙවි පිහිටයි...
මීට අමතරව තවත් බොහෝ මාතෘකාවන් පිළිබඳව ලියවුණු වැනි බොහෝමයක් දැක ගන්නට ලැබුණි. මේ ඒවා අතරින් කිහිපයකි.
දුක තමයි රංජනී අද රූටත් පාන් තමයි...
කරැමේ ඩබල් - පින සිංගල්...
අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්
දින පලයන් - මොණරැ වරෙන්...
මව් කිරි බීජු කටින් විස මල උරද්දී
අම්මලා වැළපෙයි මචං උඹලව වැදුවට...
කොච්චර ලස්සනට හඳ පෑවුවත් ඒකටත් හූ කියන නරි ඉන්නව මචං
සල්ලිත් නෑ... යාළුවොත් නෑ... තාත්තා නැත්නම් මේකත් නෑ...
ඉබ්බෝ ඉගිලෙන්න ගත්තහම කොක්කුන්ට හරි වදේ...
සල්ලි හම්බ කළාට මිනී ඇඳුමේ සාක්කු නෑ...
කටුස්සෝ හිතාගෙන ඉන්නේ උන් උකුස්සෝ කියලා...
ගුල්ලෝ වැඩ්ඩෙක් වෙන්නේ... බාල ලෑල්ලක් දැක්කහම...
විඳවීම හුරැ එකාට වේදනාවත් පට්ට රහයි මචං
රඟපාන සමහරැ හිතාගෙන ඉන්නේ අපි පිටපත දන්නේ නැහැ කියලා...
පරවියෝ රංචු පිටින් ඉගිලෙයි... උකුස්සෝ තනියම පියාඹයි...
මේ අතරින්පතර ආවේගශීලී වැකි ද කලාතුරකින් දැකිය හැක... එවැන්නක මෙසේ ලියැවී තිබිණි...
තොපි ඔක්කොම බලන් ඉන්නේ අපිට වරදිනකම්
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ