2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

මැති ඇමැති රථගායට තිත තැබීම අද නොවේ හෙට

2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31338

මැති ඇමති රථගායේ පෙරඅපර සන්ධි ගලපා බැලීමට සුදුසු කාලය එළඹ ඇත. දුර අතීතයේ දෝලාවෙන් හෝ අස්රියේ ගමන් ගිය රාජ්‍ය මහාමාත්‍යාදීන්ගේ සිට අද බෙන්ස් රියෙන් ප්‍රාඩෝවෙන් ගමන් යන මහජන නියෝජිතයන් දක්වා මේ කතාව දික් ඇදෙයි. පසුගියදාක රට කරවන තැනදී ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු යහපාලන ආණ්ඩුවේ සැප වාහන වියදම් ගැන කතා කළේය. ඒ සමඟම සකලවිධ මාධ්‍යකරුවන්ගේ උකුසු ඇස ඊට යොමු විය. එම නිසාම මැති ඇමති සැප වාහන කතාව අමු අමුවේම ඉදිරිපත් කරන්නට අපට සිත් නොවේ. අතීතයේ අක්මුල්ද වර්තමානයේ කන්කොන්ද විමසා අපි මෙම සටහන තබමු.

එකදහස් නවසිය හතළිස් අටේදී අප නිදහස ලබනවිට නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති වූ ඩී.එස්. සේනානායකයන්ට බ්‍රිතාන්‍යයේ මහරජුගෙන්ම අපූරු ත්‍යාගයක් ලැබුණි. ඒ නම් අගමැති නිලරථය ලෙස පාවිච්චි කිරීම පිණිස වටිනා කැඩිලැක් කාර්යකි. මෙරට මැති ඇමති නිල රථ ඉතිහාස පිළිබඳ කතාව ඇරඹෙන්නේ මෙතැනින් යැයි අපට සිතිය හැකිය. එහෙත් එකල මහජන මන්ත්‍රී මණ්ඩලයේ බොහෝ මැති ඇමතිවරුන්ට මෝටර් රථ නොතිබිණි. බස්රියෙන් දුම්රියෙන් කොළඹ ආ මැති ඇමතිවරුන් පිළිබඳ රස කතා මෙරට දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇත්තේ එබැවිණි.

පසුගියදා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙළිකළ පරිදි යහපාලන රජය වර්ෂ කිහිපයක් තුළ විවිධ අමාත්‍යංශවලට වාහන ගෙන්වීමට මුදල් කන්දරාවක් වැයකොට ඇත. ඒ අනුව වාහන මිලදී ගැනීම්වල සමස්ත වියදම ලක්ෂ 28,000ක් (බිලියන 2.8) වෙයි. ඒ අනුව කැබිනට් ඇමතිවරුන් වෙනුවෙන් ලක්ෂ 16000ක් ද රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් ලක්ෂ 6520ක් ද නියෝජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් ලක්ෂ 5670ක් ද වියදම් වී ඇතැයි ඔහු චෝදනා කරයි. මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාද අදහස් දක්වා තිබුණි. ඔහුට අනුව මැති ඇමති පරිහරණය පිණිස නොව මෙම වාහන මිලදී ගැනීම් සිදුව ඇත්තේ, අමාත්‍යාංශයේ පරිහරණය පිණිසය.

මෙම කතාව මෙසේ දික්ඇදෙන විට පසුගිය රජයේ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය. ඊට අනුව 2016 වසර අග භාගයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධි සුඛෝපභෝගී මෝටර් රථ 58ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියක් යටතේ ලබාගැනීමට සූදානමක් තිබී ඇත. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 2430ක් වැයකිරීමේ සූදානමක් පැවති බව බෝපගේ මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන්ය. කුමන පදනමක් මත වුවද ණය උගුලේ සිරවී ආර්ථික අර්බුදවලින් පීඩා විඳි රටක මෙවන් මිලදී ගැනීමක් සාධාරණීකරණය කළ හැකිදැයි යන්න ගැටලුවකි.

වර්තමානයේ මෙන්ම අතීතයේද වාහනවලට පෙම්බැඳි මහජන නියෝජිතයන් මෙරට නොසිටියා නොවේ. එහෙත් ඔවුන් තම සුවපහසුව සහ රුචි අරුචිකම් වෙනුවෙන් මහජන මුදල් යොදාගත්තේ නැත. ඩඩ්ලි සේනානායක යනු මෝටර් රථ සමඟ දැඩි හිතමිතුරුකමක් පවත්වාගෙන ගිය රාජ්‍ය නායකයෙකි. ඔහු සිය කුඩා ට්‍රම්ප් හෙරල් රථයේ නැගී වේගයෙන් කොළඹ අවට ගමන් ගිය වග කියැවේ. නිතර තනිව වාහන පදවාගෙන යාමට ප්‍රියකළ ඩඩ්ලි සේනානායකයන් වරක් තනිව නුවරඑළියේ යන්නට ගියේ ආරක්ෂකයන්ද නොමග යවමිනි. අතරමඟ වාහනය කැඩී හෙතෙම අපූරු ඇබැද්දියකටද මුහුණ පෑවේය. එහෙත් කිසිවිටෙක මෙම නායකයන් සිය පෞද්ගලික ධනය තම සුඛවිහරණය වෙනුවෙන් භාවිත කළා මිස මහජන මුදල් අද මෙන් නාස්ති කළේ නැත.

මෙරට තුන්වැනි අගමැතිවරයා වූ සර් ජෝන් කොතලාවලද මෝටර් රථ ලෝලියෙක් විය. එදා වාහන ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී තිබුණු ඉංග්‍රීසි අකුරු ක්‍රමය අවසන් කර ශ්‍රී නොම්මර නිකුත් කරන්නට තීරණය කළ පසු “1 ශ්‍රී 1” රථය සර් ජෝන් කොතලාවල මහතා හට වුවමනා වූයේ ඒ නිසාය. ඒ අනුව එදා ඔහු ලබාගත් රථය කැඩිලැක් (Cadillac) මොඩ්ලයේ දොර හතරේ රථයක් විය. පසුව ශ්‍රී අංකවල පළමු රථය තමන් වෙත ලබාගැනීම පුරුද්දක් කරගත් මේ අපූරු රාජ්‍ය නායකයා පිළිබඳ අපූරු කතා රැසක් වෙයි. ඔහුගේ වාහන එකතුව රත්මලානේ කඳවල පාරේ තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සර් ජෝන් කොතලාවල අනුස්මරණ කෞතුකාගාරයේ අදද දැකගත හැකිය.

මෙරට පස්වැනි අගමැතිවරයා වූ විජයානන්ද දහනායක මහතාට මුල්කාලයේ මෝටර් රථයක් නොවීය. ඔහු ගමන් බිමන් ගොස් ඇත්තේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමිනි. දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇති පරිදි දහනායක මහතාගේ හිතමිතුරන් එක්ව මෝටර් රථයක් මිලදී ගෙන ඔහුට ප්‍රදානය කර තිබේ. පසුව එක් වකවානුවක දේශපාලනයේ යෙදුණු ජනනායකයන්ට ඔවුන්ගේ දේශපාලන හිතමිතුරන් රථවාහන පරිත්‍යාග කර ඇත. ටී.බී. තෙන්නකෝන්, තෙන්නකෝන් මුදියන්සේ වැනි ජනනායකයින්ගේ නම් මෙම ලැයිස්තුවේ වෙයි. එසේම පසුකාලීන ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාට සිය මුල්ම මෝටර් රථය තිළිණයක් ලෙසින් ලැබුණු බව කියැවෙයි.

එදා දේශපාලකයන්ගේ අවශ්‍යතාව සලකා හිතවතුන් ඔවුන්ට වාහන ප්‍රදානය කළද මෙදා එය කණපිට පෙරළී ඇත. අද දේශපාලකයන්ගෙන් ඥාතීන්ට හිතවතුන්ට අමාත්‍යංශවල වාහන තිළිණ ලෙස ලැබෙයි. එපමණක් නොව ඔවුන්ට ඉන්ධන දීමනාද ලැබෙන්නේ මහජන මුදලිනි. වර්තමාන සැප වාහන කතාවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා ප්‍රකාශයේ සඳහන් වන කරුණක් අපි නැවත මතුකරමු. කෝටි 243ක් වැයකර මැති ඇමැති වාහන මිලදී ගැනීමට යහපාලන ආණ්ඩුව උත්සාහ දැරූ විට ලේකම්වරයා ඊට දැඩි විරෝධයක් පළකර ඇත. එහෙත් මෙම ගනුදෙනුවට ඉහළින්ම කැබිනට් අනුමැතිය හිමි වී ඇත. කෙසේ නමුත් ඉතිහාසයේ මෙවන් වාහන මිලදී ගැනීම් සම්බන්ධ කොතෙකුත් කතා කලින් කලට ජනගත වී ඇත. එහෙත් කවරදාකවත් මහජන මුදලින් සැප වාහන ලබාගත් මැති ඇමතිවරුන් නීතිය ඉදිරියේ තබා මහජනතාව ඉදිරියේවත් වැරදිකරුවන් බව තීරණය නොවීම පුදුම සහගතය.

මැතිනියගේ ආණ්ඩුව සමයේ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව වර්තමාන මැති ඇමැති රථගායේ ආරම්භය ලෙස පෙනී යයි. එදා පස්වැනි නොබැඳි සමුළුවට පැමිණි සියලුම රාජ්‍ය නායකයන් වෙනුවෙන් ලක්රජය මෝටර් රථ මෙරටට ගෙන ආවේය. සමුළුව අවසානයේ එසේ ගෙනා පර්ජෝ 504 කාර් මැති ඇමැතිවරුන් අතර බෙදාදෙනු ලැබීය. එතෙක් අවශ්‍යතාවය මත රජයේ වාහන සංචිතයෙන් ඔවුන්ට වාහන ලබාදී තිබුණි. එහෙත් මැති ඇමතිවරුන්හට නිල වශයෙන් රජයෙන් මෝටර්රථ හිමිවූයේ මෙම සිදුවීම හරහාය. ඉන්පසු බලයට පැමිණි ආණ්ඩුව මෙම ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය කළේය. 1978 පසු විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා බිහිවූ නව දේශපාලන සංස්කෘතියේ මැති ඇමති නිල රථ අනිවාර්ය අංගයක් විය.

නිල රථ සංස්කෘතියේ ආරම්භය සටහන් කළ මෙම යුගයේ රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා මුල්කාලයේ භාවිත කළේ ජගුවර් රථයකි. පසුව ඔහු රැජින ලංකාවට පැමිණි අවස්ථාවේදී ගෙන ආ රථයද භාවිත කළ බව කියැවේ. එසේම ජනපතිවරුන්ගේ භාවිතයට බුල් ෆූප් රථ පැමිණියේද මෙම කාලයේය. ජේ.ආර්. ජයවර්ධන මහතා මැති ඇමතිවරුන්ට ජීප්රථ ලබාදුන්නේය. කාලයාගේ ඇවෑමෙන් මෙම රථ ප්‍රදානය ලොක්කන් පොඩ්ඩන් සතුටු කිරීමට ලබාදෙන සන්තෝසමක් බවට පත්විය. රණසිංහ ප්‍රේමදාස මහතාද සුවපහසු රථවාහන ප්‍රියකළ පුද්ගලයෙක් විය. ඔහු එකම සුවඳක් නිතර තම නිල රථයේ යෙදවීම කෙරෙහි සහ එහි පිරිසුදු බව ගැනද සැලකිලිමත් විය. කෙසේ වෙතත් ප්‍රේමදාස මහතා තමන් පාවිච්චි කරන රථවාහනවලට වඩා උසස් රථවාහන සෙසු මැති ඇමතිවරුන් භාවිත කරනවාට එතරම් ප්‍රිය කළේ නැත.

වර්තමාන සැපවාහන කතාවටම සමාන සිදුවීමක් 1994 මහ මැතිවරණයේදීද කරළියට ආවේය. එදා පැවැති එජාප ආණ්ඩුවේ රථවාහන භාවිතය පිළිබඳ පොදුපෙරමුණ චෝදනා කළේය. එහෙත් ඔවුන් බලයට පත්වූ පසුවත් එම වාහන භාවිත කිරීම නැවතුණේ නැත. එහිදී 1994 ජනාධිපතිවරණය එළඹෙන විට එජාප ආණ්ඩුව පෙරළීම නව ආණ්ඩුව රථවාහන භාවිතය සම්බන්ධ චෝදනා නැගීය. එතැන් පටන් අද දක්වා ආණ්ඩු මාරු වනවිට මෙම චෝදනාව දෝලනය වීම ඉතා සාමාන්‍ය දෙයක් වී තිබේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට සම්බන්ධ වූ පසු එම මන්ත්‍රීවරුන් සැප වාහන ප්‍රතික්ෂේප කර ඩබල්කැබ් භාවිත කිරීම කැපී පෙනිණි. එසේම වරක් රාජ්‍ය නායකයන් භාවිත කළ වෙඩි නොවදින රථ වාහන පරණ වීමෙන් පසුව ආණ්ඩුව විසින් ආරක්ෂාව තකා මුහුදේ ගිල්වනු ලැබීය.

පසුකාලීනව ඇතිවූ මැති ඇමැති බදු සහන හෙවත් පර්මිට් මැති ඇමති වාහන කතාවට අලුත් පරිච්ඡේදයක් එක් කළේය. අද වනවිට මෙම පර්මිට් අලෙවි කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි දෙකක පමණ ලාභයක් ගෙන එන ව්‍යාපාරයක් වී තිබේ. මීට අමතර ජනපතිවරුන් හමුවී වාහන ඉල්ලා හඬාවැටුණු මන්ත්‍රීවරුන් සම්බන්ධ කතාද අපට හමුවිය. වර්තමාන මැති ඇමැති වාහන භාවිතය සම්බන්ධ කතාව නම් අතිශය ශෝචනීය බව කිවයුතුමය. 2015දී යහපාලන ආණ්ඩුව බිහි වනවිට රාජපක්ෂ පාලන සමයේ රථවාහන භාවිතය සම්බන්ධ චෝදනා නැගූ සැටි අපට මතකය. එහෙත් ඒ කතා බලයට ආ පසුව ආගිය අතක් නැත. වර්තමාන කතාවද ඊට නොදෙවැනිය.

පසුගිය සමයේ ලක්ෂ 28,000ක වාහන ගෙන්වා රට අතට ගත් ප්‍රතිලාභ කුමක්දැයි අපට පැහැදිලි නැත. එසේම වසර 1976 සිට වසර 44ක් මහජන නියෝජිතයන්ට සැප වාහන පුදා මහජනතාව ලැබූ සැපය කුමක්දැයි අපට නොතේරේ. ඉතින් තවදුරටත් මෙරට දේශපාලනය සැප පිණිස කරන්නක් මිස රට පිණිස සිදුකරන්නක් නොවන බව කිව යුතුමය. එම නිසාම මැති ඇමැති සැමගේ රථගායට වෙදකමක් කිරීම මහජනතාව විසින් යම් දිනෙක සිදුකළ යුතුමය.

 

- චමිඳු නිසල් ද සිල්වා

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00