2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

රැවුලටයි කැඳටයි දෙකටම යට වෙන බදු සහනය

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

ආණ්ඩුව කඩිමුඩියේ ජනතාවට බදු සහන ලබා දුන්නේ එමගින් ජනතාවගේ ජීවන බර අඩුකර ඔවුන්ට සහනයක් හිමිකිරීමේ අපේක්ෂාවෙනි. මෙලෙස ව්‍යාකූලව පැවැති බදු ක්‍රමය සරල කර ජනතාවට සහන සලසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රධාන විය. ජනාධිපතිවරයා බලයට පත්වූ විගසම ආණ්ඩුව විවිධ බදු සහන ක්‍රියාත්මක කර තෙමසකට ළං වුවද එම බදු වෙනස්කම්වලින් ජනතාවට ප්‍රතිලාභ ලැබී ඇතිද යන්න මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබේ. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙම බදු සංශෝධන නිසා රජයේ ආදායම විශාල ලෙස අඩුවී ඇති අතර, ජනතාවට ද බලාපොරොත්තු වූ සහන ලැබී නොමැති බවය.

මේ වසරේ රජයේ බදු ඉලක්කය රැපියල් කෝටි ලක්ෂයක් වන නමුත් මෙම සංශෝධන නිසා එය රුපියල් කෝටි 48,000 දක්වා පහළ වැටීමට ඉඩ ඇති බව ප්‍රධාන ආදායම් අංශවල උසස් නිලධාරීන්ගේ අදහසය. ඔවුන් සාකච්ඡාවලදී දේශපාලන අධිකාරියට පෙන්වා දී ඇත්තේ මෙම බදු සංශෝධන අදාළ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ක්‍රියාත්මක කළා නම් ජනතා සහන ලබාදෙමින් බලාපොරොත්තු වූ ආදායම ලබාගැනීමට හැකිව තිබුණු බව තමන්ගේ මතය බවය. මෙහිදී ආණ්ඩුව වඩාත් කලබල වී තනි මතයක සිට තීරණ ගැනීම නිසා රැවුලත් කැඳත් දෙකම බේරාගැනීමට නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම සංශෝධන නිසා දේශීය ආදායම්, රේගු සහ සුරා බදු යන අංශවලට අපේක්ෂිත ආදායම් ඉලක්ක කරා ළඟාවීමට දුෂ්කර වීමෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව එම අංශවල ප්‍රධානීන් පෙන්වා දී තිබේ. මෙම තත්ත්වයට පිළියම් මේ වන විට යොදා ඇති නමුදු එයින් තවමත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබී නොමැත.

වැට් බදු අඩු කිරීමෙන් පමණක් රාජ්‍ය ආදායම රුපියල් ලක්ෂ 14,300කින් අඩුවී තිබේ. එහෙත් එම මුදලෙන් 10%ක ප්‍රතිශතයක් හෝ තවමත් ජනතාවට ලැබී නොමැති බවද පෙනෙන්නට තිබේ. පසුගිය සමයේ යහපාලන ආණ්ඩුව වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවූ වහාම ව්‍යාපාරිකයන් භාණ්ඩ මිල ඉහළ දැමීමද, බදු පහළ දැමූ පසු නිදහසට විවිධ කරුණු ඉදිරිපත් කරමින් මිල පහළ නොදැමීම සදාචාර සම්පන්න නොවන අතර එය විශාල අසාධාරණයක් වෙයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ පසුගියදා මාධ්‍ය හමුවකදී කියා ඇත්තේ වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳ තවමත් විමර්ශනය කරමින් සිටින බවකි. කෙසේ වුවද වැට් අඩුකිරීමේ සහන ජනතාවට තවමත් නොලැබෙන බව ඔහු පිළිගත්තේය. දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ෂෙල්ටන් ද සොයිසා පවසන්නේ වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් මෙන්ම සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නොව පාරිභෝගික සේවා අධිකාරිය බවය. තම දෙපාර්තමේන්තුවට යම් යම් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුත්තේ වෙළෙඳ අමාත්‍යංශය හා පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන බව ඔහු කියයි.

වැට් අයකිරීමේ නීතිමය තත්ත්වය විග්‍රහ කරන නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ කිසිදු භාණ්ඩයකට මේ වන විට 15% වැට් බදු එකතු කර අලෙවි කිරීමට නොහැකි බවය. එවැන්නක් සිදුකරන්නේ නම් එයට එරෙහිව නීතිමය පියවර ගත හැකි වේ.

අඩු කළ ප්‍රතිශතය වන 8% සඳහන් කර බිල්පත් නිකුත් කළද එම භාණ්ඩවල මිල ප්‍රායෝගිකව අඩුකර නොමැති බව අනාවරණය වී තිබේ. මෙහිදී ව්‍යාපාර සමාගම් සිදුකර ඇති වංචාව වනුයේ අඩුකළ 7% භාණ්ඩවල නිෂ්පාදන පිරිවැයට එකතු කිරීමයි. එමගින් පසුගිය කාලයේ ව්‍යාපාරවලට සිදුවූ පාඩුව යම් පමණකින් පියවා ගැනීමට උත්සාහ ගන්නා බව පෙනේ යැයි ඔහු කියයි. (වැට් අඩුවීමෙන් මෙයට පෙර අරක්කු මිල අඩු වුවද එය දිනකට පසු යළි පැවැති මිලට ඉහළ නැංගේ මෙලෙස අඩුකළ බද්ද නිෂ්පාදන පිරිවැයට එකතු කිරීම නිසාය. වෙළෙඳුන් ද ක්‍රියාත්මක කරනුයේ රජයේ එම පිළිවෙත බව පෙනේ.)

දැනට පවතින බොහෝ වැට් බදු ලියාපදිංචි වීම් ජනවාරි 01දාට අවලංගු වී තිබේ. එවැනි අවස්ථාවල එම ලියාපදිංචි සහතිකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යළි බාරදිය යුතු අතර ඉන්පසු වැට් බදු අයකිරීමට තිබූ බලය අහිමි වේ. ඒ නිසා වැට් බදු අයකිරීම මේ වන විට නීති විරෝධී බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

විශේෂ ආනයනික බදු සහන සහ වැට් බදු සහන යටතේ මේ වන විට පාරිභෝගික භාණ්ඩ 16,980ක මිල අඩුකර ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පැවසුවේය. මේ ගැන මේ වන විට නිෂ්පාදන ආයතන සහ ආනයනික ආයතන වෙත පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම් නිවේදනය කර තිබේ. මේ ගැන ජනතාව දැනුවත් කරන ලෙස ආයතනවලට උපදෙස් දී තිබේ. බදු අඩු කිරීමට පෙර මිල සහ බදු අඩු කළාට පසු මිල ද වෙන් වෙන්ව වෙළෙඳ ආයතනවල පැහැදිලිව ප්‍රදර්ශනය කරන ලෙස දැනුවත් කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. බොහෝ ආයතන මේ වන විට එම උපදෙස් පිළිපැද ඇති අතර එය කඩකරන වෙළෙඳුන් පිළිබඳ ජනතාව අධිකාරිය දැනුවත් කළහොත් පරීක්ෂා කර බැලිය හැකි බවද ඔහු කියයි. දැනටමත් අධිකාරියේ වැටලීම් කණ්ඩායම් විවිධ වෙළෙඳ ස්ථානවල මිල පරීක්ෂා කරමින් වැඩි මිලට බඩු අලෙවි කරන අයට එරෙහිව නඩු පැවරීමට පටන්ගෙන ඇති අතර ඉදිරියේ දී එම වැටලීම් තවත් වැඩි කරන බවද ඔහු කියයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව 2019 දෙසැම්බර් මාසය හා සසඳන විට 2020 ජනවාරිවලදී (බදු සහන ලබාදුන් පසු) කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා තෝරාගන්නා භාණ්ඩ පැසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 34කින් 25ක මිල ඉහළ ගොස් තිබේ. මේ ඉහළ නැගීම මාස 25කින් මෙපිට සිදු වූ විශාලතම මිල ඉහළ යාමය. දෙපාර්තමේන්තුව පවසන පරිදි මිල දර්ශකය සැකසීමට යොදාගන්නා සියලුම එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. වැඩියෙන්ම මිල ඉහළ ගොස් ඇත්තේ තක්කාලි සහ කැරට් වන අතර එය පිළිවෙළින් 96.34% හා 57.15% ක් වේ. බෝංචි 31.47කින් හා මාළු මිරිස් 20.30% ආදී වශයෙන් සියලුම භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත. පොල් මිල 10.35%කින්, පොල්තෙල් 10.21%කින් හා රතුලූනු 27.21%කින් මිල ඉහළ ගොස් ඇති අතර පළතුරු අතරින් අඹ 24.63%කින් හා ගස්ලබු 12.8% වශයෙන් මිල ඉහළ ගොස් තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ජනවාරි මාසයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. ලක්ෂමය උද්ධමනය මාස 25කින් පසුව වාර්තා වූ ඉහළම අගයට පැමිණ ඇති අතර එය 11.7%කි. දෙසැම්බර්වල පැවතියේ 6.3%ක මට්ටමේය. මතුපිට උද්ධමනය 2019 දෙසැම්බර්වල 4.8%ක්ව තිබී 2020 ජනවාරිවල 5.4% දක්වා වැඩි වී තිබේ.

ඉහත සංඛ්‍යාලේඛන අනුව සනාථ වන සත්‍ය නම් බදු අඩු කිරීමෙන් භාණ්ඩ මිල පහළ යාමක් සිදුව නැති අතර ඉහළ නැගීමක් සිදුව ඇති බවය. ළඟ එන සිංහල අවුරුදු උත්සව සමයේ දී භාණ්ඩ හා සේවා මිල තවදුරටත් ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජනාධිපති කාර්යාලය මගින් වී මිලට ගැනීමේ ක්‍රමවේදයක් දියත් කළ ද එය අසාර්ථක වී ඇති අතර පෞද්ගලික මෝල් හිමියන් කණුකොල්ලයට ලබාගන්නා වී ඉදිරියේ දී වැඩි මිලට විකිණීමට කටයුතු යෙදෙනු ඇත. දැනටමත් සහතික මිල ඉක්මවා සහල් අලෙවි කෙරේ.

භාණ්ඩ මිල පහළ දැමීමට ආණ්ඩුව ගත් ක්‍රියාපිළිවෙළ පිළිබඳ ප්‍රශංසා කළ යුතු නමුත් එයින් ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු සඵල වී නොමැති අතර වෙනත් පාර්ශ්වයක කරල පැහෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ නිසා වගකිව යුතු අංශ දැන් දැන්ම මේ පිළිබඳ කටයුතු කළ යුතු බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

► යසවර්ධන රුද්රිගු