කාලය බොහෝ සෙයින් වෙනස්ව ඇත. එහෙත් මිනිසුන් හූ කීම අතහැර නැත. මේ හූවේ කතාවයි. අතීතයේ සොඳුරු අපූරු මතක අතර නිතර සරණ අපට හූවේ කතාව හමුවූයේ අහම්බයකිනි. අප පැරණි මතය අනුව සන්නිවේදන මාධ්‍ය හූව යැයි කීම අසාධාරණ නැත. එදා හෙළයා සහ හූව අතර වූ තිර බැඳීම පුදුම සහගතය. තිඹිරිගෙයි සිට සුසානය දක්වාම මෙසිරිලක ජන ජීවිතය හූව සමඟ බැඳී තිබුණු අයුරු අපූරුය. හූවේ වග අප විමසන්නට තීරණය කළේ එම අතීත ආවර්ජනය කිරීමේ රිසියෙනි.
උපත සමඟ බැදී ඇති හූව “වැදුම්ගෙයි හූවයි.” වැදුම් ගෙයි හූව යනු ගමේ බවලතුන් අතරේ පැවති හූවකි. එදා ගම්වල දරු උපත් සිදුවූයේ නිවසේදීමය. එනිසාම උපත් විපත් වූ අනේකවිධ අවස්ථාවන් අප ගම් ගෙවල්වල විය. එම නිසාම වින්නඹු අම්මා සමඟ හෝ තනිව දරුවන්ට උපත දුන් අම්මලා මුහුණ පෑ අනතුරු නිසාම මෙම “වැදුම්ගෙයි හූව” ජනගත විය. දරු උපතකදී හදිසියක් වූ විට වැදුම් ගෙයි සිටින කාන්තාවෝ උදව් ඉල්ලා හූ කියති. වැදුම්ගෙයි හූව ඇසුණු උදව් පිණිස එන පිරිසද පිළිතුරු වශයෙන් හූ කියති. මෙය බවලතුන්ගේ හූවක් වූ නිසාම එය ජන සම්මතයේදී විශේෂිත විය. එහෙත් කාලයත් සමඟ රටේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වනවිට මෙම “වැදුම්ගෙයි හූව” වියැකී ගියේය.
“වැහි හූව” අතීතයේ බොහෝ ප්‍රකටව පැවති හූවකි. අහස බලා අනාවැකි කියන ගමේ පැරැන්නන් මෙම හූව කියා වැසි ගැන සෙස්සන්ට දැනුම් දී ඇත. එසේම අධික වර්ෂාව පවතින විට විශේෂයෙන් වැව වාන් දමන විට වැහි හූව කියා තිබේ. වැව් බැම්ම බිඳෙන්නට ගිය විට ගම්වාසීන් රැස්කර ගැනීම සඳහා භාවිතා වී ඇත්තේ මෙම හූවයි. ගොවිතැන ජීවනෝපාය කරගත් ගම් තුලාවල මෙය ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්ව තිබී ඇත. ඒ කෙසේ වෙතත් එදා වැහි හූවේදී මුල්තැන ගෙන කටයුතු කළේ ගමේ සිටි ප්‍රධානීන් බව කියැවේ.
හූවේ දුර, හූ දෙකක විතර දුර, හූවක් දුර නෑ... ආදී ව්‍යවහාරයන් හරහා හූව අතීතයේදී මිනුම් ක්‍රමයක් ලෙස භාවිතා වූ ආකාරයද පෙනී යයි. කෙසේ වෙතත් සන්නිවේදනයේදී විවිධ ක‍්‍රමවලට හූව භාවිතා වී ඇති අයුරු අපූරුය. හූ කීමට රටාවක් මෙන්ම නිශ්චිත ස්ථානයක් පැවතී ඇත. ඒ අනුව එක් එක් හූවෙහි සම්මතයන් හරියාකාරව නොහඳුනයි නම් ගැටලුවකි. හූවෙන් කියැවෙන අර්ථය නිසියාකාරව අවබෝධ කරගැනීමට අසීරු වේ. පැරුන්නන් මෙකී සම්මතයන් පිළිබඳ අත්දැකීමෙන් දැන සිටියේය. එම නිසාම හූවේ කතාව විචිත්‍රවත්ව අද අපට ඉදිරිපත් කළ හැකිය.
රහස් හූව මේ කතාව තවදුරටත් පැහැදිලි කරයි. රහස් පණිවුඩ හුවමාරුව සඳහා එකල භාවිතා වූයේ රහස් හූවයි. මෙහිදී හූවේ හඬ, රටාව, වාර ගණන වැදගත් වී ඇත. බොහෝ විට රජවාසල කටයුතු වෙනුවෙන් මෙම හූව භාවිතා වී ඇතැයි කියැවේ. අර්බුද කාලයකදී චරපුරුෂ සේවයේදී කිසියම් සැකසහිත පුද්ගලයකු පැමිණ විට හූ කියන්නේ එක් රටාවකටය. සතුරු සේනාවක් පැමිණෙන්නේ නම් එය දන්වන්නේ වෙනස්ම ආකාරයේ හූවකිනි. මෙහිදී මඳ දිගු හූවක්, කෙටි හූවක් ආදී වශයෙන්ද රහස් හූව ප්‍රභේද කර තිබී ඇත. රහස් හූවේ අරුත් දැන් තේරුම් ගැනීම වෙනම පුහුණු කළයුතු කටයුත්තක් වී ඇත. කෙසේ වෙතත් මෙම හූ කීමේ කලාවේ දියුණු අවස්ථාව ලෙස සැලකිය හැකිය.
අපේ පැරණි මුතුන්මිත්තන් සිය අදහස් හුවමාරැකරණයේදී භාවිත කළේ ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම හූව බව විටෙක අප කීවෙමු. “ඔච්චම් හූව” ඊට කදිම උදාහරණයකි. පැරැන්නන් අතර ඔච්චම් හූව ප‍්‍රචලිතව භාවිත වූයේ ජන ක්‍රීඩාවලදීය. අංකෙළිය පවත්වන අවස්ථාවේදී හූව සුවිශේෂිත විය. අංකෙළියෙන් පරාජයට පත් වූ පිල අංපිටිය මැද වාඩි කරවා ජය ලැබූ පිල විසින් ඔවුනට හූ කීහ. ඔච්චම් හූවට නම් ලැබුණේ එතැනිණි. එහෙත් අද හූව නම් ඔච්චමක් බවට පත්ව තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් දේශපාලන මෙවලමක් බවට අද හූව පත්ව ඇත. හූවේ අර්ථය අපහාසයම පමණක් වී ඇති බව පෙනී යයි. ප්‍රාථමික නමුදු කාලානුරූපීව අප ජනයාගේ දියුණු සන්නිවේදන ක්‍රමෝපායක් වූ හූවට අද තැනක් නැති බව කිව යුතුය. ඒ කෙසේ වෙතත් අපගේ මෙම විමසීම හූවේ අතීතය පිළිබඳවයි.
“මූකලන් හූව” නම් දඩයමේ යන අවස්ථාවේදී භාවිත වූවකි. සාමූහිකව දඩයමේ යන විටදී සෙසු දඩයක්කරුවන් අනතුරකින් තොරව ඉදිරියට යනවාද යන්න මෙන්ම එකිනෙකා සමාන්තර දුරකින් ගමන් කරනවාද යන්න තහවුරු කරගන්නේ මුකලන් හූව මගිනි. මෙහි ඇති විශේෂත්වය නම් සාමාන්‍ය මිනිස් කටහඬකින් නගන හූවක හඬට වඩා යක්‍ෂයකු නගන හඬකට සමාන වූ බව කියැවේ. මූකලන් හූව, දඩයම් හූව ලෙසත් හඳුන්වා ඇත. මීට අමතරව ශාන්ති කර්ම හූව පිළිබඳවත් අවසානයේදී දැක්විය යුතුය.
මෙරට ගුප්ත ශාස්ත්‍රය සමඟ හූවට තිර බැඳීමක් ඇත. ශාන්තිකර්මවලදී ආතුරයන් මෙන්ම යකැදුරෝ ද හූ කියති. එවිට හූ කීම රෝගයක් ලෙස නැතිනම් ආවේශයක් ලෙස මෙහි හඳුන්වා ඇත. මෙවන් හූ වලට බොහෝවිට ගැමියන් බියවී තිබේ. තම වගාවට හදිසියේ වන අලි පැමිණියහොත් ඔවුන් පලවාහැරීමට ගොවියා පැලේ සිට මුදාහැරිය කඩින් කඩ ‘හූ’ කීම ඉතා ජනප්‍රියය. ඒ අනුව ගොවිතැන් සම්බන්ධව කළ හූවේ විශේෂතා විමසීම වටී. වල් කොටා වියළී ගිය හේන්යායකට ගිනි තැබීමට ප්‍රථම ඒ යාය හිමි ගොවීහු තෙදිනක්ම ඒ වෙල්යායට පැමිණ සමූහ වසයෙන් හූ හඬ දිනකට දෙවරක් නිකුත් කළහ. ඒ සතුන් පළවා හැරීම වෙනුවෙනි.
හූවේ කතාව තවත් දිගය. ඒ පිළිබඳ ඔබේ ගවේෂණට ඉඩක් තබා හූවක් කියා අප අදට කතාව නිමාකරමු. හූව යනු හුදු උපහාසයට පමණක් නොව එය අපගේ උරුමයක් බව අනාගත පරපරම්පරාවට අප කියා දිය යුතුව තිබේ.
► චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ I අන්තර්ජාලයෙන්