2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

කොන්දොස්තර ‘ලස්’ ලක්ෂරි බස් ලංකාවටත්!

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 504

රටක ගමනාගමනය යනු එම රටේ වැඩකරන ජනතාවගේ සේවාස්ථාන කරා පිවිසීමට හා යළිත් නිවෙස් කරා යාමට ඇති මූලිකම අංගය ලෙස සඳහන් කිරීම වරදක් නැත. රටේ සංවර්ධනය හා මහජනතාවගේ ජීවන තත්ත්වයට ප්‍රවාහන ක්ෂේත්‍රය මහත් පිටිවහලක් සපයයි. 1978 වසරට පෙර මෙරට තුළ හොඳ බස්රථ සේවාවක් හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වී ඇති අතර විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් සමඟ බොහෝ දේ දියුණු වුවත් එදා පටන් මෙරට පොදු ප්‍රවාහන සේවා ආපස්සට ගමන් කරමින් තිබේ.

එහි උපරිම කාලය වර්තමානයේදී පෙන්නුම් කරයි. ලෝකයේ දුම්රිය සේවා සහ බස්රථ සේවා ගුණාත්මකභාවයෙන්, ප්‍රමාණාත්මකභාවයෙන් දිනෙන් දිනම ඉදිරියට ගමන් කරමින් මගී ජනතාවට හොඳ සේවාවක් ලබාදෙමින් තිබේ. මේ තත්ත්වය එම රටවල් ලබාඇති දියුණුව පෙන්වන කැඩපතකි. එහෙත් ලංකාව සිංගප්පූරුවක් බවට පත්කරන බවට පුරසාරම් දොඩවන බොහෝ දෙනා පොදු මගී සේවාව විනාශ වී යන ආකාරයට කටයුතු කිරීම නිසා මේ වනවිට මෙරට දුම්රිය සේවාව සහ බස්රථ සේවාව තවමත් පවතින්නේ මුල් අවධියේ බව පොදු ප්‍රවාහන සේවාවන් තුළ ගමන් ගන්නා මගීහු පවසති.

දියුණු රටවල් නවීන තාක්ෂණය යොදා ගනිමින් පොදු ප්‍රවාහනය දියුණු කිරීමෙන් ජනගහනයෙන් අති බහුතරය ඊට යොමුකර ගැනීමට යොමුවී ඇත. එමගින් ඒ රටවල් වාසි රැසක් අත්පත් කරගනී. මාර්ග තදබදය අවම කිරීම, ඒ මගින් අපතේ යන මිනිස් ශ්‍රමකාලය හා ඉන්ධන ප්‍රමාණය අවම කිරීම, රටක් ලෙස ඉන්ධන සඳහා දරන වැය අඩුකර ගැනීම, පරිසර දූෂණය අවම කිරීම එම වාසි අතර සුවිශේෂී වේ.

මෙලෙස අප පොදු ප්‍රවාහන සේවයේදී නවීන තාක්ෂණය භාවිතා කිරීමට දක්වන මැලිකම නිසා පමණක් නොව අවම වශයෙන් මගී ජනතාවට පහසුකම් සහිත ප්‍රවාහන සේවයක් ලබාදීමට කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා තමන්ගේ වාහනයක ගමන් කිරීමට පෙළඹෙන ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. පහසුකම් වැඩි කිරීම තුළින් තෘප්තිමත් වන මගියා නැවත නැවත ඒ සේවය ලබාගැනීමට පෙළඹීමෙන් ලාභය ඉහළ නංවනු ඇතැයි සිතන්නට දක්වන මැලිකම නිසා අප තවමත් සිටින්නේ ලෝකයේ අනෙකුත් රටවල්වලට වඩා බොහෝ පසුපසිනි.

කෙසේ වෙතත් මෙරට මගී ප්‍රවාහන සේවාවේ මගීන් වැඩිපුරම ගමන් ගන්නා පෞද්ගලික බස් රථ සඳහා කොන්දොස්තරවරුන් නොමැතිව මගීන්ට “ස්මාර්ට් කාඩ්” පතක් මගින් ගමන් ගත හැකි ක්‍රමවේදයක් නුදුරේදීම සකසන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ බොහෝ දියුණු රටවල භාවිත කරන මෙම ක්‍රමවේදය මෙරටට හඳුන්වාදීම තුළින් මගීන්ට පහසුවක් ඇතිවන බවයි.

මෙලෙස පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික ස්මාර්ට් කාඩ් පතක් මගී ජනතාව වෙත හඳුන්වා දීමෙන් ප්‍රවාහනයේ ගමන් ගන්නා මගියාට මෙන්ම පෞද්ගලික බස්රථ හිමියන්ට ද වාසි කිහිපයක් අත්පත් කෙරෙනු ඇත. බස් රථ අතර අනවශ්‍ය තරගකාරීත්වය, මගින් මහමග සිටින මගීන් අතහැර දමා බස් ධාවනයේ යෙදීම නිසා මගීන් අසරණවීම, අනවශ්‍ය කාලයක් ගනිමින් තැනින් තැන නවතමින් බොහෝ වෙලාවක් ගතකර මගීන් රස්තියාදු කිරීම ආදිය වැළකෙනු ඇති අතර මගීන් සහ කොන්දොස්තරවරුන් අතර තිබෙන මාරු කාසි ප්‍රශ්නයටද මින් විසඳුමක් ගෙන එනු ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් කොන්දොස්තරවරුන් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම නිසා ලංගමයට දිනකට රුපියල් කෝටියක් පමණ අහිමි වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පසුගියදා පවසා තිබුණි. ලංගමයට ද මෙවැනි පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් කාඩ්පතක් හඳුන්වා දීමෙන් මෙම පාඩුව පියවා ගත හැකි බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න
පෞද්ගලික බස්රථවලින් උපයන මුදල නිසි ලෙස දැන් බස් අයිතිකරුවන් වෙත ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇතැම් බස් කොන්දොස්තරවරුන් මගීන්ට නියමිත ගමන් සීමාවේ ලබාදිය යුතු ටිකට්පත ලබාදෙන්නෙත් නැහැ. වගේම තමයි මාරු කාසි ප්‍රශ්නය නිසා මගීන් සහ කොන්දොස්තරවරුන් අතර තිබෙන ගැටුම්වල වර්ධනයක් තියෙනවා. නමුත් පෞද්ගලික බස්රථ සඳහා මෙම ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් කාඩ්පතක් හඳුන්වාදීම මගින් ඔය කෙරෙන සියලුම දේවල්වලට වැට බැඳෙනව. සිංගප්පූරුව වැනි රටවල මේ ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ රටවල බස්රථ රියැදුරන් පමණයි සිටින්නේ. කොන්දොස්තරවරුන් නැහැ. මේ ක්‍රමය මෙරටට හඳුන්වා දෙන්න අපි ඒ අදාළ ආයතන සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉදිරියේදී මෙරටට ගෙන්වීමට නියමිත පහත තට්ටුව සහිත සුඛෝපභෝගී බස්රථ සඳහා තමයි මෙය හඳුන්වා දෙන්නේ. ඉදිරි මාස දෙකක කාලය තුළ මෙය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්
මගීන් තමයි අපේ මේ කර්මාන්තය කරගෙන යන්න ඉවහල් වෙන ප්‍රධාන සාධකය වන්නේ. මගීන්ගේ පහසුව තකා මේ විදියට ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් කාඩ් එකක් හඳුන්වාදීම හොඳයි. විශේෂයෙන්ම මේ වනවිට බස් රථ කර්මාන්තයේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි මාරු කාසි නොදීමේ ප්‍රශ්නය. මේ තත්ත්වය යටතේ මගීන් සහ බස් රථ කොන්දොස්තරවරුන් අතර ගැටුම් පවා නිර්මාණය වෙලා තිබෙනවා. මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වාදීම තුළින් මේ වගේ ගැටලු ඇතිවීමට තිබෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම තමයි මෙම කාඩ්පත ජනතාව අතරට ගියාම බස්රථවල ආදායමින් කොටසක් කප්පම්කරුවන්ට ලබාදීමක් සිදුකරන්න ඕනත් නැහැ.

මේ අතර ඉදිරියේදී දුම්රිය ප්‍රවේශපත් සඳහාද පෙර ගෙවුම්කාඩ් (Prepaid card) සහ ඊ ටිකට්පත් (e-Ticketing) හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් තීරණය කර ඇත. මේ සම්බන්ධව අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු පවසා සිටියේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ මෙන්ම ලබාගැනීමේදී ද වාර්තාවන අක්‍රමිකතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

අන්තර්ජාලයේ ඔන්ලයින් හරහා ක්‍රියාත්මක වන ඊ ටිකට්පත් ක්‍රමය මගින් කිසිදු අතරමැදියකු භාවිතයෙන් තොරව දෙස් විදෙස් මගීන්ට තම ගමන් ප්‍රවේශ පත්‍රය වෙන්කර ගැනීමේ හැකියාවක් ඇත. ඇතැම් පුද්ගලයන් විසින් දුම්රිය ප්‍රවේශපත්‍ර නියමිත මුදලට ලබාගෙන ඉතා ඉහළ මුදලකට අලෙවි කරන බවත්, අනෙකුත් දුම්රිය සේවයේ තිබෙන එම සියලු අක්‍රමිකතා මැඩ පැවැත්වීමටත් මෙම ක්‍රමවේදය ඉවහල් වනු ඇත.

► සටහන - හසිත් අංජන