වසර 20කට ආසන්න කාලයක් තිස්සේ සමාජයේ විවිධ අඩත්තේට්ටම්වලට ලක්වෙමින් කිසිවකුගේ හවුහරණක් ද නොමැතිව තිස්සමහාරාම පුල්පල්ලම ග්‍රාම නිලධාරී වසමේ කොඩිගහවැව වැව ඉස්මත්තේ දිවි ගෙවන අසරණ පවුලක් පිළිබඳ කතාවක් පසුගිය දින අපට වාර්තා විය.
දරුවන් සය දෙනකු සිටින තේවර් සුබ්‍රමනියම් හා වසන්ති ලෙච්චමී දෙපළ මෙලෙස කොඩිගහවැව වැව් ඉස්මත්තේ දැඩි ආර්ථික අපහසුතාවලින් යුක්තව වසර 20කට අධික කාලයක සිට දිවි ගෙවති. මේ වන තෙක් මෙම පවුලට රජයෙන් කියා ලැබෙන්නේ තැපැල් කන්තෝරුවෙන් ලබාගන්නා රුපියල් 500ක දීමනාව පමණි. සුබ්‍රමනියම්ට ද ස්ථිර රැකියාවක් නොමැති අතර ඔහු සිය කටුමැටි පැල අසල ඇති වැවෙන් මාළු අල්ලා අලෙවි කර දවසේ ජීවිකාව සඳහා කීයක් හෝ සොයා ගනියි. සුබ්‍රමනියම්ගේ බිරිඳ වසන්ති ලෙච්චමී ද දහවල් කාලයේ කැලය පුරා ඇවිද ගොස් රණවරා මල් කඩාගෙනවිත් වේලා අලෙවි කිරීම සිදු කරන්නේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතාවය නිසාවෙනි. මෙම අසරණ පවුල දිවි ගෙවන්නේ පොල්අතු හා ඉටිකොළවල ආධාරයෙන් අටවාගත් කටුමැටි පැලකය. විදුලි පහසුකම් හෝ ජල පහසුකමක් මේ අයට නොමැත. කෑමට හා බීමට ගන්නේ අසල ඇති වැවේ අපිරිසුදු ජලයයි.
තේවර් සුබ්‍රමනියම් සිය ජීවන චාරිකාව පිළිබඳව විස්තර කළේ මෙලෙසිනි.
“අපි දැන් අවුරුදු 20 ක් විතර තිස්සේ ඉඳන් මේ කොඩිගහවැව වැව් ඉස්මත්තේ තමයි ජීවත් වෙන්නේ. අපිට මේ අවුරුදු 20ක කාලය පුරාවටම ඡන්ද අයිතියක්වත් තිබුණේ නෑ. පසුගිය දවසක අපි ගැන දැනගත්ත හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්තුමා අපේ ගෙදරට ඇවිත් අපිට ඡන්ද අයිතිය දෙන්න නම් කටයුතු කළා. ලබන වසරේ සිට ඡන්ද අයිතිය ලැබේවි කියලා විශ්වාස කරනවා. රජයෙන් කියා ලැබෙන මොනම ආධාරයක්වත් අපිට ලැබෙන්නේ නෑ. අපේ පළාත භාරව ඉන්න ග්‍රාමසේවක මහත්තයා අපිට ඡන්ද අයිතිය නෑ කියලා කිසිම උදව්වක් කරන්නේ නෑ. උදව්වක් කරන්න ඉදිරිපත් වුණත් ඒ අයට ඒක කරන්නත් ග්‍රාමසේවක මහත්තයා ඉඩ දෙන්නේ නෑ.
මට අවුරුදු 17, 15, 12, 10, 09 හා 04 වයස්වල පසුවන පිරිමි දරුවන්ම 06 දෙනෙක් ඉන්නේ. මේ දරුවන්ගෙන් වැඩිමහල් දරුවන් තුන්දෙනාම මේ වෙනකොට ඉන්නේ හික්කඩුවේ ළමා නිවාසයක. ගමේ කට්ටිය මේ දරුවෝ කඩේකින් බඩු හොරකම් කළා කියලා පොලීසියට කියලා මගේ දරුවෝ තුන්දෙනෙක් උසාවියට ගෙනිච්චා. ඒ ගෙනිච්චම උසාවියෙන් ළමයි තුන්දෙනා හික්කඩුවේ ළමා නිවාසයකට දැම්මා. දැන් ඒ අය ගෙදර එක්ක යන්න කීවත් මම ඒ අය ගෙදර එක්කගෙන ආවේ නෑ. මොකද ඒ අය ගෙදර එක්ක ආවා කියලා මට කන්න බොන්න දෙන්නත් අමාරැයි. අනික ආවත් ඒ අයට ඉන්න ඉඩකුත් නෑ මේ පුංචි පැලේ. ඒ නිසා මම ඒ තුන්දෙනා ළමා නිවාසයේම ඉන්න ඇරියා. අඩුම තරමේ ඒ දරුවෝ තුන්වේල කාලවත් ඉඳීවි කියලා.
මේ වෙනකොට බාල දරුවන් තුන්දෙනා මාත් එක්ක ගෙදර ඉන්නේ. මේ අයත් දැන් ඉස්කෝලේ යන්න අරගෙන වැඩි කාලයක් නෑ. අපි දුප්පත් නිසා අපේ දරුවෝ පාසලකට දමාගන්න බැරි වුණා. සමහර අය මගේ දරුවෝ ඉස්කෝලේ ගියාම කොන් කරනවා. කොහොම හරි දැන් ළමයි දෙන්නෙක් බෝහලපැලැස්ස ඉස්කෝලෙට යනවා. බාලම පුතා කන්දේ විහාරයේ තියෙන පෙර පාසලට යනවා.
මම රස්සාවට කරන්නේ මාළු අල්ලන එක. ගේ ළඟ තියෙන වැවෙන් මාළු අල්ලලා ගෙවල් ගාණේ ගිහින් විකුණනවා. හැමදාම මාළු අහුවෙන්නෙත් නෑ. බිරිඳත් කැලේ ගිහින් රණවරා මල් කඩාගෙන එනවා. රණවරා මල් කිලෝ 30ක් විතර කඩාගෙන ආවම ඒකෙන් වේළලා හදන්න පුළුවන් උපරිම කිලෝ එකක් හෝ කිලෝ එකහමාරක් වගේ විතරයි. අපි දෙන්නා සමහර දවසට කන්නෙම නෑ. ලැබෙන දෙයින් මොනවා හරි දෙයක් මේ ළමයි තුන්දෙනාට කන්න දීලා අපි දෙන්නා බඩගින්නේ නිදාගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා. දරුවන් ඉස්කෝලෙට යවන්න තරම් හොඳ ඇඳුම් අරගන්න අපිට වත්කමක් නෑ. ළමයින්ට තියෙන්නේ එක සූට් එකක් විතරයි. ඉස්කෝලේ ගිහින් ආව ගමන් ඒ සූට් එක හෝදලා වේළෙන්න දමනවා අනිත් දවසට ඇඳගෙන යන්න. අපි පස්දෙනා එක වේලක් හරි කාලා ඉන්නවා. අපිට ඉන්න පොඩියට හරි ගෙයක් හදාගන්න උදව්වක් කරනවා නම් ඒක තමයි ලොකුම දේ වෙන්නේ.
පසුගිය දවසක යුද හමුදාවේ මහත්වරු වගයක් ඇවිත් අපිට ගේ පොඩ්ඩක් හදා දෙන්න හැදුවා. ඒ මහත්වරු වැලි පවා ගෙනත් දැම්මා. නමුත් ගේ හදන්න හදනකොට ගොවි සමිතියේ කිහිප දෙනකුයි ග්‍රාමසේවක මහත්තයයි ඇවිත් ඒක නතර කළා. වැව් රක්ෂිතයේ ගෙවල් හදන්න දෙන්න බෑ කිව්වා. අසරණ අපිට තමයි මහත්තයෝ කාගෙත් නීති තියෙන්නේ. ග්‍රාමසේවක මහත්තයා විරුද්ධ වුණු නිසා ගේ හදන්න ආව මහත්වරු යන්න ගියා.
ග්‍රාමසේවක මහත්තයට මම මගේ දුක කීවත් එතුමා ඒක තඹයකටවත් මායිම් කරන්නේ නෑ. මට තේරෙන්නේ නෑ ඇයි එහෙම කරන්නේ කියලා. මම කිහිප වතාවක්ම එතුමගෙන් ඉල්ලීමක් කළා මට මෙතන බැරි නම් වෙන තැනකින් හරි ඉඩම් කෑල්ලක් දෙන්න ගෙයක් හදාගන්න කියලා. ග්‍රාමසේවක මහත්තයා කියනවා මේ අවටින් නම් දෙන්න බැරිලු. ඕන නම් රන්මිහිතැන්නෙන් ඉඩම් කෑල්ලක් දෙන්නම්ලු. මෙතන වැවේ මාළු අල්ලන රස්සාව කරන මට රන්මිහිතැන්නෙන් ඉඩමක් දුන්නම මම කොහොමද රස්සාව කර ගන්නේ. ඇයි මේක මේ අයට තේරෙන්නේ නැත්තේ කියලා මට තේරෙන්නෙ නෑ. මම ග්‍රාමසේවක මහත්තයට කිව්වා මෙතන බැරි නම් මීට එහා පැත්තෙන් තියෙන ඉඩම් කෑල්ලක් දෙන්න කියලා. නමුත් ඒකට එතුමා කැමති නෑ.” යැයි ඔහු පැවසීය.
වසන්ති ලෙච්චමී මහත්මිය මෙසේ පැවසුවාය.
“අපිත් ආසයි සමාජයේ ලස්සනට ජීවත් වෙන්න. නමුත් සමාජයේ අය ඒකට අපිට ඉඩ දෙන්නේ නෑ. මිනිස්සු බලන්නේ කොහොම හරි අපි මේ ඉඩමෙන් අයින් කරලා මේ ඉඩම අල්ලාගන්න. අපි වගකිවයුතු අයකුගෙන් ඉල්ලන්නේ වැටිලා ඉන්න පුළුවන් විදියට ගෙයක් හදාගන්න සුදුසු තැනක් දෙන්න කියලා විතරයි. අනික අපි අක්කර ගණනක් ඉල්ලන්නේ නෑ. ගෙයක් හා වැසිකිළියක් හදාගන්න තරමේ ඉඩම් කෑල්ලක් තිබුණා නම් හොඳටම ඇති. මමත් හැමදාම කැලේ ඇවිදලා රණවරා මල් කඩාගෙන ඇවිත් වේළනවා. අපිට තුන්වේල කන්න නම් විදියක් නෑ. වේල් දෙකක් හෝ එකක් තමයි අපි කන්නේ. දරුවන්ට පුළුවන් විදියකට කන්න දෙනවා.” යැයි පැවසුවාය.
අප මේ නිවෙසට යන විටත් නිවැසියන් දවල්ට උයා තිබුණේ නැත. ඒ තරමටම මෙම පවුල ආර්ථිකමය වශයෙන් පහළ තැනකට වැටී තිබේ. මාළු අහුවුණේ නැති දවසට පවුලේ උදවිය දවස ගෙවා දමන්නේ කුසගින්නෙනි. මෙම පවුල මෙවන් තැනකට ඇද දමන්නට සමාජයේ ඇතැමකු ද කටයුතු කර ඇති බව සුප්‍රමනියම්ගේ කතාවෙන් අපට පැහැදිලි විය. අධිවේගී හැදෙන, තට්ටු ගණන් බිල්ඩින් හැදෙන රටක දරුවන් හය දෙනකු සමඟ ඉන්න හිටින්න තැනක් නැතිව අසරණ වූ මෙම පවුලට පිහිටක් වන්නට බලධාරීන් කල් මරන්නේ කුමන පරමාර්ථයකින්දැයි අපි නොදනිමු. ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කෙසේවෙතත් ගම් මට්ටමින් ගම්වල ඇති අඩුපාඩු සොයා වාර්තා කිරීමට ගමට පත් කර ඇති නිලධාරීන් ද සිය වගකීම් පැහැර හැර ඇති බව නම් පැහැදිලිය. කිසියම් අයකු මෙම අසරණ පවුලට උදව් කිරීමට කැමති නම් කතරගම පාරේ පී/3, කොඩිගහවැව, ජුල්පල්ලම ලිපිනයට පැමිණීමෙන් හෝ සුප්‍රමනියන්ගේ දුරකතනය වන 0710551358 ඇමතීමෙන් ඔවුන් සම්බන්ධ කරගත හැකිය.
► සූරියවැව නුවන් ජයසේකර