2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

වැසියන් පීඩාවට පත්කළ පාපකර්මය

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

කෝලිත රජතුමාගේ දුව සුප්පාවාසාය. ඇයට දරු ගැබක් හටගත්තා. මහ පුදුම දෙයක් සිදුවුණා. ඒ දරු ගැබ බිහිවුණේ නෑ. සත් වසරක් එක විලසට තිබුණා. සත් වසරින් පසු විලිරුදාව හැදුණා. ඒ වුණත් දරුවා බිහි වුණේ නෑ. දවස් හතක් දුක් වින්දා. බැරිම තැන සුප්පාවාසා සිය සැමියාට කිව්වා “ඔබ බුදුරජාණන් වහන්සේ වෙත යන්න. මම විඳින දුක කියන්න”

ඔහු ගියා. බුදුරජාණන්වහන්සේගේ සිරිපා වැඳගෙන බිරිය විඳින දුක කිව්වා.

බුදුන් වහන්සේ සුප්පාවාසා සුවපත් වේවා යැයි ප්‍රාර්ථනා කළා. දැන් ඔබ යන්න. ඇය දරුවා සුවපත්ව ඉන්නවා යැයි ප්‍රකාශ කළා.

ඔහු නිවසට ආවා. බිරියට පුතකු ලැබ සුවෙන් උන්නා.

බුදු ගුණ අසිරිමත්

බුදු ගුණ අසිරිමත්. බුද්ධානුභාවය අතිශයෙන්ම ආශ්චර්යයි. ඔහු කිව්වා. සුප්පාවාසා  එය අනුමත කළා. ප්‍රීතියට පත් වුණා. සතියක් පුරා බුදුන් ප්‍රධාන මහා සංඝයාට දන් දෙන්න තීරණය කළා.

ඔබ දෙව්රම් වෙහෙරට යන්න. බුදුන් වහන්සේට දානයට ආරාධනා කරන්න කිව්වා.

ඔහු ගිහින් කළ ආරාධනාව බුදුරජාණන්වහන්සේ පිළිගත්තා. ඒ අතර දරුවාට සීවලී යැයි නම් තැබුවා. බුදුන් වහන්සේ දෑගසව්වන් ප්‍රධාන සංඝයා වහන්සේලා සමඟ දවස් හතේම දනට වැඩම කළා.

සත්වැනි දවස සුප්පාවාසා පුංචි කුමරු සංඝයා වහන්සේලාට පිළිවෙළට වැන්දවූවා. සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ආවා. “සීවලී කිමෙක්ද ඔබට සැපදැයි” සුවදුක් විමසා සිටියා.

“ස්වාමීනි! සැපක් කොයින්ද? මම සත් අවුරුද්දක් ලෝකුඹු නිරය වැනි මවු කුස විසුවානේ.” කුමරු කිව්වා. 

සුප්පාවාසා පුදුම වුණා. ඒ සත් දවසක කුමරු මහ රහතන්වහන්සේ සමඟ කතා කිරීම ගැන.

“සුප්පාවාසාවෙනි! මෙවැනි දරුවන්ට ඔබ කැමැතිදැයි?” බුදුන් වහන්සේ විචාළා.

“ස්වාමීනි! මෙවැනි දරුවන් සත් දෙනකු ලැබේනම් මම කැමැතියි. එසේ වීනම් මම භාග්‍යවන්තියක්.” ඈ සතුටින් ප්‍රකාශ කළා.

බුදුරජාණන්වහන්සේ අනුමෝදනාව කර විහාරයට වැඩම කළා. සීවලී කුමරු සත් වැනි වසර ලැබූ විට පැවිදි වුණා. රහත් ඵල ලබාගත්තා.

සීවලී මහරහතන් වහන්සේ

දම් සභාවේදී දිනක් සීවලී මහරහතන් වහන්සේ ගැන කතා වුණා. “ඔය මහරහතන් වහන්සේ සත් වසරක් මවු කුසේ උන්නා. පුදුමයි නේද?” එක හිමි නමක් ප්‍රකාශ කළා. “ඒ පෙර අකුසල කර්මයක් ගෙව්වා වෙන්න ඇති.” තවත් නමක් ප්‍රකාශ කළා.
“මහණෙනි! ඒ අකුසල කර්මයක් තමයි ගෙව්වේ.” පවසා බුදුරජාණන් වහන්සේ මෙම කතාව වදාළා.

එක් බඹදත් කුමාරයෙක් තක්සලාවට ගොස් සිප්සත සොඳින් ඉගෙනගෙන බරණැසට ආවා. පිය රජතුමා කුමරුට යුවරජකම පැවරුවා. ටික දිනකින් පියරජතුමා මියගියා. කුමරු බරණැස රජතුමා වුණා.

කලක් ගෙවුණා. කොසොල් රට රජතුමාට බරණැස් රාජ්‍යය අල්ලාගන්න හිතුණා. බල ඇණිගෙන සටනට ආවා. බරණැස රජතුමාත් සේනා ගෙන පෙරට ගියා. සටන ඇරැඹුණා. බරණැස රජතුමා සටන් බිම මියගියා. කොසොල් රට රජතුමා ජයගත්තා. ආපසු ගියේ නෑ. බරණැස රාජ්‍යයට වී සිටියා. 

මියගිය බරණැස රජතුමාට පුත් කුමරෙක් උන්නා. අගබිසව බියවුණා කොසොල් රට රජතුමා පුත් කුමරු මරා දමයි කියා.
“පුතා ඔබ බරණැසින් පලායන්න. නැත්නම් ඔබේ ජීවිතය නැතිවෙයි.” බිසව පුත් කුමරුට කිව්වා.

කුමරු මවගේ කීම පිළිගත්තා. පලාගියා. දුරු රටකට වී සේනා රැස් කළා.

යුද්ධ කරන්න එපා

කාලය ගෙවී ගියා. බඹදත් කුමරු සේනාව රැගෙන බරණැස බලා ආවා. කඳවුරු බැඳගත්තා. සටනට එන්න කියා හසුන්පතක් කොසොල් රට රජුට යැව්වා.

මවු බිසව එය දැනගත්තා. පුත් කුමරුට හසුන් පතක් යැව්වා. එහි මෙසේ සඳහන් වුණා.

“පුත යුද්ධ කරන්න එපා. මෙහි වැසියන් කොසොල් රට රජුට කැමති නෑ. ඒ ඔහු බලෙන් මේ රාජ්‍යයෙහි ඉන්න නිසා. ඔබ කළ යුත්තේ මුළු බරණැස් නුවරම වට කිරීමයි. දර පැන් ආහාර නුවර ඇතුළට ගෙන ඒම නවත්වන එකයි. එවිට වැසියෝ පීඩාවට පත්වෙනවා. වැසියෝ කෝප වෙනවා. ඉන් කෝසල රට රජතුමාට එරෙහි වෙනවා. කැරලි ඇති වෙනවා. ඔවුන් රජතුමා මරා දමන්නත් පුළුවන්.”

කුමරු මව එවූ හසුන්පත අනුව කටයුතු කළා. බරණැස් නුවරට කිසිවකුට ඇතුළු වෙන්නවත්, පිට වෙන්නවත් දුන්නේ නෑ. එසේ දවස් හතක් ගෙවුණා. එනුවර වැසියෝ දැඩි ලෙස පීඩාවට පත්වුණා. අඹු දරුවන් කුසගින්නෙන් පෙළුණා. නුවර වැසියෝ එක් වුණා. රජතුමාට එරෙහිව නැගී සිටියා. රජතුමා අල්ලාගෙන හිසගසා දැම්මා. ඒ හිස බරණැස් කුමරට ගෙනත් දුන්නා. ඒ කුමරු බරණැස රජවුණා.

ඒ කුමරු එදා එසේ කළත් බොහෝ කුසල් කර නිවන් දකින්න ප්‍රාර්ථනා කළ කෙනෙක්. ඒ කුමරු තමයි ඔය සීවලී තෙරණුවෝ. එදා බරණැස ජනතාව පීඩාවට පත්කළ පාපකර්මය නිසා තමයි හත්වසරක් මවු කුස තුළ දුක්වින්දේ. එදා මවු බිසව වූයේ ඔය සුප්පාවාසා. ඇයත් ඒ පව හත්වසකුත් හත් දවසකුත් ගෙව්වා. බුදුන් වදාළා.

අසාත රූප ජාතකය ඇසුරින් 
බී. පී. කේ. තිලක