2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ලාංකික කලාවට අතහිත දෙන කලාපොළ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

කලාපොළ ශ්‍රී ලංකාවේ පවත්වන විශාලතම එළිමහන් දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයයි. එය රට පුරාම විසිරී සිටින චිත්‍ර හා මුර්ති ශිල්පීන්ට හොඳ අවස්ථාවක්. එය චිත්‍ර ශිල්පීන්ට, රසිකයන්ට, චිත්‍රවලට උනන්දු වන කාටත් එකිනෙකා හා සම්බන්ධ වීමට කදිම තැනක්. මුල්ම කලාපොළ ප්‍රදර්ශනයේ සිට මේ දක්වා නොකඩවා මම ඊට සහභාගි වෙනවා. එලෙස අදහස් පැවසුවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහයි.

ජෝර්ජ් කීට් පදනමේ මූලිකත්වයෙන් සංවිධානය කරන කලාපොළ පෙබරවාරි 23දා කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) පැවැත්වීමට නියමිතය. එය මෙවර පැවැත්වෙන්නේ 27 වැනි වරටයි.

මුල්ම කලාපොළට සහභාගි වුණේ චිත්‍ර ශිල්පීන් 30 දෙනෙක් පමණයි. ගියවර එය 350 දක්වා ඉහළ යාමෙන්ම පේනවා මෙම සංකල්පය ජනතාව අතරට දැඩිව කාවැදී ඇති බව. ශ්‍රී ලාංකීය කලාව තමයි මෙතනදී දැකගත හැකිවන්නේ. තරැණයන් බහුලව මෙයට එකතුවන බව පේනවා. එලෙස පැවසුවේ ජෝර්ජ් කීට් පදනමේ සභාපති මයික් අන්තෝනිස්ය.

පසුගිය වර්ෂයේ කලාපොළට සහභාගි වූ නරඹන්නන්ගේ සංඛ්‍යාව 31000 කි. ළමා චිත්‍ර අන්තයේ 235කට අධික දුවා දරුවන් සඳහා කලා නිර්මාණ කිරීමට ඉඩකඩ සැලසිණි. මෙවර ද විශාල පිරිසක් එය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කලාපොළ සම්බන්ධ තම අත්දැකීම් පවසන චිත්‍ර ශිල්පී චන්න ඒකනායක. මම 2002 දී තමයි මුලින්ම කලාපොළට සහභාගි වුණේ. ඒක මගේ ජීවිතය වෙනස් කළ සිද්ධියක් වුණා. විද්‍යා විෂයන්වලට සම්බන්ධ වෘත්තියක නියැළුණු මම එයින් ඉවත් වී චිත්‍ර ශිල්පය වෘත්තිය බවට පත්කර ගත්තේ ඉන් පසුවයි. ඉන්දියාවේ චිත්‍ර ප්‍රදර්ශන, ජාත්‍යන්තර කලා කඳවුරුවලට සහභාගිවීමටත් මගේ හැකියාව ඔප්නංවා ගැනීමටත් ජෝර්ජ් කීට් පදනමේ සහයෝගය ලැබුණා.

මෙරට දෘෂ්‍ය කලාව හා ශිල්පීන් නගාසිටුවීම පිණිස, ශ්‍රී ලංකාවේ පුරෝගාමී චිත්‍ර ශිල්පියකු වූ ජෝර්ජ් කීට් මහතා ජීවත්ව සිටියදී, 1988 ජූනි 18 වැනිදා ජෝර්ජ් කීට් පදනම පිහිටුවන ලදී. රටෙහි චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට ස්වකීය නිර්මාණ එළිදැක්වීමට, ඒවාට වෙළෙඳපොළ සකස් කර ගැනීමට සේම, ශිල්පය තවදුරටත් ඉගෙනගැනීමට හා ක්ෂේත්‍රය තුළ සබඳතා ජාලයක් සකස් කර ගැනීමට ජොර්ජ් කීට් පදනම මග සලසයි. ජෝර්ජ් කීට් 1992 දී මියගිය අතර, එම පදනම අප රටේ කලාවට සේවය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. 

පෞරාණික යුරෝපා අගනගරයන්හි පැවැත්වෙන එළිමහන් ගිම්හාන කලාපොළවල්වල ආභාසය ලබාගනිමින් පැවැත්වෙන කලාපොළ, චිත්‍ර ශිල්පීන්ට සහ මූර්ති ශිල්පීන්ට දේශීය සහ විදේශීය සහෘද ජනතාව වෙත සිය නිර්මාණ ප්‍රදර්ශනයට, අලෙවි කිරීමට මෙන්ම ක්ෂේත්‍ර ප්‍රවීණයන් සහ සහෝදර කලාකරුවන් දැනගැනීමට අවකාශයක් සපයයි.

මෙම ප්‍රදර්ශනය චිත්‍ර සහ මූර්ති පමණක් නොව ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විවිධ වූ රසයන් විදහා පාමින් දේශීය නැටුම්, ජන ගායනා, බෙර වාදන සහ අනෙකුත් සංස්කෘතික අංගවලින් විචිත්‍රවත් වූ කලා කේන්ද්‍රයක් බවට අද වනවිට පත්ව ඇත. සහෝදර කලාකරැවන් මුණගැසීමට සහ තම දැනුම පුළුල් කර ගැනීමට කලාකරැවන් හට මෙය මහඟු අවස්ථාවකි.

 ප්‍රේක්ෂක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00