2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

බටහිර ඔස්තාර් අභිමානය සොරාගත් පාක්ලාගේ උඩ තට්ටුව හා කිම්ලාගේ යට තට්ටුව

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 227

හැට ගණන්වල මෙරට ජනයා කළහකාරී මුඩුක්කු, පැල්පත් ඒකරාශී වූ තැන් හැඳින්වූයේ කොරියාව නමිනි. ඊට එක් හේතුවක් වූයේ එවකට කොරියාව නොදියුණු තත්ත්වයේ තිබීමයි. අනෙක් හේතුව වූයේ උතුරු හෝ දකුණු කොරියානුවන් උත්තර අක්ෂාංශ අංශක 38න් එපිටට පැන්න විගස රටවල් දෙකේ ගෝරිය ඇරඹීමයි.

අළු ගසා දැමූ දකුණු කොරියානුවෝ මේ වනවිට ආසියාවේ ආර්ථික වශයෙන් සිව් වැනි ප්‍රබල ස්ථානයට පැමිණ සිටිති. සංස්කෘතික වශයෙන් ඔවුන් කෙතරම් ප්‍රබල ස්ථානයකට පැමිණියේ ද යත් දැන් අප රටේ තරුණයන්ට කොරියාවේ රුකියා ලබා ගැනීම සඳහා කොරියානු බස හැදෑරිය යුතුව තිබේ. ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද කොරියානුවේ ලෝකයේ තරගකාරී මට්ටමකට පැමිණ ඇති බවට හොඳම සාක්ෂියකි. චිත්‍රපට සඳහා පිරිනැමෙන අමෙරිකානු ඇකඩමි (ඔස්කා) සම්මාන උළෙලේදී 2019 වර්ෂයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපටවලින් හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමෙන සම්මානය ඇතුළු සම්මාන 4ක් කොරියානු චිත්‍රපටයක් වූ පැරසයිට් (Parasite) චිත්‍රපටයට හිමිවිය.

අනූ දෙවැනි ඇකඩමි සම්මාන උළෙල වූ 2020 පෙබරවාරියේ පැවති සම්මාන උළෙලේදී වාර්තාවක් පිහිටුවීමට දකුණු කොරියානුවෝ සමත් වූහ.

ඔවුහු 1929දී ඇරඹුණු ඇකඩමි සම්මාන ප්‍රදානයේ ඉතිහාසයත්, සම්ප්‍රදායත් වෙනස් කළහ. මෙතෙක් කල් එම උළෙලේදී අමෙරිකානු නොවන විදේශීය චිත්‍රපටයක් උළෙලේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය දිනා තිබුණේ නැත. මෙතෙක් හොඳම චිත්‍රපටයට පිරිනැමෙන ඇකඩමි සම්මානය විදේශීය චිත්‍රපටයකට හිමි නොවූයේ එක් අතකින් එකී තරගකාරී මට්ටමේ විදේශීය චිත්‍රපටයක් ඉදිරිපත් නොවූ නිසාය. ඒ නිසාම විදේශීය චිත්‍රපටයකට හොඳම චිත්‍රපටය සඳහා සම්මානයක් නොදීම සම්ප්‍රදායක් තරමටම පුරුද්දට ගොස් තිබුණේය. හොඳම විදේශීය චිත්‍රපටයට පිරිනැමෙන සම්මානයක් වෙනම ඇත. මෙවර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම අන්තර්ජාතික චිත්‍රපටය යන සම්මාන හතරම පැරසයිට් චිත්‍රපටයට හිමිවිය. 

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කොරියානු ජාතික (Bong Joon – Ho) බොන් ජුන් හෝය. ඔහු 1969 සැප්තැම්බර් 14 උපත ලද්දෙකි. ඔහු සමඟ (Han Jin Won) හැන්ජි ජින් වොන් මෙම චිත්‍රපටයේ තිර රචනයට හවුල් වී තිබිණි. 2019 ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී Palme d^Or (Golden Palm) සම්මානය මෙම චිත්‍රපටයට හිමිවූ අතර කෑන්ස් උළෙලේ හොඳම නළුවාගේ හා නිළියගේ සම්මානයට ද එම චිත්‍රපටවේ නළුවාගේ හා නිළියගේ නම යෝජනා වී තිබිණ.

මෙම චිත්‍රපටය නම්කොට ඇත්තේ (ට්‍රැපි කොමඩි) ගණයේ චිත්‍රපටයක් ලෙසයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් විචාරකයනුත් පවසන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව පංති ගැටුම සහ සමාජ අසමානතාව බවයි. එසේම මෙය නූතන ධනවාදයේ පිළිබිඹුවක් ලෙසද චිත්‍රපට අධ්‍යක්ෂ Bong – Joon – Ho පවසයි. යටත් විජිතවාදය නිසා හටගත් කොරියානු ධනේෂ්වර ආර්ථික පිළිවෙතද මෙයින් විග්‍රහ වන බව ඔහු කියයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙය උඩ තට්ටුව සහ යට තට්ටුව විග්‍රහ වෙන පඩිපෙලේ කතන්දරය කියන චිත්‍රපටයක් ලෙස නම් කර ඇත්තේ බහු අර්ථයෙන් යුතුවය.
අපට හුරුපුරුදු දුප්පත් පවුලක් හා පොහොසත් පවුලක් අතර කතාවක් මේ සඳහා තෝරාගෙන ඇතත් එයින් කොරියානු ආර්ථිකයේ අසමනාතාව මැනවින් විග්‍රහ වෙන නිසා එය ලෝපුරා චිත්‍රපට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගනිමින් සිටිති. මේ කතාවේ එන (පාර්ක්ලා)ගේ පවුල පදිංචිව සිටින්නේ නිවෙසක උඩ තට්ටුවකය. දුප්පත් (කිම්ලා)ගේ පවුල පදිංචිව සිටින්නේ නිවසක පහත මාලයේය. උපතින් දුප්පත් අයට කොරියාවේ කියන්නේ (කුණු හැඳි)කාරයෝ කියාය. හොඳ සමාජ තත්ත්වයක් නැති නිසාත්, ඔවුන් අඩු ආදායම්ලාභීන් නිසාත් ඔවුහු හොඳ ගෙවල් මිලට ගන්නට අපොහොසත් වෙති. කොරියාවේ ධනවත් පවුල්වල උපත ලැබුවෝ (රන් හැඳි)කාරයෝය. පැරසයිට් චිත්‍රපටයේ බොහෝ දර්ශන නිර්මාණය කරන ලද පසුතලවල රූගතකොට ඇතත්, (පාර්ක්ලා)ගේ උඩ තට්ටුවත්, (කිම්ලා)ගේ යට තට්ටුවත් සියොල් නුවර සැබෑ ස්වරූපය පෙන්වයි. චිත්‍රපටයේ කතාවේ කියවෙන ආකාරයට චිත්‍රපට කර්මාන්තයේ කලාත්මක සහ තාක්ෂණික කුසලාන වෙනුවෙන් පිරිනමන ඇකඩමි සම්මාන වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔස්කා සම්මාන නමින්ය. 1929 මැයි 16 මෙම සම්මාන ප්‍රදාන උළෙල ඇරඹියේ Metro Goldwyn Mayer (MGM) සමාගමේ එවකට ප්‍රධානී Louis B Mayer විසිනි. 2019 වනවිට මෙම සම්මාන ප්‍රදානය සිදු කරන “Academy of Motion Picture Arts and Science” ඇකඩමියේ සාමාජිකත්වය ලැබුවෝ 7258 උන්හ. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ (2017 පත්වූ) David Rubinය.

රටවල් රාශියක් විවිධ අවුරුදුවල ඇකඩමි සම්මාන උළෙල නියෝජනය කරතත් අපේ චිත්‍රපටයක් මෙම උළෙලට ඉදිරිපත් නොවන්නේ මන්දැයි මට නොයෙක් වර සිතිණි. එම කුතුහලය සංසිඳුනේ ඇකඩමි උළෙල නියෝජනය කිරීම සඳහා චිත්‍රපටවලට තිබිය යුතු සුදුසුකම් මොනවාදැයි සොයා බැලීමෙන් පසුවය.

ඇකඩමි සම්මාන සඳහා පූර්ව සුදුසුකම් ලැබීමට යම් චිත්‍රපටයක් වාණිජ සිනමාහලක මුදල් ගෙවා නැරඹිය හැකි චිත්‍රපටයක් විය යුතුය. එසේම එම චිත්‍රපටය අදාළ වර්ෂයේ ජනවාරි 01දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය ඇතුළත අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේ එක දිගට අවම දින හතක් ප්‍රදර්ශනය විය යුතුය. එහිදී දිනකට දර්ශන වාර 3බැගින් තිබිය යුතු අතර ප.ව. 6 - ප.ව 10.00 අතර ඉන් එක් දර්ශනයක් පැවැත්විය යුතුය. රෝහණ විජේවීරගේ චරිතය රැගත් (ගින්නෙන් උපන් සීතල) ලොස්ඇන්ජලීස් නුවර ප්‍රදර්ශනය වූයේ මෙම සුදුසුකම ලැබීම උදෙසා විය යුතුය.

මීට අමතරව එකී සම්මාන උළෙලට ඉදිරිපත් වීම සඳහා චිත්‍රපටයකට තිබිය යුතු සුදුසුකම් අතර පහත ඒවාද ඇත. ධාවන කාලය අවම වි.40ක් විය යුතුය. 35 මිමි, 70 මිමි. හෝ ඩිජිටල් ආකෘතියෙන් තිබිය යුතුය. ලොස්ඇන්ජලීස් නුවර චිත්‍රපටය වෙනුවෙන් ප්‍රමාණවත් වෙළෙඳ දැන්වීම් පළකර තිබිය යුතුය. අදාළ වර්ෂයේ දෙසැ. 01 දිනට පෙර චිත්‍රපටයේ පිටපතක් ඇතුළු සියලු තොරතුරු ඇකඩමිය වෙත භාර දී තිබිය යුතුය.

ඔස්කාර් සම්මාන බොහෝ ගණනක් දිනූ (ටයිටැනික්), වන් ෆ්ලූ ඕවර් ද කුකූස් නෙස්ට්, ගෝඩ් ෆාදර්, ඩියර් හන්ටර් වැනි චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයා අතර ද ජනප්‍රිය වුවද ශ්ලින්ඩර්ස් ලිස්ට් (ස්පිල්බර්ග්ගේ) වැනි සම්මාන බොහෝ ගණනක් දිනූ චිත්‍රපට මෙරට ජනප්‍රිය වූයේ නැත.

හොඳම අන්තර්ජාතික චිත්‍රපට සඳහා වූ ඇකඩමි සම්මානය වැඩිපුරම දිනාගෙන ඇති රට ඉතාලියයි. ඉතාලි චිත්‍රපට 14ක් මේ දක්වා මෙම සම්මානය දිනා ඇත. ප්‍රංශ චිත්‍රපට 12ක් මේ දක්වා මෙම සම්මානය දිනා තිබේ. ඉන්දියානු චිත්‍රපට 03ක් මේ දක්වා ඇකඩමි සම්මාන උදෙසා නාම යෝජනා වී තිබුණත් කිසිම ඉන්දියානු චිත්‍රපටයක් හොඳම විදෙස් චිත්‍රපට සම්මානය දිනා නැත. එහෙත් සත්‍යජිත් රායි වරක් මෙම සම්මාන උළෙලේ ගෞරව සම්මානයට පාත්‍ර වී තිබේ.

ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය නිරන්තරව වෙනස් වෙමින් පවතින බව කොරියානුවෝ දුටුවෝය. ඒ සෑම දේම මානවයා සතු කුසලතාවයෙන් වෙනස් කළ හැකි බවද දැනගත් කොරියානුවෝ දරිද්‍රතාවයේ ගැලී නොසිටියෝය. ඔවුන් අනිත්‍ය බව වටහාගත්තේ ධනාත්මකවය. ආර්ථික හා සමාජීය නොහැකියාවේ රැඳී සිටිනවාට වඩා ඔවුන් හඹාගියේ සත්‍යතාවයයි. සිනමාවේදී වෙනත් කිසි රටක් නොතැබූ වාර්තාවක් තබන්නට ඔවුන් සමත් වන්නේ අනිත්‍ය ධනාත්මකව වටහාගත් නිසා යැයි මට හැඟේ. අනිත්‍ය යනු වෙනස් වන සුළු බවය. මේ වෙනස් වන සුළු බව අපේ නවකතා, චිත්‍රපට බොහෝමයක නිරූපණය වූයේ පිරිහෙන පැත්තටය. මානවයාගේ ධෛර්ය මෙහෙයවා පවතින තත්ත්වය වෙනස් කළ හැකි බව නිරූපණය කරන නිර්මාණ අප රටේ බිහිවූයේ අල්පයකි. සියල්ල ධනාත්මක ලෙස වෙනස් කළ හැකිය යන චින්තනය අප තුළ ඇත්නම් ආර්ථිකයත් සංස්කෘතියත් ධනාත්මක ලෙස වෙනස් කර ගැනීමේ හැකියාව අපට ද ඇත.

හොලිවුඩ් නම අනුකරණය කරමින් තම කර්මාන්තයට මුලින්ම සිනමා නාමයක් යොදාගත්තේ එවකට බටහිර බෙංගාලයයි. ආන්ද්‍ර ප්‍රදේශයේ තෙලුගු චිත්‍රපට කර්මාන්තය 1932 දී ටොලිගුවන්ග් නම ආදේශ කර ගැනීමෙන් හොලිවුඩ් නාමය අනුකරණය කිරීම ඇරඹිණි. ඉන්පසු,

පන්ජාබ සිනමාව ලොලිවුඩ් විය
ඉන්දීය පන්ජාබ සිනමාව පොලිවුඩ් විය
ගුජරාට සිනමාව ඩොලිවුඩ් විය
මලයාලම් සිනමාව මොලිවුඩ් විය
නයිජීරියානු සිනමාව නොලිවුඩ් විය
චීන සිනමාව චයිනාවුඩ් විය

හොලිවුඩ් සිනමා කර්මාන්තයෙන් වසරකට චිත්‍රපට 500 ක් පමණ නිපදවෙද්දී ඉන්දියානු බොලිවුඩ් සිනමාවෙන් වසරකට චිත්‍රපට 1000කට වඩා නිපදවේ. බොලිවුඩ් චිත්‍රපට නරඹන සමස්ත රසිකයන් සංඛ්‍යාව බිලියන 03 කි.

මේ අතර කොරියානු සිනමා කර්මාන්තය නම් කෙරෙන්නේ Hallyuwood හැලියුවුඩ් කියාය. Hallyu යනු කොරියානු නව රැල්ලයි. Wood කොටස හොලිවුඩයෙන් උපුටාගත් කොටසයි. දකුණු කොරියානු චිත්‍රපට කර්මාන්තය ඇරඹෙන්නේ 1945 දීය. කොරියාවේ පදිංචි ජපන් ජාතිකයන්ගේ බලපෑම කොරියානු සිනමාවට බොහෝ සෙයින් ලැබිණි. කොරියානු යුද්ධයත්, රජයේ වාරණයත්, ව්‍යාපාර අංශය ගෝලීයකරණය වීමත් දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රීයකරණයට භාජනය වීමත් සිනමාවට තවදුරටත් බලපෑවේය. දකුණු කොරියාව පිහිටුවන්නේ 1948 අගෝස්තු 15 වැනිදාය. දෙවැනි ලෝක මහ යුද්ධය කාලයේ දී කොරියාව පැවතියේ ජපානයේ පාලනය යටතේය. ජපානය, මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වීමෙන් පසු කොරියාව උතුරු සහ දකුණු කොරියාව වශයෙන් දෙකට බෙදුණේය. අක්ෂාංශ 380ට දකුණෙන් පිහිටි දකුණු කොරියාව අමෙරිකානු එක්සත් ජනපදයේ පරිපාලනයට අයත් විය. අක්ෂාංශ 380ට උතුරින් පිහිටි උතුරු කොරියාව සෝවියට් දේශයේ පරිපාලනයට අයත් විය. කොරියානු යුද්ධය මුලින්ම හටගත්තේ 1950 දීය.

මේ සියලු අලකලංචිවලින් පසුව දකුණු කොරියානු ආර්ථිකයත් සිනමාවත් දියුණුව කරා පියමැන්නේය. 

  සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00