2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ආයෝජකයන්ට හරි මඟ පෙන්නමු

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

මෙරට ව්‍යාපෘති ඇරඹීමේදී ආයෝජකයන්ට මුහුණ පාන්නට සිදුවන බාධක දුරුකර ඔවුන් දිරිගැන්වීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. විදේශීය හා දේශීය කර්මාන්ත ඇරඹීමට හා පවත්වාගෙන යාමට බලපාන ගැටලු මොනවාද යන්න හඳුනාගෙන ඒවා විසඳීම සඳහා ක්‍රියාකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානයට ලක්කර ඇත.

කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධන බලකායේ නිලධාරීන් සමඟ පැවැත්වූ මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව පසුවීම වැදගත් බවය. මෙහිදී බදු ගෙවීමේ සහ රේගු කටයුතුවලදී රටට පැමිණෙන විදේශිකයන්ට මුහුණපාන්නට සිදුවන ගැටලු සහ පරිසර ප්‍රශ්න පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. ඔහු එහිදී පවසා ඇත්තේ විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේදී විවිධ පාර්ශ්ව විසින් මතු කරනු ලබන ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවක් බවය. අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන සහ සමාජ මාධ්‍ය ද නිහඬව සිටීම කනගාටුදායක බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවලට සහය දීම සියලු පාර්ශ්වවල වගකීම බවය.

ලෝකයේ සීඝ්‍රයෙන් දියුණු වූ බොහෝ රටවල් ආයෝජකයන් පිළිබඳ විශ්වාසයෙන් යුක්තව කටයුතු කළ බවට සාක්ෂි තිබේ. සිංගප්පූරුව හා මැලේසියාව ඒ සඳහා හොඳ උදාහරණ සපයයි. ආයෝජන සඳහා ඉදිරිපත් වන දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් උනන්දු කරවීම උදෙසා අවශ්‍ය සහය ලබාදීම රජයේ යුතුකමකි. වගකීමකි. ලොව බොහෝ රටවල් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම හා දිරිගැන්වීම් යොදා තිබේ. ඒ නිසා අප වෙත එන ආයෝජකයන් වෙනතකට යාමට නොදී අප වෙත රඳවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අපගෙන් ගැලවී යන අයට අවශ්‍ය පහසුකම් දීමට වෙනත් බොහෝ රටවල් සැදී පැහැදී සිටින නිසා අතට පත්වූ අයගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම අපේ යුතුකමය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කරන ලද්දේ ද ආයෝජකයන් දිරිමත් කිරීමට නමුදු එදා සිට අද දක්වා එම මූලික පරමාර්ථය ඉටුකර ගත හැකිවීද යන්න ප්‍රශ්නාර්ථයකි. ළඟට එන ආයෝජකයන් සමඟ දැඩි ගිවිසුම්වලට එළැඹෙනවා විනා ආයෝජකයන් කැඳවාගැනීමට වැඩපිළිවෙළක් එතුළින් දක්නට නොහැකිව ඇත.

අපේ රටේ බොහෝ රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ ආයෝජකයන් එකතු කර ගැනීමට නොව ඔවුන් ඈත් කිරීමටය. ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයන් කලකිරවා ඔවුන්ට ආයෝජනය සඳහා ඇති ධෛර්ය හීන කරවීමට කටයුතු ගෙනදේ.

ආයෝජන ප්‍රවර්ධන කිරීමට ගොඩනැගූ ආයතන පසුගිය සමයේ සේවය කළේ ආයෝජන අඩපණ කිරීමටය. සමහර දේශපාලනඥයන්ගේ මහිමයෙන් ඉහළ තැන්වලට පත්වූ ඇතැම් නිලධාරීන් දේශපාලනඥයන් සමඟ එකතු වී ඔවුනොවුන්ගේ මඩි තරකර ගැනීමට කටයුතු කළ බවට ඕනෑතරම් උදාහරණ ගෙනහැර පෑමට පුළුවන. මෙහි ආයෝජන ආරම්භ කිරීමට එන අයට අවශ්‍ය මූලික පහසුකම් පවා සපයා නොදී ඔවුන්ගේ බලාපොරොත්තු නිෂේධනය කිරීමට කටයුතු සිදුවේ. අලුත් ආයෝජකයන් කැඳවා ගැනීම වෙනුවට පැමිණෙන අයද ආපසු හරවා යැවීමට පසුගිය කාලයේ ක්‍රියා කළ බව දක්නට ඇත. පසුගිය ආණ්ඩු සමයක එක්තරා ප්‍රබල දේශපාලනඥයෙක් ආයෝජකයන් අන් සියල්ලන්ටම පෙර තමන්ට මුණගස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබූ බව ප්‍රසිද්ධ විය. රටේ පොදු යහපත වෙනුවට පෞද්ගලික අවශ්‍යතා සඳහා ඔවුන් යොදාගත් අවස්ථා එමටය.

පසුගියදා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලින් පවා පැවති ආණ්ඩුව ප්‍රයෝජන නොගත් බවය. අපනයන සැලසුම් කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677ක් ආයෝජන මණ්ඩලය වෙන්කර තිබී ඇත. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට මිලියන 628,264 හා පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘතිවලට රුපියල් මිලියන 400,557ක් හා නව ව්‍යාපෘතිවලට 1,258,862 ආදී වශයෙන් මුදල් වෙන්කර ඇති බව ඇමැතිවරයා පවසයි.

දිවයින පුරා අපනයන සැලසුම් කලාප 15ක කර්මාන්ත ශාලා 273ක් පවතී. සේවක සේවිකාවෝ 137478ක් ඒවායේ සේවය කරති. අපනයන කලාපවල පවතින තත්ත්වයන් වැඩිදියුණු කිරීම තුළින් උපරිම නිෂ්පාදන ඵලදායීතාව ළඟාකර ගැනීමට තමා බලාපොරොත්තු වන බව කියයි. මේ වසරේදී සීතාවක ආයෝජන කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය සංවර්ධනය කිරීම සඳහා මිලියන 564ක් වැය වේ. තවද හොරණ අපනයන සැලසුම් කලාපයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, පවතින කලාප වැඩිදියුණු කිරීම හැර අලුතින් අපනයන කලාප ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැති පවසයි.

රටේ ආයෝජන ප්‍රවර්ධනය මගින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා ඉහළම ප්‍රමුඛත්වයක් දිය යුතු වන්නේ මේ වනවිට ලොව පවතින තත්ත්වය අනුව අපේ සංචාරක ව්‍යාපාරයේ අපේක්ෂා ඉටු නොවන පසුබිමක් නිර්මාණය වී ඇති බැවිනි. පසුගියදා සිදු වූ පාස්කු ප්‍රහාරය නිසා කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය යම් පමණකට හෝ හිස ඔසවමින් සිටියදී චීනයේ කෝවිඩ් 19 වෛරසය අපේ සංචාරක ව්‍යාපාරයට යළිත් අපල ගෙන දෙන තත්ත්වයක් නිර්මාණය කර ඇත. මේ වසරේ මුල් කාර්තුවේදී රටේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂයකින් පමණ අඩුවිය හැකි බව ප්‍රමුඛ ආයෝජන සමාගමක් වන ‘ඒෂියන් සිකියුරිටිස්’ පවසයි. අපේ සංචාරක ව්‍යාපාරයේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට මෙම බලපෑම දැඩිව දැනෙනු ඇතැයි එහි වාර්තාවක් කියයි. අපේ රටට එන සංචාරකයන්ගෙන් සියයට අටක් පමණ චීන ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව තියුණු ලෙස පහත වැටෙයි.

ඇලුමිනියම්, පොහොර, රෙදි, යකඩ සහ වානේ ආදිය සඳහා ශ්‍රී ලංකාව චීනය මත රඳා පවතින නිසා චීනයේ එම නිෂ්පාදන පහළ වැටීම මෙරට කෘෂිකර්ම ඉදිරිකිරීම් සහ ඇඟළුම් යන අංශවල නිෂ්පාදනයට ප්‍රබල ලෙස බලපා තිබේ.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන අපනයන සංවර්ධන බැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂ යුෂුප් මරික්කාර් පවසන්නේ ශ්‍රී ලංකාව අපනයන සංවර්ධනය පිළිබඳ වගකීම් සියල්ල පැහැරහරිමින් මේ වනවිට කටයුතු කරන බවයි. ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් ආයෝජකයන් සහ අපනයන ව්‍යවසායකයන් අධෛර්යමත් කරමින් තම පෞද්ගලික ලාභ අපේක්ෂා ඉටුකර ගැනීමට කටයුතු කිරීම නිසා අපේ රටට විදේශ විනිමය ලැබීමට ඇති අවස්ථා වැළකී ගොස් ඇති බව ඔහු කියයි. ආණ්ඩුව ආයෝජන හා අපනයන ඉලක්ක සපුරා ගැනීමට විවිධ ආයතන ස්ථාපිත කළද ඒවායින් අපේක්ෂිත පරමාර්ථ ඉටු නොවන්නේය යන්න ඔහුගේ අදහසය.

“මේ ආණ්ඩුවෙන් පමණක් නෙවෙයි මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකින්ම සිදුවූයේ මේ ප්‍රතිඵලයයි.” ඔහු අවධාරණය කරයි. අපේ දළ දේශීය නිෂ්පාදිතයන් සියයට 30කට හිමිකම් කියන විදේශ ආයෝජන දිරිපත් කිරීම සඳහා වසර 5කට වැඩි දිගු කාලීන සැලසුම් මෙන්ම වසර 2ක් වූ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. දැනට රුපියල් බිලියන 17ක්ව පවතින අපනයන වසර 5ක සැලසුම් යටතේ බිලියන 35ක් දක්වා සංවර්ධනය කළ යුතු වෙනවා. අපේ රටේ අපනයනවලින් 2/3ක් බටහිර රටවල්වලට ද 1/3ක් සෙසු රටවලට ද ව්‍යාප්ත වී තිබෙනවා. විශේෂයෙන් දකුණු අමෙරිකාව අපේ සුවිශේෂ අපනයනවලට කැමැත්තක් දක්වනවා. සෙසු අරාබි රටවල් පිළිබඳ අපට මෙයට වඩා සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. තේ රබර් වැනි සාම්ප්‍රදායික අපනයනවලින් ඔබ්බට ගමන් කළ යුතුයි. විශේෂයෙන් පොල් අපනයනයේදී නිෂ්පාදන විවිධාංගීකරණය කළ යුතු වෙනවා. කපාපු පොල්, පොල් කිරි, පොල් මිශ්‍රිත රසකැවිලි, පොල් තෙල් නිෂ්පාදන ආදිය. ඇතැම් දේශීය ආයෝජකයන් වඩාත් උනන්දුවක් දක්වන්නේ දේශීයව නිෂ්පාදනය කර අපනයනය කිරීමටයි. රජය ඒ අය කෙරෙහි විශේෂ දිරිගැන්වීම් කළයුතු වන්නේ එයින් අපට විදේශ විනිමය ලැබෙන නිසයි.

එසේම විදේශ ආයෝජකයන් අපේ රටට පැමිණිවිට ඔවුන්ට විවිධ බාධක දමා කලකිරවිය යුතු නැහැ. දේශීය ව්‍යවසායකයන්ට පනවා ඇති නීති රීති විදේශ ආයෝජකයන් සඳහා යම් පමණකට ලිහිල් කළ යුතුය යන්න මගේ අදහසයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම නීති සංශෝධන පිළිබඳ නිර්දේශ අදාළ අමාත්‍යංශවලට ඉදිරිපත් කර විදේශ ආයෝජකයන්ට සහනය සැලසිය යුතු වෙනවා.

විදේශ ආයෝජකයකුට මෙරට ආයෝජන අවස්ථා ලබා දීමේදී සියලු අවශ්‍යතා එකම ස්ථානයකින් ඉටුකර ගැනීමට (under one umbrella) පහසුකම් සැලසීම වැදගත්. අද අපේ රටේ ඇත්තේ ඉතාම පැරණි නීති රීති සහ රෙගුලාසියි. ඒවා අදට ගැලපෙන පරිදි සංශෝධනය කළ යුතු වෙනවා. ඒවායින් සිදු වන්නේ ව්‍යවසායකයන් දිරිමත් කිරීම නොව අකර්මණ්‍ය කිරීමක්. විදේශ ආයෝජකයන්ට අපේ රට ගැන ඇති දැනුම අඩුයි. අපේ නීති රීති ගැනද ඔවුන් දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට නිසි ලෙස මගපෙන්වීමක් කළ යුතු වෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. යම් කාර්යයක් රජයේ කාර්යාලයකින් ඉටුකර ගැනීමට යාමේදී ඔවුන්ට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා. හැමතැනම නොගොස් එක් ස්ථානයකින් තම සියලු අවශ්‍යතා සපුරාගත හැකිනම් ප්‍රමාදයකින් තොරව ආයෝජකයන්ට රට තුළ ව්‍යාපෘති ආරම්භ කළ හැකි වෙනවා. එය ඔවුන් දිරිමත් කිරීමක්. මේ පහසුකම් ඔවුන් මාර්ගයෙන් එම රටවල ව්‍යවසායකයන්ට දැනගත හැකි වූ විට ඒ අයද අපේ රටේ ආයෝජනවලට නැඹුරු වෙනවා.

බදු අය කිරීමේදී විදේශ ආයෝජකයන්ට යම් පමණකට බදු සහන දිය යුතු වෙනවා. බදු සහන දීමෙන් ඔබ්බට ගොස් ආරම්භක අවස්ථාවේදී බදු අය නොකළ යුතු වෙනවා. මා නම් විශ්වාස කරන්නේ අවුරුදු පහක පමණ කාලයක්වත් බදු සහන දිය යුතු බවයි. එය මුල් කාලයේ බදු ආදායම අඩු වීමට හේතුවක් ලෙස සැලකුවද දීර්ඝ කාලීනව අපට වාසිදායකයි. මෙය දේශිය ආයෝජකයන්ට ද හිමිවිය යුතුයි. ව්‍යාපෘති සඳහා ශ්‍රමිකයන් ලබාගැනීමට පහසුකම් සැලසිය යුතුයි. විශේෂිත පුහුණු කාර්ය මණ්ඩල අවශ්‍ය වන අවස්ථාවලදී එම රටවලින් ගෙන්වීමට ද අනිත් ශ්‍රමිකයන් අපේ රටෙන් ලබාදීමට ද කටයුතු කළ යුතුයි. එය අපේ විරැකියාවට ද සහනයක් වෙනවා.

එසේම රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් ආනයනය කිරීම නවතා ඒවා රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි. දේශීය විදේශීය ආයෝජකයන්ට ඒ සඳහා දිරිගැන්වීම් කළ යුතුයි. ඒවා රට තුළ නිෂ්පාදනය කිරීම විදේශ විනිමය නාස්තියට ද ප්‍රතිකර්මයක් වෙනවා. විශේෂයෙන් වාහන, පාවහන්, සුවඳ විලවුන්, ඇඳුම් සහ රෙදි, රසායන ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය ආනයනය පාලනය කිරීම වැදගත්.

► යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00