අතීතයේ මතක මාවත දිගේ ඇවිද යනවිට අප පැරුන්නන්ගේ ඇදහිලි විශ්වාස පද්ධතිය පිළිබඳ අපූරු තොරතුරු අපට හමුවේ. සුභ අසුභ නිමිති පිළිබඳ අප අතීතයේ මතක වත අවදිකරන විට මේ අපූරු සටහනට නිමිති පහළ විය. “තල මල” කලක ජන විඥානයේ දැඩිව ලැගුම්ගත් සංකල්ප රූපයකි. ඒ නිසාම තල මල් වටා ඇති ජන සාහිත්‍යය සහ මතිමතාන්තරද ඉතා අපූරුය. එම තතු එක්කොට අතීතකාමී රසවතුන් වෙනුවෙන් මේ කතාව කියන්නට අපට සිතිණි.
තල මල් පිපීම ඉතා විරල සංසිද්ධියකි. තල ගස් මෙරට සුලභ නැත. ඇසළ මාසය හෝ බිනර මාසයේදී පිපෙනා තල මල වටා අපූරැ ජනශ්‍රැතීන් බිහිව ඇත්තේ එබැවිණි. අතීතයේ තල මල පිළිබඳ වූ ප්‍රමුඛව මත දෙයකි. ගමක තල මලක් පිපීම සුබ ලකුණක් යැයි පිරිසක් සලකා ඇති අතර තවත් සමහරැන්ගේ විශ්වාසය වී ඇත්තේ ගමක තල මල් පිපීම දුර්භාග්‍යයේ සංකේතයක් බවයි. දෙවසරක් යනවිට ගම පාළුවෙතැයි යන බියම තල මලින් බුදුන් පිදීමේ චාරිත්‍රයට පදනම වී තිබේ. ගැමියෝ එක්ව සුබ දිනයකදී මෙම පූජාව සිදුකළ බව කියැවේ.
අත්ත හොඳයි තද වැස්සට ඉසලන්ට
පිත්ත හොඳයි තද වරමදු අඹරන්ට
ගොබේ හොඳයි දශ ධර්මේ ලියවන්ට
මේ මල හොඳයි බුදු මඟුලට ගෙනියන්ට
සුබ හෝ අසුබ පිළිබඳ කුමන විශ්වාසයක් පැවතිය ද තල මල යනු සැබැවින්ම සුන්දර මලකි. බොහෝවිට තුරු මුදුන් අතරින් ඉහළට එසවී පීදෙන තල් මල ඒ පිළිබඳ දත් නොදත් සැමගේ සිත් සැණෙකින් පැහැර ගනී. ඕනෑම පරිසරයක කැපී පෙනෙන තල මල ලා කහ පාටකින් යුක්තය එය විටෙක සුදු පැහැය ලෙසද දිස්වේ. තල් ගසේ අගිස්සෙන් ඉහළට එසැවී නේක කුඩා මලින් ගැවසී ගත් මල් පොකුරක් බඳු තල මල තල් අතු අතරින් රෑරා වැටෙන විට අපමණ චමත්කාරයක් ජනිත වෙයි.
ආවා තලගස නාග ලොවේ සිට මතු පන්දාහක නවතින්නේ
ආවා බමරිඳු මෙහි රොන් ගන්නට පූදින තුරැවට ගැවසෙන්නේ
ජාවා එන කඳුලෙන් නාවා ඇස හංස පෙළක් මෙන් ලෙළදෙන්නේ
හේවා පලහේ වත්තේ තලමල මගට පෙනේ දාගැබ ලෙසිනේ
මෙතරම් සොඳුරු තල මල පිපුණු විට ගම් හතක් පාළුවන බවට ඇති ජන විශ්වාස සත්තකින්ම අප මවිත කරවයි. කෙසේ වෙතත් එදා පටන් අද දක්වා ගෞරව සම්ප්‍රයුක්ත බියක් තල මල ජනයා තුළ ජනිත කරවා ඇත. එනිසාම තලමලේ මෙම අඳුරැ කතාව පිළිබඳවද අපි විමසා බැලුවෙමු.
අපගේ කියවීම අනුව එක් ගසක තල මලක් පූදින්නේ වසර සීයයකට පමණ වරකි. එය මාස හයක් හතක් පිපී පවතින බවත් සඳහන් වේ. ඇතැම් අයගේ නූතන පැහැදිලි කිරීම් අනුව තල මලෙන් නික්මෙන දැඩි සුවඳක් හේතුවෙන් අවට ගම්මානවල සිටින කෘමී සතුන් රැසක් ඒ දෙසට ඇදී එති. එය විශේෂිත සුගන්ධයකි. මාස තුනක් පමණ යනවිට තල මල ක්‍රමයෙන් පරවීමට පටන් ගනී. එවිට එම සුගන්ධයද වියකී යයි. විශාල ප්‍රමාණයෙන් තල මල වෙත පැමිණි කෘමි සතුන්ද එය අතැර යන්නට පටන්ගන්නේ එවිටයි. මේ වනවිට තල මලින් පෝෂණය වූ ඔවුන් සංඛ්‍යාත්මකව ප්‍රජාවෙන් විශාල වන බව කියැවේ.
තල මලෙන් පල්ලම් බසින ඔවුන් ගම්මුන්ගේ භෝග වගාවන්ට ඇතුළු වී ආහාර සොයා බවභෝග විනාශ කරති. මෙය හිටිහැටියේ වන ස්වාභාවික විපතකි. ඒ අනුව එදා ගොවීන්ට වගාබිම් අතහැර යෑම එකම විකල්ප වූවා විය හැකිය. තල මල නිසා ගම් හතක් පාළුවන කතාවට මෙම පැහැදිලි කිරීම සාධාරණ බව අපගේ හැඟීමයි. කෙසේ වෙතත් අද තල මල් පිපුණාද කෘමි සතුන්ද ස්වභාවික ගොවිතැන්ද පෙර තරම් මෙරට නොමැත.
සල් උයනක් සැදිලා වැට ආනන්දේ
පොල් උයනක් සැදිලා ඇත කිරින්දේ
මල් තොරණක් ගෙතුවා වැනි කුමන්දේ
තල මල් හතක් එක පෙළටම කිරින්දේ
මෙම විශ්වාසයන්ට අමතරව ජනයාගේ ගෞරවයට තල මල අරභයා ලැබෙන්නට තවත් හේතු බොහෝ විය. තල මල මෙන්ම තල ගසටද ගැමියන් ආදරය කළ බව මෙහිදී සිහිපත් කළ යුතුය. පොල් ගස් සේම තල් ගසද අතීතයේ පැවැති සමාජ ආර්ථික ක්‍රමවේද හේතුවෙන් ගැමියන්ට නැතිවම බැරි ගසක් විය. පුස්කොළ පොත් ලිවීමට, වටාපත සැකසීමට, හිස් ආවරණ සැකසීමට, බණ පොත් ලිවීමට තල ගොබය යොදා ගත්තේය. මීට අමතරව තල කොළ වේලා පාට යොදා තල පෙට්ටි, වට්ටි වියා ගැමි දිවියේ දෛනික අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත.
කෙසේ වුව තල ගස ගෙවතුවල වවන ගසක් ලෙසින් ඉතිහාසයේ ලියවී නැත. කැළයේ වැඩී, මල් පිපී, පරිසරය අලංකාරවත් කරන ගෞරවයක් ඇති ගුප්ත ගසක් ලෙසම මෙය හැඳින්වේ. එය තවත් පැහැදිලි වන්නේ තල මල පිළිබඳ කවි පබඳින්නට පෙර බුදුන්ගෙන් වගේම දේව ආශිර්වාදය ජන කවියා ලබාගැනීම හරහාය.
උතුම් මෙ අපෙ මුනි බෝ මුල වැඩලා සිහිකරගත් පෙරුමන් බලයෙන්
දිනන්නෙ ගොරතර මර සෙන් බිඳහැර තුන් ලෝ එළිකර දුන් මෙබුදුන්
සතුන් සසර දුක් මුදන දහම් පල දෙසමින් ඇති කළේ සඟ තෙරුවන්
මෙතුන් සරණ මගෙ සිරස දරාගෙන මඳක් මෙතල මල වරැණ කියන්
තල මලේ වරුණ ගැන කියැවෙන කවි අපමණය. තල මලෙහි ඇති සුන්දරත්වය වගේම ඉතිහාසය පිළිබඳ කතා සොයායෑම ඉතා අපූරු කාර්යයකි. සැබවින්ම එය ලාංකිය ජන සාහිත්‍යයේ එක පරිච්ඡේදයකි. අප එයින් ස්පර්ශ කළේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් බව නැවත සිහිපත් කළ යුතුය. තල මලේ කතාව සොයායෑමට සහ ලියා තැබීම නූතන ගවේෂකයන්ට බාරය. මෙය ඊට පූර්විකාවක් පමණි.
► චමිඳු නිසල් ද සිල්වා
ඡායාරූප I අන්තර්ජාලයෙනි