2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

කෙසෙල් ගෙඩියෙන් රොටි, ඉඳිආප්ප, පාන්, බනිස්

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 212

තිරිඟු පිටි යොදාගෙන සකසන කෑම වර්ග මෙරට වැවෙන ශාකවලින් ලබාගන්නා ඇට හෝ ගෙඩි ආදිය යොදාගෙන සකස් කළ හැකි බවට ඔප්පු කළ ඇත්තන් ගැන අප මීට පෙර අසා ඇත. දැක තිබේ.

මේ සටහන තැබෙන්නෙත් එවැනි පුද්ගලයකුගේ අලුත් සොයාගැනීමක් පිළිබඳව අනාවරණය පිණිසය. ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළගිරිබාව, යන්තම්පලාව ග්‍රාමයේ පදිංචි ඩබ්ලිව්.ඒ.එම්. ධර්මසිරි ප්‍රියන්ත අධිපත්තු මහතා මේ නව ආහාර අමුද්‍රව්‍ය සොයාගත් පුද්ගලයාය.

බේකරි නිෂ්පාදන මෙන්ම දේශීය ආහාර වර්ග සකස් කර ගැනීමට අමු කෙසෙල් ගෙඩි පිටි යොදාගත හැකි බව ඔහු සොයාගෙන තිබේ.

අමු කෙසෙල් ගෙඩිවල පොත්ත රැහැලා පෙති කපලා අව්වේ දාලා හොඳට වේළාගන්න ඕන. වේළුණු කෑලි ඊළඟට මෝලකින් පිටි කර ගන්නවා. ඒ පිටිවලින් තමයි මේ කෑම වර්ග සකස් කරන්නේ. පාන්, බනිස්, මාළුපාන්, වියනා බනිස් වගේම ඉඳිආප්ප, රොටි, පිට්ටු වාගේ කෑමත් මේ පිටිවලින් හදන්න පුළුවන්. ධර්මසිරි ප්‍රියන්ත මහතා කියයි.

ඇත්තම කියනවා නම් මේක මට අහුවුණේ අහම්බෙන්. 2007 අවුරුද්දේ විතර දවසක් මං අපේ වත්තේ ඇවිදින විට කඩා වැටුණු කෙසෙල් ගසක තිබුණු කෙසෙල් කැණක් හොඳටම වේළිලා තිබුණා. මං නිකමට ඒ වේළිලා තිබුණු කෙසෙල් ගෙඩියක් කඩාගෙන හැපුවා. කෙසෙල් මදය පිටිවලින් පිරිලා. මට ඒ වෙලාවේ හිතුණා කෙසෙල් ගෙඩියෙන් පිටි ලබාගන්න පුළුවන් කියලා. පස්සේ දවසක මං කෙසෙල් කැණක් කපලා ඒ ගෙඩිවල පොත්ත රැහැලා පෙති කපලා වේළෙන්න දැම්මා. පිටි අඹරන මෝලකට අරන් ගිහින් අර කෙසෙල් ගෙඩි පෙති පිටිකර ගත්තා.

මේ පිටිවලින් මුලින්ම කළේ රොටි හැදීම. පාන් පිටි රොටි හදන විදිහටම පොල්, ලුණු මිශ්‍ර කළා. මැටි කබලක සාමාන්‍ය විදිහට රොටිය පිච්චුවා. කිසිම අමුත්තක් නෑ. හොඳට රොටි පිච්චුණා. රසයේ වෙනසකුත් නෑ. ඊළඟට පිට්ටු, ඉඳිආප්ප කෑම වර්ගත් හැදුවා. ඉඳිආප්ප හරිම රසයි. අමුතු සුවඳකුත් තියෙනවා හාල් පිටිවලින් හදන ඉඳිආප්ප වගේ.

ඔය අතර කාලයේ මට හිතුණා මේ කෙසෙල් පිටිවලින් පාන් වාගේ බේකරි කෑමත් හදන්න පුළුවන් වෙයි කියලා. ඒත් අත්හදා බලන්නවත් මට බේකරියක් නෑනේ. ඒ රස්සාව මං දන්නෙත් නෑනේ. මං කෙසෙල් පිටි ටිකක් අරන් බේකරියකට ගියා. අයිතිකාරයාට කාරණය කියලා කෙසෙල් පිටි ටික දීලා තිරිඟු පිටිවලින් පාන් හදන ක්‍රමයටම මූලික කටයුතු කළා. ඒත් අච්චුවල දැම්මට පස්සේ තිරිඟු පිටි පාන් වගේ පිපෙන්නේ නෑ. තනිකර කෙසෙල් පිටිවලින් විතරක් පාන් හදන්න බැරි බව මට තේරුණා.

ඒත් මං උත්සාහය අත්හැරියේ නෑ. කෙසෙල් පිටියි තිරිඟු පිටියි සම සමව මිශ්‍ර කරලා පාන් හදන්න අත්හදා බැලීමක් කළා. ඒක හරි ගියා. තිරිඟු පිටිවලින් හදන පාන් වගේම තිබුණා. බනිස්, වියනා බනිස්, මාළුපාන් හදන්න නම් වෙනත් පිටි වර්ගයක් මිශ්‍ර කරන්න ඕන නෑ. තනිකරම කෙසෙල් පිටිවලින් ඒවා සකස් කරගන්න පුළුවන්. මට බේකරියක් නැති නිසා මං මේ අත්හදා බැලීම් කළේ වල්පාළුව ගමේ බේකරියක.

අමු කෙසෙල් කිලෝ හතරකින් කෙසෙල් පිටි කිලෝ ග්‍රෑම් එකක් ලබාගත හැකි බව ධර්මසිරි ප්‍රියන්ත මහතා කියයි. තිරිඟු පිටි කිලෝවක් ගැනීමට යන වියදමින්ම කෙසෙල් පිටි කිලෝවක් ලබාගත හැකි බවද ඔහු කියයි.

ඇත්තටම මට වුවමනා වුණේ බේකරි නිෂ්පාදන කරන්න නෙමෙයි. ඒ නිෂ්පාදනවලට යොදාගත හැකි අලුත් පිටි වර්ගයක් හඳුන්වා දීම. ඒ වාගේම ගෙදරම පිසගන්නා ඉඳිආප්ප, රොටි, පිට්ටු වාගේ ආහාර ජාතිවලට මේ කෙසෙල් පිටි යොදාගන්න පුළුවන් බව ඔප්පු කිරීම. ගිරිබාව කියන්නේ කර්කෂ දේශගුණයක් තියෙන ජල පහසුකම් නැති ප්‍රදේශයක්. කෙසෙල් වගාවට යන්නේ අඩු ජල ප්‍රමාණයක්. ඒ නිසා කෙසෙල් වගාව හොඳින් කරන්න පුළුවන්. දැනට කරනවා. ඒත් අස්වැන්න හොඳට ලැබෙන වෙසක්, පොසොන් මාසවල මිල හොඳටම පහළ බහිනවා. එවැනි කාලවලට කෙසෙල් පිටි ලබාගන්න යොමුවෙනවා නම් ගොවියාට පාඩු ලබන්න වෙන්නේ නෑ. ඒ වාගේම තිරිඟු පිටි ගෙන්වීමට යන වියදමත් අඩුවෙනවා. කෙසෙල් වගාවට රසායනික පොහොර, තෙල් භාවිත කරන්නේ නැති නිසා ඒ පිටිවලින් සකසන ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යයටත් හිතකරයි.

මෑත කාලයේ මේ කෙසෙල් පිටිවලින් බේකරි නිෂ්පාදන කරන ක්‍රියාවලිය මුල සිට අග දක්වාම වීඩියෝ කරලා ඒ දර්ශන පට වර්තමාන ජනාධිපතිතුමාටයි රූපවාහිනී නාලිකා ආයතන කීපයකටයි ගිහින් බාර දුන්නා. තාම ප්‍රතිඵලයක් නම් නෑ.
කෙසෙල් පිටි යොදාගෙන කරන බේකරි නිෂ්පාදන ඔබටම කරගෙන යන්න පුළුවන්නේ. යැයි අප ඇසූ විට ඔහු කීවේ මෙවැන්නකි.

මං බේකරි වැඩ දන්නේ නෑනේ. දන්න කෙනෙක් දාගෙන හරි කරන්න පහසුකම් අපට නෑ. පිටි අඹරන මෝලක්, පිටි මිශ්‍ර කරන උපකරණ, මේස, තැටි, අවාන් ඕවා සපයා ගන්න ඕනනේ. ඒවා තිබුණා නම් ගෙදර වුණත් පවත්වාගෙන යන්න පුළුවන්. ඊටත් වඩා මට වුවමනා වුණේ මේ පිටි වර්ගය රටට හඳුන්වා දීමයි.

ගිරිබාව, ගම්පොළ කනිෂ්ඨ විද්‍යාලයෙන් හා ගිරිබාව මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙනගෙන ඇති ධර්මසිරි ප්‍රියන්ත මහතා 1997 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව එහි වසර හතක් සේවය කොට 2004 වර්ෂයේ දී ඉන් ඉවත්ව ඇත. ඉන්පසු ගොවිතැන් කටයුතුවල යෙදෙමින් සිටින අතරතුර මේ අලුත් පිටි වර්ගය සොයාගත් බව ඔහු අප හා කීය.

කෙසෙල් පිටිවලින් ඒ අවස්ථාවේම සකස් කොට දුන් රොටියක රස විඳීමට අපට ද අවස්ථාවක් එහිදී උදා විය. කෙසෙල් පිටිවලින් සකසන ආහාර සම්බන්ධයෙන් ඔහු කී කතා සත්‍ය බව අපට ද පසක් විය.

 සටහන හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00