2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ඩ්‍රාෆ්ට්ස්මන් ග්‍රස්හොපර් කළ අපේ කාලේ සිරිපාල

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

සිරිපාලගේ සැබෑ නම කියූ පමණින් ඔහුගේ නෑයන්, මිතුරන්, හිතවතුන් ආදී සියලු දෙනාගේ සිතේ මතකයන් රාශියක් නැගෙන බව මම දනිමි. බොහෝ කලකින් ඔහු සුපුරුදු නෑයන් අතරට ආවේද නැත.

කාකි පාට ඇඟට තරමක් හිර කොට කලිසමකින් සැරසී නිතර ගමන් බිමන් ගිය සිරිපාල තරමක් පළල කළු පාට හම් පටියක්ද කලිසමේ ලූප අතරින් යවා ඉනට හිර කරගෙන උන්නේය. පෙනීමේ යම් අඩුවක් නිසාදෝ වම් ඇස කුඩා කර බලන පුරුද්දක් ඔහුට තිබිණි. ඔහු එසේ බැලුවේ යමක් විපරම් කොට දැනගන්නට ඕනෑ වූ විටය. ගමේ ගොඩේ රතු හාදයකු ලෙස හඳුන්වන කාලවර්ණ නොවූ පැහැපත් පැහැයෙන් යුතු සිරිපාල හීන්දෑරිය.

ඔහු හීන්දෑරී වීම පුදුමයක් නොවේ. කෑම, බීම ඒ හැටි ප්‍රිය නොකළ සිරිපාල හිතවතුන් සොයා යොදුන් ගණන් පයින් ගමන් කරන්නෙකි. ඊයේ පෙරේදා හඳුනාගත් පුද්ගලයකු වුව යොදුන් ගණන් මග ගෙවා හමුවන්නට යෑමේ පුරුද්දක් ඔහුට තිබුණේය. සිරිපාලට ඕනෑ වූයේ සුහදතාවයයි. කිසිවකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවූ සිරිපාල හිතවත්කම නිසාම යහළු මිතුරු ඥාති ආදීන් හමුවන්නට ගියේය. ඒ යන අතරතුර මඟුල් කපුකම් කතා කළේ සිරිපාල මඟුල් කපුකම වෘත්තියක් ලෙස කළ නිසා නොවේ. සිය ඥාති මිත්‍රාදීන්ගේ ගෙවල්වල ගැහැනු දැරිවියන් විවාහ වන වයස පසු කරමින් ඉන්නවා දැකීම සිරිපාලගේ සිතට වදයකි. ගැහැනු ළමුන් නිසි වෙලාවට විවාහ විය යුතු බව ඔහු සිතුවේය. තම හිතවත් පවුල්වල උදවියගේ සතුට විනා කපුකමින් යමක් හම්බ කරන්නට සිරිපාල සිතුවේ නැත.

සිරිපාලගේ උපන් ගම දෙවුන්දරය. ඔහු වාසය කළේද එහිය. මාතර, වැලිගම හා කොළඹ තදාසන්න ප්‍රදේශවල සිරිපාලගේ ඥාතීහු බොහෝ සිටියහ. සිරිපාලගේ පාසල් අධ්‍යාපනය අතරමග නතර වුවද ඔහුගේ පියාගේ පාර්ශ්වයේ උදවිය හොඳින් අධ්‍යාපනය ලැබුවෝය. උගත් මහාචාර්යවරුද දොස්තරවරුද පශු වෛද්‍යවරු, ඉංජිනේරුවරු ආදී වෘත්තිකයෝද පියාගේ පාර්ශ්වයේ සිටියෝය. ඒ සියලු දෙනා සිරිපාල තම නිවෙසට පැමිණි විට සාදරයෙන් පිළිගෙන කතාබහකොට තොරතුරු දැනගත්තෝය.

ලහිලහියේ තම තමන්ගේ කටයුතුවල නිරත වූ බොහෝ අයට සිරිපාලගේ ගමන් බිමන් සහ කතාබහත්, හැසිරීම් රටාවත් හඳුනාගත නොහැකි විය. තමන්ට හුරු කඩිමුඩි තාලෙට සැවොම එක් වී එකට බෙර වයන පිරිසක් අතර සිරිපාල තමන්ගේ තාලයට නිවී සැනසිල්ලේ ජීවිත බෙරය වයන අයෙක් වූයේය.

සිරිපාල ගැන පුවත්පතක තොරතුරු පළවෙන මුල් වතාව මෙය නොවේ. ඔහුගේ හිතවත්කම් නිසාම විටෙක ඔහු අකරතැබ්බවලට මුහුණ දුන්නේය. එවැනි අකරතැබ්බ පොලීසියට යන තරමට දුරදිග ගොස් පත්තරවල පළවූ අවස්ථා විරල නොවේ.

හිතවත් වූ යම් අයකු සොයා යන්නට සිරිපාලට තිබුණේ පුදුම දක්ෂතාවයක් හා ඉවකි. යම් තැනැත්තකු ඉන්නා ගම හෝ නගරයේ නම දැනගැනීම ඔහුට සෑහේ. ඉන්පසු එම තැනැත්තා ඉන්නා ඉසව්ව ආරංචි කරගෙන ඉව පාරේ හෝ ඔහුට යා හැකි විය. වරු ගණන් ගතකොට හිතවතුන් සොයා යන සිරිපාල ඇතැම්විට තමාගේ හිතවතාගේ යැයි සැක හිතෙන නිවසක් සමීපයේ හිතවතා එනතුරු හෝ ඔහු ගැන හෝඩුවාවක් ලැබෙනතුරු රැඳී සිටියේය. අදාළ නිවෙස සමීපයේ අසල්වාසීන්ගෙන් අසා බලන පුරුද්දක් ඔහුට නොවීය.

මිතුරකුගේ නිවසේදී මුල් වරට මා හඳුනාගත් සිරිපාල මගේ පවුලේ තතුද අසා දැන ගත්තේය. ඉන්පසු මිතුරාගේ නිවසේදී මා හමුවන විට ඔහු මා හට දෝෂාරෝපණය කළේ සමීප හිතවතකු සේය.

“බන්දලා දෙන වයසේ නංගි කෙනෙක් ගෙදර ඉඳිද්දි තැන් තැන්වල ඇවිදින අපූරැව!” ඔහු මට දොස් නගද්දී මගේ මිතුරා ඔහුට පොහොර දැම්මේ මට ඔලොක්කුවටය.

යම් ස්ථාන නාමයක් හෝ පුද්ගල නාමයක් සිරිපාල ඔළුවට ගත්තේ තමාට ඇසෙන පරිදිය. ඒ නිසාද ඔහු අන් අයගේ සිනහවට ලක්වූ අවස්ථා නැත්තේ නොවේ. අනෙක් අය සිරිපාලගේ වැඩවලට සිනාසුණේ ඔහුව සමච්චලයට ලක් කිරීමට නොවේ. ඒවාට සිනා නොවී ඉන්නට බැරි නිසාය. වරදවා වටහා ගතහොත් මිස ඔහුගෙන් කිසි අයකුට කරදරයක් නොවූයේය. එහෙත් ගැටලුව වූයේ බොහෝ දෙනා ඔහුව වරදවා වටහා ගැනීමයි.

හිතවතකුගේ ගෙදරට යන පාර වරක් ඔහු මට කීවේ මෙසේය.

“නුගේගොඩ කන්දෙවත්ත පාරෙන් ගිහින් නන්දා මාලිනී බෝකොල ලෑ ගෙවල් පැත්තට යන්නෙ නැතුව කෙළින් පාරේ යන්න ඕනෑ”

ගෝකුල හෝ බෝකොල අතර වෙනසින් ඔහුට කම් නැත. ඔහුට ඕනෑ වූයේ තමන්ගේ අදහස කීමය.

සිරිපාල වරක් තම නෑ ගෙදරක සිටි තරුණියකට මගුල් යෝජනාවක් රැගෙන ආවේය.

වෙනත් සාම්ප්‍රදායික මගුල් කපුවන් කරන්නාක් මෙන් බාහිර ආටෝපවලින් සරසා තමා යෝජනා කරන තැනැත්තා හෝ තැනැත්තිය වර්ණනා කිරීම සිරිපාල කළේ නැත. ඔහු හෝ ඇය ගැන අසා දැනගත් දේ එලෙසින්ම කියන පුරුද්දක් ඔහුට තිබිණි.

“දැන් ඔය කියන හාදයගේ රස්සාව මොකද්ද?”

යෝජනා කරන තරුණයා ගැන මනමාලියගේ පියා අසද්දී මනමාලියගේ අයියාද එතැන උන්නේය. මානමාලි සිටියේ කතා කරන දේ ඇසෙන දුරින් දොර රෙද්දට මුවා වෙලාය.

“ග්‍රාස්හොපර් කෙනෙක් කියලයි කිව්වේ” සිරිපාල උත්තර දුන්නේය.

මනමාලියගේ පියා උපැස් යුවල ඉහළින් සිරිපාල දෙස බැලුවේය. මනමාලියගේ අයියා දොර රෙද්ද අස්සේ හැංගී ඉන්නා තම නැගණිය දෙස බැලුවේය.

“ඈ බං.. ග්‍රාස් හොපර්ද? ග්‍රාස් කටර්ද?” පිට්ටනියකද වැඩ කරන්නේ? මනමාලියගේ පියා ඇසුවේය.

“ග්‍රාස් හොපර් කියලා තමයි කිව්වේ” සිරිපාල කියද්දී යෝජිත මනමාලියගේ අයියා මැදට පැන්නේය.

“තණකොළ කන එකෙක් වෙන්න ඇති. නැත්නම් අපේ නංගි ගැන අහවියැ”

දොර රෙද්ද අස්සේ සැඟව සිටි යෝජිත මනමාලිය ඉන් ඉවතට විත් අයියාගේ පිට මැදට ඩෝං යන හඬින් අත්ලෙන් පහරක් දී අඬමින් ඉවත දිව්වාය.

සිරිපාලගේ කතා ගැන දන්නා යෝජිත මනමාලියගේ පියා සිරිපාල මේ කතා කරන්නේ කවුරු ගැනදැයි විපරම් කර බැලුවේය. සිරිපාල යෝජනා කළ මනමාලයා ඩ්‍රාෆ්ට්ස්මන් (Draftsmen) කෙනෙකි. ගොඩනැගිලි ආදියේ නිර්මාණ සැලසුම් කෙටුම්පත් කළේ ඩ්‍රාෆ්ට්ස්මන්ලාය. (දන්න සිංහලෙන් කියන්නේ නම් ප්ලෑන් ඇන්දේ ඔවුන්ය)

ඩ්‍රාෆ්ට්ස්මන්, ග්‍රාස්හොපර් හෝ ගෝකුල, බෝකොල යන වචනවල අර්ථයෙන් සිරිපාලට කම් නැත. ඔහු උකහාගන්නේ ශබ්ද රසයයි.

සිරිපාල පොලිස් නිලධාරීන්ට ගරු කළේය. නිල ඇඳුමෙන් සැරසී ඉන්නා පොලිස් නිලධාරීන් හා කතා කොට ඔහු ඔවුන් හා කුළුපග වූයේය.

දෙවුන්දර පෙරහර කාලයට සිරිපාලලාගේ ගම උත්සවශ්‍රීයෙන් පිබිදේ. පෙරහර දාට පොලිස් නිලධාරීහු ද සෙනග හැසිරවීමේ රාජකාරියේ නියැලෙති. පෙරහර දාක මුණගැසුණු එක් පොලිස් කොස්තාපල්වරයකු සමඟ සිරිපාල කුළුපග වූයේය. තම ගමට රාජකාරිය සඳහා පැමිණි එම පොලිස් නිලධාරියාට සිරිපාල ආහාර පානාදියෙන්ද සංග්‍රහ කළේය. ඔහු වැලිගම පැත්තේ පදිංචි අයෙකි. පෙරහර කාලය අවසන් වූ පසු කොස්තාපල්වරයා සිරිපාලට තම ගෙදර එන ලෙස කියා සිටියේ චාරිත්‍රයකට මෙනි.

“ඉඩ ලැබුණු වෙලාවක එන්නකෝ අපේ ගෙවල් පැත්තේ”

මාස කිහිපයක් ගතවූ පසු පෙරහර කාලයේදී හඳුනාගත් කොස්තාපල්වරයා හමුවී සුහදතාව පළකරන්නට සිරිපාලට සිතුණේය.

සිරිපාල බස් රථයකින් ගොස් වැලිගම බස් නැවතුම්පොළෙන් බැස රේල් පාර පැත්තට ගොස් රේල් පාර පැන පාර දිගේ ගියේය. පොලිස් කොස්තාපල්වරයා ගෙරදට එන පාර ද විස්තර ඇතිව ඔහුට කියා තිබුණේ නැත. පැය දෙක තුනකට වඩා කාලයක් පාරවල් දිගේ රස්තියාදු වී මගදී හමුවූ අයකු කී පරිදි පොලිස් රාළහාමිගේ ගේ සොයා ගියේය. පොලිස් රාළහාමිගේ නිවස යැයි ඔහුට සැක හිතෙන නිවසක ජනේලය ළඟ නැවතුණු සිරිපාල රාළහාමිගේ කටහඬ හෝ ඇසෙතැයි බලාපොරොත්තුවෙන් එතැන නතර වී උන්නේය. රාළහාමි පොලිස් සේවයට ගොස් ඇත්නම් කොයි වෙලාවක හෝ එන බවද ඔහු දැන සිටියේය.

ගොම්මන් වී රෑ බෝ වුණත් රාළහාමි ආවේ නැත. පොලිස් කොස්තාපල්වරයා හමුවීමේ ආසාව සිරිපාල අත්හැරියේ නැත. නිවස ඇතුළෙන් ඇසෙන ශබ්ද දෙස අවධානය යොමු කර ජනේලයෙන් බලද්දී රාළහාමි ආවේය. රාළහාමිද ආවේ තරමක් පවනට සැලෙන ගාණට මත් වෙලාය. ඔහුගේ බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් ගැන කලින් දිනක රාළහාමිගේ කන වැකී තිබුණේය.

“තෝව අල්ලගන්න තමයි මං හිටියේ පාහරයා” සිරිපාලගේ කන රත් කරමින් රාළහාමි ගුගුලේය. සිරිපාලට කට අරින්නට ඉඩ නොදී රාළහාමි තනියම වාග් ප්‍රහාරත්, වෙනත් ප්‍රහාරත් එල්ල කරද්දී අහල පහළ උදවිය ද වට වූවෝය. වචනයක් දෙකක් කියවුණත් සිරිපාල කී දේ රාළහාමිට වැටහුණේ නැත. සිරිපාල කව්දැයි සිහිවූයේද නැත. පොලීසියට ගෙන යද්දීත් සිරිපාල කී දේට අවධානයක් යොමු වූයේ නැත. පොලීසියට ගෙනගොස් පැයක් දෙකක් ගිය තැන සිරිපාල කී දේ පොලිස් නිලධාරීන්ට වැටහුණේය. සියලු නිලධාරීන්ගේ සානුකම්පාව මැද සිරිපාලට ගෙදර යන්නට අවසර ලැබුණි.

ගාල්ලේ වාසය කළ සිරිපාලලාගේ නෑ කෙනකුට දොළදුකක් හැදී ඇති බව සිරිපාලගේ අක්කලාට ආරංචි වූයේය. දෙවුන්දරින් හොඳ කෙළවල්ලං කූරියකු තෝරා ගත් සිරිපාලගේ අක්කලා මාළුවා ඇඹුල් තියල් දැමුවෝය. ඔවුහු ඇඹුල් තියල් මාළුව උයන්නට නෑයන් අතර නම් දරා සිටියෝය. ලොකු ඇතිලියක පිසූ ඇඹුල් තියල් මාළු නෑ ගෙදරට ගෙන යන රාජකාරිය පැවරුණේ සිරිපාලටයි.

ගාල්ලේ නෑ ගෙදරට යන මාර්ග විස්තර ද හරිහැටි අහගන්නට සිරිපාලට ඕනෑ වූයේ නැත. නෑ ගෙවල් සොයාගෙන යාම ඔහුට පුරුදුය. දෙවුන්දර සිට ඇඹුල් තියල් මාළුව ඇති ඇතිලියද ගොක්කොළ දවටනයක රඳවාගෙන සිරිපාල ගාල්ලට ආවේය.

ලැබුණු උපදෙස් අනුව සිරිපාල ටැක්සි රථයකට ගොඩවූයේය. ඒ කාලයේ ත්‍රීවිල් ටැක්සි තිබුණේ නැත. ටැක්සි ලෙස ධාවනය වූයේ කාර් රථමය. ගාල්ල නගරයෙන්, කොටුව පැත්තට නොව රට තුළට ටැක්සිය ධාවනය වෙද්දී මේ හරියෙ වෙන්න බැහැයි සිතූ සිරිපාල අතුරු පාරකට හරවන ලෙස රියදුරාට කීවේය. රියදුරා රථය හැරවූයේය. නෑ යුවල පදිංචිව ඉන්නේ හැරවූ පාරේ නොවේ යැයි සිතූ සිරිපාල තවත් පාරකට හරවන ලෙස රියැදුරාට කීවේය. මේ ආකාරයට පළවෙනි හරස් වීදිය, ඉහළ ඩික්සන් පාර, පහළ ඩික්සන් පාර, බෙලිගහ පාර, පල්ලිය පාර, කන්දෙවත්ත පාර, රිච්මන්ඩ් කන්ද පාර ආදී සියලුම පාරවල්වල රවුම් ගැසූ පසු රියැදුරාට අසූහාරදහසට කේන්ති ගියේය. ඔහු ටැක්සි කුලිය ගැන සිරිපාලගෙන් විමසා සිටියේය. සිරිපාල ළඟ තිබුණු මුදල ඒ වනවිටත් ටැක්සිය රවුම් ගැසූ කුලිය ගෙවන්නට ප්‍රමාණවත් වූයේ නැත. රියැදුරා ටැක්සිය පොලීසියට හැරවූයේය. පොලීසියට ගෙන ආ සිරිපාලගේ කතාව පත්තරකාරයන්ගේ කනට ද වැටුණේය. “මාළු භූතයා ගාලු යයි” යන හිසින් සිරිපාලගේ කතාව සති අන්තයේ පුවත්පතක පළවූයේය.

සිරිපාල කුඩා කාලයේදීම පාසල් ගමන නතර කළ කතාව තරමක සංවේදී කතාවකි. සිරිපාල ගියේ දෙවුන්දර නගරය සමීපයේ පාසලකටය. සිරිපාලගේ තාත්තාගේ සහෝදරයාගේ දරුවන් ගියේ මාතර ප්‍රසිද්ධ විද්‍යාලයකටය. කිසියම් හේතුවක් නිසා සිරිපාලට දවසක් පාසල් යන්නට නොහැකි වූයේය. පසුදා පාසල් නොපැමිණීම ගැන කරුණු දන්වා දෙමාපියන්ගෙන් පාසලට ලිපියක් ගෙන යා යුතු විය.

ඒ කාලයේ පාසලට එවැනි ලිපි ලීවේ ඉංග්‍රීසියෙනි. සිරිපාලගේ දෙමව්පියන් ඉංග්‍රීසි ලියන්නට නොදන්නා නිසා ඔහු ලොකු තාත්තාගේ පුතා ලවා තමා පාසලට නොපැමිණීමේ හේතු දන්වා ලිපියක් ලියවා ගත්තේය. ඔහු තම ඥාති සහෝදරයා ගැන පූර්ණ විශ්වාසය තැබුවේය. තම පන්තිභාර ගුරුවරයාට, ඥාති සහෝදරයා ලියූ ලිපිය භාරදුන් විට පන්ති භාර ගුරුවරයා වේවැල අතට ගෙන සිරිපාලට හොඳටම තැලුවේය. ඥාති සහෝදරයා ලිපියේ ලියා තිබුණේ සිරිපාල හොරට ගෙදර නැවතුණු නිසා ඔහුට දඬුවම් කරන ලෙසයි. ඉංග්‍රීසි නොදන්නා නිසා සිරිපාල එදා ඉල්ලාගෙන කෑවේය. එදායින් පසු සිරිපාල පාසල් නොගොස් කට්ටි පැන්නේය. එම සිද්ධිය නොවන්නට මෝඩ පහේ සිරිපාල කෙනකු වෙනුවට බුද්ධිමත් සිරිපාල කෙනකු අනාගතයට ඉතිරි වන්නට ඉඩ තිබුණි.

සිරිපාල කාලෙකින් නෑ ගෙවල්වලට පැමිණ නැත. ඔහු පාරේ කාලයක් සිඟමන් යදිමින් ජීවත් වූ බවද වරෙක ආරංචි විය. ඔහු මියගොස් ඇතැයි ඇතැම්හු කියති.

දැන් කාලයේ මෙන් නෑයකු හිතවතකු මුණගැසෙන්නට පෙර දුරකථනයෙන් ඒ ගැන දන්වා සිටීමේ පුරුද්දක් ඒ කාලයේ නොවීය. ඒ කාලයේ ජංගම දුරකථන තබා ස්ථාවර දුරකථන තිබුණේ ද පනස් දහසකින් පමණ අයකුටයි. හිතවතකු සොයා ගොස් දුක සැප විමසා බලන්නට ද මේ කාලයේ කාලය වෙන් කළ හැක්කේ කාටද? කාලය තිබුණත් හිටිහැටියේ නොදන්වා තවත් අයකුගේ නිවසට ගොස් දුක සැප විමසන්නෝ මෙකල විරල නොවෙත්ද?

සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00