2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ඔක්කොම ආණ්ඩු එකම බෝට්ටුවට වැටෙන විදුලි බලාගාර අවුල

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

ලංකා විදුලි බල මණ්ඩලය මේ වනවිට දැඩි මුදල් අර්බුදයකට ලක්ව සිටින බව වාර්තා වෙයි. මණ්ඩලය සිය එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. එසේම මේ වනවිට මණ්ඩලයට විවිධ අංශ සඳහා රුපියල් කෝටි 12,571ක් ගෙවීමට සිදුව ඇත. ඉන්ධන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 8342ක් ගෙවිය යුතු අතර නිදහස් විදුලි සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල කෝටි 3236ක් වේ. මේ හැර පුනර්ජනණිය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 992ක් ද ගෙවිය යුතුය.

මේ තත්ත්වය සලකා බලා විදුලි බල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් කෝටි 1500ක් තවත් හදිසි ණයක් ලෙස ලබාදීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම ණය මුදල මහජන බැංකුවෙන් කෝටි 1000ක් සහ ලංකා බැංකුවෙන් කෝටි 500ක් ලෙස ලබා ගැනීමට අපේක්ෂිතය. මෙලෙස අතිරේක ණය ගැනීමට සිදුව ඇත්තේ මණ්ඩලයේ පිරිවැය ඉහළයාම හා අලුතෙන් ඉදිකිරීමට නියමිත බලාගාර නිසි පරිදි ඉදිනොකිරීම බව අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබේ.

මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරය රුපියල් කෝටි 64ක් වියදමින් මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කළද එය බලගන්වා දින 10කින් යළි අකර්මණ්‍ය වූ බව වාර්තා විය. මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ මෙගා වොට්ස් 300ක විදුලි ජනක යන්ත්‍රය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට නතර වී ඇත. මෙගා වොට්ස් 300ක ජනක යන්ත්‍රය බිඳ වැටීම නිසා අතිරේකව ගිගා වොට්ස් පැය 6ක් විදුලිය ජනනය කිරීමට සෙසු බලාගාරවලට සිදුව තිබේ. මේ දිනවල පවතින දැඩි නියඟය නිසා ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අවමයටම බැස ඇති බවද වාර්තා වේ.

කෙසේ වුවද මෙලෙස විදුලි බලාගාරය නිතරම අක්‍රීයවීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමර්ශන කමිටුවක් පත්කර ඇති අතර මෙලෙස වුවමනාවෙන් එය අක්‍රිය කර පිටතින් වැඩි මිලට විදුලිය ලබාගැනීමේ මාෆියාවක් බිහිවී තිබේද යන්න ද මෙම විමර්ශන කණ්ඩායම විසින් සොයා බලනු ලැබීමට නියමිතය. කෙසේ වුවද මේ ලියන මොහොත වනවිට මෙම බලාගාරය යළි ක්‍රියාත්මක වී ඇති බවද සඳහන්ය.

විදුලි බල මණ්ඩලය පෞද්ගලික ව්‍යවසායකවලින් වැඩි මිලට ඉන්ධන විදුලිය ලබා ගැනීමට උනන්දුවක් දක්වන අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරවලින්, හිරු එළිය, විදුලිය හෝ සුළං මගින් නිෂ්පාදනය කරන විදුලිය ලබාගැනීම මේ වනවිට සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇත. අඩු මිලකට මෙවැනි මාර්ගවලින් විදුලිය ජනනය කිරීමට අනුග්‍රහය දැක්විය යුතුව තිබියදී මණ්ඩලයේ ඇතැම් නිලධාරින් කටයුතු කරනුයේ ඒවා අඩපණ කර පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබා ගැනීමටය. මෙයට හේතුව මෙම මාෆියාව මගින් තමන්ට විශාල අතිරේක ආදායම් මාර්ගයක් තනාගැනීමට හැකිව තිබීම බව දැනගන්නට තිබේ. පුනර්ජනනිය බලශක්ති මගින් මෙගා වොට්ස් 800ක් ලබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ මැතිවරණ පොරොන්දුවල දැක්වෙන නමුත් මේ වනවිට මණ්ඩලය තුළ එම වැඩපිළිවෙළ නගාසිටුවීම වෙනුවට සිදුවෙමින් පවතින්නේ පවතින ව්‍යාපෘති ද අක්‍රිය කිරීමක් බව පැවසේ.

එසේම මේ දිනවල පාරිභෝගිකයාට කිසිදු පූර්ව දැනුම්දීමක් නොකර විටින් විට විදුලිය විසන්ධි කිරීම් සිදුවේ. මේ පිළිබඳ දේශපාලන අධිකාරිය පවා දැනුවත් කර නොමැත. ලියන මොහොත දක්වාම මෙවැනි විසන්ධි කිරීම් සිදුවන බව කිවයුතුය. පසුගිය පෙබරවාරි 3 දා දිවයින පුරා වරින්වර සිදුකළ විදුලි කප්පාදුව අත්තනෝමතිකව සිදුකළ බවට විදුලිබල හා බලශක්ති ඇමැති විසින් පත්කරන ලද සය පුද්ගල විමර්ශන කමිටුව අනාවරණය කරගෙන ඇත. මහජන උපයෝගිතා කොමිසමද මේ මතය සනාථ කරයි. කෙරවළපිටිය පෞද්ගලික විදුලි බලාගාරයට ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව ඩීසල් නිකුත් නොකළ බව පවසමින් මණ්ඩලය පැය 2කට වරක් විදුලිය විසන්ධි කිරීමක් පටන්ගෙන තිබූ අතර පසුව ඇමැතිවරයාගේ නියෝගයෙන් එය නවතා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස සිට මේ දක්වා කිසිදු පුනර්ජනනිය විදුලි ව්‍යාපෘතියකට මුදල් ගෙවා නැති නිසා තම සාමාජිකයන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි කුඩා ජල විදුලි බලාගාර සංවර්ධන සංගමය පවසයි. එහි සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ පවසන්නේ 210ක් පමණ වූ කුඩා විදුලි බලාගාරවලට 20කට පසුගිය වසර 5 තුළ මණ්ඩලය මුදල් ගෙවා නැති අතර ඔවුන් අතින් වියදම් කරගෙන බලාගාර පවත්වා ගෙන එන බවයි.

“කුඩා බලාගාරවලින් විදුලිය ලබාගැනීම සඳහා මණ්ඩලය සමඟ වසර 15-20 දක්වා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙම ජල විදුලි බලාගාර ව්‍යාපෘති ආරම්භ වූයේ 1966 වසරේදියි. ගිවිසුම්වල කාලය අවසන් වූ පසු නැවත ගිවිසුම් ගතවිය හැකි බවට මුල් ගිවිසුම්වල සඳහන්. එහෙත් මේ ගිවිසුම් අලුත් කර නැහැ. ගිවිසුම් අලුත් කිරීමට අනුමැතිය 2018 ලැබුණත් තවම එය සිදුකර නැහැ.”

2018 වසරේ දෙවැනි කාර්තුවේදී දැනට කල්ඉකුත් වූ මෙම ගිවිසුම අත්සන් කළ සමාගම්වලින් ඒකකය රුපියල් 9 බැගින් තව වසර 20ක් විදුලිය ලබාගැනීමට අනුමැතිය ලැබී තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද මේ සඳහා අනුමැතිය දීලා බොහෝ කල්. එලෙස අනුමැතිය ලැබුණත් මණ්ඩලයේ ඇතැම් නිලධාරින් ඒවා තුට්ටුවකටවත් ගණන් නොගෙන නොසලකා හැර තිබෙන නිසා විදුලි අර්බුදය තවත් තීව්‍ර වෙලා. ඔවුන්ගේ තර්කය වන්නේ මේ රුපියල් 9 ගාස්තුව ද වැඩි බවයි. එහෙම කියන අය පසුව වැඩි මිලට ගන්නවා.

කුඩා ජලවිදුලි බලාගාරවලින් විදුලිය ගැනීමට කටයුතු නොකිරීම නිසා මේ වනවිට මෙගා වොට්ස් 150ක් පමණ ජාතික විදුලි බල පද්ධතියට නොලැබී ගොස් තිබෙනවා. අඩක් නිමකළ බලාගාර සම්පූර්ණ නොකිරීම සහ යෝජිත කුඩා බලාගාර ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතුවයි. ඩීසල් විදුලි ඒකකයක් මණ්ඩලය ගන්නේ රුපියල් 30 හෝ එයට වැඩියෙන්. එහෙත් දේශීය අයගෙන් රුපියල් 15 ගණනේ ගන්න පුළුවන්. මෙය එකට එකක වැඩි මිලක්.

පුනර්ජනනීය විදුලි බලාගාර ඉදිකිරීමට අනුමැතිය දීම වළක්වා තිබෙනවා. පසුගිය වසර පහ තුළ ලැබුණු අයදුම්පත්වලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙවා නැහැ. මෙයින් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 30ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙගා වොට්ස් 800ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගන්නා බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැවසුවත් එය කරන්න ඇතුළේ ඉන්න සමහරුන් ඉඩ දෙන්නේ නැහැ.

අපි ජාතික විදුලි බල පද්ධතියට මිලියන 1200ක විදුලිය දුන්නත් අපට මුදල් ගෙවන්නේ නැහැ. පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති වැඩි දියුණු කරලා ඒකකය රුපියල් 9ට මිලදී ගන්න උනන්දුවක් නොදක්වන මණ්ඩලය රුපියල් 30 ගණනේ ගෙවලා ඩීසල් විදුලිය ගන්න බොහෝ සේ උනන්දු වෙනවා. අපේ ව්‍යාපෘති ආරම්භ කළ මුල් අවදියේ ඒකකයට රුපියල් 15 ගණනේ ගෙව්වත් පසුව දෙවැනි වසරේ සිට නිර්දේශ වුණේ රුපියල් 9යි. එහෙම වුණත් ඒ මුදලක් ගෙවන්නත් නැති එකයි ගැටලුව. ලංකා විදුලි බල මණ්ඩලය මේ ගිවිසුම් දීර්ඝ නොකිරීම නිසා ඒ සඳහා ආයෝජකයන් වැය කළ රුපියල් බිලියන 2.2ක් පමණ වතුරේ ගිහින්. අපි සමඟ ගිවිසුම් ගැහිල්ල නිතර කරලා පසුගිය 18දා මෙගා වොට්ස් 150ක් චීන සමාගමකින් මිලට ගන්න ගිවිසුම් අත්සන් කළා.

පසුගිය වසරේ මෙම කුඩා විදුලි බලාගාරවලින් ජාතික විදුලි බල පද්ධතියට ලබා දුන් ධාරිතාව මෙගා වොට්ස් 420ක්. මේ ප්‍රමාණය වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ දෙකෙන්ම ලබා ගන්නා විදුලියට වඩා වැඩියි. දැනට කුඩා ජලවිදුලි බලාගාර 250ක් සඳහා අයදුම් පත් සුනිත්‍ය බලශක්ති අධිකාරියට යොමුකර තිබුණත් ඒවා ගැන ඉදිරි පියවර ගෙන නැහැ. ඒවා අනුමත කළොත් තවත් මෙගා වොට්ස් 400ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න පුළුවන්.

ලංකා විදුලි බල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවතින තත්ත්වය පිළිබඳ දැඩි කලකිරීමකින් කතා කරයි. ඔහු කියන්නේ වර්ෂා කාලයේදී ජලාශ පිරීගිය විට මණ්ඩලයේ අය සතුටු විය යුතු නමුත් ඔවුන් සතුටු වන්නේ දිගු නියඟයක් නිසා ජලාශ හිඳී ගිය පසුව බවයි. එයට හේතුව විදුලිබල අර්බුදයක් මවා පා වැඩි මිලට විදුලිය ගැනීමට හැකිවීමෙන් මණ්ඩලයේ ඇතැමුන්ට විශාල ලෙස ආදායම් උපයා ගත හැකිවීමය. ඔහු තවදුරටත් පවසන්නේ මණ්ඩලයේ සුළු සේවකයා සිට ඉහළ නිලධාරි මට්ටම දක්වා සලකා බැලූවිට ඔවුන්ගෙන් සමහරුන් ස්වකීය වැටුපට වඩා විශාල ලෙස මුදල් උපයා ඇති බවය. විශාල තේ වතු, ඉඩකඩම්, යානවාහන, මහල්, ප්‍රාසාද ඔවුන් සතු කරගෙන ඇත්තේ මෙලෙස අයථා ලෙස උපයා ගන්නා මුදල්වලිනි. මේ පිළිබඳ විගණනයක් කළහොත් සියල්ල අනාවරණය කරගත හැකි වනවා ඇතැයි ඔහු කියයි.

“වෘත්තිය සමිති විදිහට මේ අර්බුදයට විසඳුම් යෝජනා කරන්න අපට පුළුවන්. එහෙත් එය මණ්ඩලයේ උසස් නිලධාරින්ට කරන අවමානයක් වේවී. ලෝකය විකල්ප බලශක්ති ප්‍රභවයන් කරා යොමු වෙනවා. එහෙත් අපි තවම එක තැන. ගල්අඟුරැ බලාගාර තැනුවේ රට අඳුරේ තියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා. දැන් මොකද වෙලා තියෙන්නේ? වසරක් පාසා පාරිභෝගිකයන් වැඩි වෙනවා. විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ලක්ෂපාන දැන් උපරිමය නිෂ්පාදනය කරනවා. ඊට පසු කොහාට ද යන්නේ? ඩීසල් විදුලිය අතරමැදි තාවකාලික විසඳුමක් පමණයි. ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.”

ආපු ආණ්ඩු හිටපු ආණ්ඩුවලට චෝදනා කරනවා. අන්තිමට බැලුවාම කවුරුත් යන්නේ එකම බෝට්ටුවේ. ගිවිසුම් නිසා මෙච්චර ගෙවන්න වෙලා කියලා එකනෙකාට ඇඟල්ල දිගු කරලා ගැලවෙන්න බලනවා. ජල විදුලියට විකල්පය තෙල් බලාගාර නම් ඒවා මණ්ඩලය මගින් තැනිය යුතුයි. කොමිස් ගන්න තමා පෞද්ගලික බලාගාරවලට දෙන්නේ.

පිටරටවලින් විදුලි නිෂ්පාදනය කරන නැව් බලාගාර මහ මුහුදට ගෙන්වනවා. නැංගුරම් දමාලා විදුලිය අලෙවි කරන්න ඉඩ දෙනවා. එයට කියන්නේ “චාජ්” ගේනවා කියලා. ඉඩෝර කාලවලදී මෙම නැව්වලින් විදුලිය ගන්නවා කිව්වට ජලාගාර උතුරලා යන විටත් මේවායින් විදුලිය ගන්න ගිවිසුම් ගහනවා. ඒවාට අවශ්‍ය ඉන්ධන සංස්ථාවෙන් ණයට අරන් සපයන්නේ මණ්ඩලයයි. 

වැසි කාලයට විදුලිය නැව්වල නිෂ්පාදනය නොකරන නිසා තෙල් සපයන්න අවශ්‍ය නැහැ. එසේ තෙල් නොගැනීම අපට ලාභයක් බව කියන මණ්ඩලේ නිලධාරින් වැස්සත් පෑව්වත් ගිවිසුම් අනුව ඒකකයට රුපියල් 30 බැගින් ගෙවනවා. වැහි කාලෙට නැව්වල බලාගාර නිෂ්පාදනය නවතා සර්විස් කළත් මණ්ඩලය ගිවිසගත් ධාරිතාවට මුදල් ගෙවනවා. පසුගිය විදුලිබල ඇමැති රවී කරුණානායකගේ කාලයේ තමා වැඩියෙන් මෙලෙස ගෙවීම් කළේ.

සූර්ය බලාගාර හා පුනර්ජනනිය බලාගාර වැඩි දියුණු කළයුතු නමුත් ඒ පිළිබඳ අවධානයක් නැහැ. දැන් ජල විදුලිය නිපදවන්න බැහැ. ජලාශවල උපරිමයට ගිහින්. ඒ නිසා විකල්ප බලශක්ති නිෂ්පාදනයට යා යුතුයි. ඒ සඳහා සැලසුම් සකස් කළ යුතුයි. ආචාර්ය උපාධිය තියෙන විශේෂඥයන් විදුලි බල මණ්ඩලයට බඳවා ගෙන උපාධියට වැඩිපුර ලක්ෂ 02 බැගින් ගෙවනවා. ඒත් ඒ අයගෙන් වැඩක් ගන්නේ නැහැ.

► යසවර්ධන රුද්රිගු