කලාවැව ආසනයෙන් දේශපාලනයට පිවිසි ඉෂාක් රහුමාන් මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙනි. මහත්මා දේශපාලනයක නිරත වන ඒ මහතා සම්බන්ධයෙන් අන්තර්ජාලයේ මුහුණුපොත ඔස්සේ සංසරණය වෙමින් පැවතියේ සුබදායක ආරංචියක් නොවේ. අන්තවාදය පැතිරවීමට සහාය වන උගත්කමක් නැති මන්ත්‍රීවරයාට නැවත ඡන්දය ලබාදීමට තරම් මෝඩ නොවන්න යැයි ඉල්ලා හඬපට කිහිපයක් මුහුණුපොතට එක්කළ අයෙකි. දින කිහිපයක් පුරා එය සංසරණය වෙමින් පැවතියේ ඉදිරි මහමැතිවරණයේදී මන්ත්‍රීවරයාට දැඩි හානියක් හා බලපෑමක් සිදුකරන අයුරෙනි.
දින ගණනක් පුරාවට සිදුවූ මෙකී සිදුවීම ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට හිතවත් කිහිපදෙනකුගේ අවධානයට ලක්ව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගේ අවධානය ඊට යොමුව තිබුණේ ඉන් අනතුරුවය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි ඉෂාක් රහුමාන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානමින් පසුවෙද්දී මෙසේ සිය චරිතයට මඩගැසීම සංවිධාන ගත හෝ පෞද්ගලික අරමුණකින් සිදුකරන පහත් ක්‍රියාවක් යැයි ඔහු අනුමාන කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සිත් වේදනාවට පත්වූ මන්ත්‍රීවරයා මඩ ප්‍රහාරය ගෙන යන පුද්ගලයා හඳුනා ගනු ලැබ තිබුණේ ඔහුගේ මුහුණුපොත ඔස්සේමය.
මේ අතර අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබාගෙන තිබූ පෙරකී සමාජ මාධ්‍යජාල ක්‍රියාකරු මන්ත්‍රිවරයාට තර්ජනය කොට තිබිණ.
“පේනවා නේද? ඔයාගේ තරම ගැන ෆේස්බුක් එකේ තියෙන වීඩියෝ... තව ඉස්සරහටත් මේවා වැඩි වෙනවා. මහමැතිවරණයට කලින් මිනිස්සුන්ට ඔයා එපා කරවනවා.” යැයි ද ඔහු දිගින් දිගටම කියා තිබිණ. ඒ අතර දිනෙක මන්ත්‍රිවරයා හමුවීමට පැමිණි පුද්ගලයා.
“මම මගේ වැඩේ දිගටම කරනවා. දැනටමත් ඔයා ගැන කියන කතා ගාණක් ෂෙයා වෙනවා. ඡන්දෙදි ඔයාට වෙනදේ හිතාගන්න පුළුවන්නේ? ඒක නවත්තන්න නම් පොඩි දෙයයි කරන්න ඕනේ... මම වැඩිය කියන්නේ නෑ.. රැපියල් කෝටියක් දෙන්න ඊට පස්සේ කරදරයක් වෙන්නෙ නෑ..” යැයි ප්‍රකාශකොට තිබේ.
මෙසේ තර්ජනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගතයුතුයැයි සිතූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා හමුවට ගොස් සිදුවීම විස්තරකොට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. ඉන්පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත විමර්ශන බාරකොට තිබිණ.
එතැන් සිට මන්ත්‍රීවරයාට උපදෙස් ලැබුණේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ගෙනි. මන්ත්‍රිවරයා හා දිගින් දිගටම කතා කර තර්ජනය කරමින් රුපියල් කෝටියක මුදල ඉල්ලා සිටි පුද්ගලයා හා ගනුදෙනුව සිදුකරන ලෙස විමර්ශන නිලධාරින් පවසා තිබිණ. ඒ අනුව සැකකරැ ඉල්ලූ මුදලින් රුපියල් ලක්ෂ පහක අත්තිකාරම් මුදලක් ලබාදෙන්නට එකඟතාව පළකර තිබිණ.
ඒ සඳහා ස්ථානයක් තීරණය කර තිබුණේ සැකකාර සමාජ ජාල ක්‍රියාකරු විසින්මය. එය කැකිරාවේ මඩාටුගම ආඩියාගල පාරේ පිහිටි සුවිසල් තෙමහල් නිවසකි. මේ අතර සිදුවීමෙන් සිත් වේදනාවට පත්ව සිටි මන්ත්‍රීවරයා විමර්ශන නිලධාරින් හමුවේ.
“මට බිස්නස් එකක් තියෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් සේරම තියෙනවා. මිනිස්සුන්ට උදව් කරන්න හිතලා දේශපාලනයට ආවේ. මට වෙතනින් ගන්න දෙයක් නෑ. මට ලැබෙන පඩිය, දීමනා තෙල් වියදම් කිසිදෙයක් ගන්නේ නෑ. පළාතේ දරුවන්ට මිනිස්සුන්ට නොකරන උදව්වක් නෑ. ඇයි මට මේ මිනිස්සු මෙහෙම කරන්නේ?” යැයි පවසා තිබිණ.
එහෙත් සියලු විමර්ශන සඳහා පූර්ණ සහාය ලබාදුන් මන්ත්‍රිවරයා සැකකරු සමඟ ගිවිසගත් පරිදි රුපියල් ලක්ෂ පහක් ගෙවීමට දිනය වේලාව නියම කොටගෙන තිබිණ. ඒ අනුව ඉකුත් 21 වැනිදා රාත්‍රියේ පෙරකී නිවසේදී මුදල ලබාදීමට පොරොන්දු වී තිබිණ. කලින් හඳුනාගෙන තිබූ සුවිසල් නිවසේ ආරක්ෂිත කැමරා කිහිපයක් සවිකර කාටත් රහසේ විමර්ශන නිලධාරින් පිරිසක් එහි රුකවල්ලා සිට තිබිණ. අනතුරුව ලක්ෂ පහක කප්පම් මුදල ලබාගැනීමට සැකකරු සූදානම් වූ මොහොතේ පැන යන්නට ඉඩක් නොතබා සැකකරැ කොටුකර ගැනීමට පොලීසිය සමත් විය.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී පුබ්බෝගම බණ්ඩාරපොතාන සහ වැල්ලම්පිටිය මෙගොඩවත්ත ලිපින දෙකක සැකකරු පදිංචිව සිටින බව හෙළිකර ඇත. මේ ආකාරයට සමාජයේ පිළිගත් දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් රැසකගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඒවා මේ ආකාරයට මුහුණුපොතේ මඩප්‍රචාර දියත් කරමින් ලබාගත් බවත් ඔහු කියා ඇත. මෙම සැකකරු අන්තවාදය හා ජාතිවාදය පැතිරවීමට උත්සහ කළාද නැතහොත් එවැනි ප්‍රකාශ සමාජගත කරමින් දේශප්‍රේමියෙක් වීමට හෝ අසත්‍ය පතුරවමින් දේශද්‍රෝහියකු වීමට උත්සාහ කළේද යන්න පිළිබඳ වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය ඉදිරිපත් වූ පසුව ලබන 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.
උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පූජිත් වෙදමුල්ල සහ අනුරාධපුර පොලිස් අධිකාරී කංචන ගොඩකුඹුර මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක තිළිණ සම්මත් කොස්තාපල්වරුන් වන නලින් (48028), කොඩිකාර (48498) සහ අබේසිංහ (75187) යන අය වැටලීමට දායක වූහ.
► සමන්ත ප්‍රදීප්