ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තම පදවිය බාරගත් විගස දළදා වහන්සේ වැඳ පුදාගෙන පැවසුවේ උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොතබන බවයි. එහෙත් පසුගියදා වාර්තා වූයේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා බිමක් ඩෝසර් කිරීම සම්බන්ධ කතාවකි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරැනුවර පොලිස් වසමට අයත් ත්‍රිකෝණමඩු රක්ෂිතයේ පන්සල්කන්ද යනුවෙන් හඳුන්වන නටබුන් භූමියක් එලෙස ඩෝසර් කර තිබේ. දාගැබ් ගොඩැල්ලක කොටසක්, කළුගලින් කළ ස්මාරකවල නටබුන් ආදිය මෙම ඩෝසර් කිරීමෙන් හානියට පත්ව ඇත. බිම්බෝම්බ ඉවත් කරන ජාත්‍යන්තර ආයතනයක සේවක පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ බව පැවසෙන අතර සේරුනුවර පොලීසියට ඒ පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණිලි කර තිබේ. ඒ ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආනන්ද විතානගේගේ උපදෙස් මත දිස්ත්‍රික් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මොහාන් සමීර ආරියතිලක ඇතුළු නිලධාරීන් විසිනි. පොලීසිය තවමත් පරීක්ෂණ පවත්වමින් සිටියද, කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
පන්සල්කන්ද පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ කුඹුරු යායක් මැදය. කලක් තිස්සේ කුඹුරු වගාව කළ ස්ථානයක දාගැබට හා පුරාවස්තුවලට හානිවන අන්දමින් බිම්බෝම්බ ඉවත් කිරීමට රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයකට සාධාරණ හේතුවක් නැති බව එම ස්ථානය නිරීක්ෂණයේ දී පුරාවිද්‍යා නිලධාරීන්ට වැටහී තිබේ.
පැරණි ගල්කණු, සිරිපතුල් ගල්, පෙතිඋළු, පියගැට පෙළවලට අයත් ගල්පුවරු, කොරවක් ගල්, ගඩොල් ආදී පුරාවස්තු තැන තැන විසිවී තිබෙන ආකාරය පුරාවිද්‍යා නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමේ විදේශීය නිරීක්ෂකයන් සහ දේශීය පුහුණු සේවකයන් ද සිට තිබේ. දේශීය සේවකයන් වෙනත් ජාතිකයන් වීම නිසා ඔවුන් හිතාමතාම මෙම හානිය කරන්නට ඇති බව පෙනේ.
නැගෙනහිර පළාතේ බොහෝ නටබුන් අයත් වන්නේ අනුරාධපුර යුගයේ මධ්‍ය භාගයටය. ඒ අනුරාධපුර රාජධානිය දියුණුවේ ඉහළම තලයක පැවති 5 – 7 සියවස් අතර කාලයට අයත් කළ හැකිය. එවකට බුදුදහම ද රට පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වී තිබුණි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල විහාරාරාම රාශියක් ඒ කාලයේ සංවර්ධනය වූ බවට සාධක පවතී. පන්සල්කන්ද පමණක් නොව අවට තවත් විහාරාරාම රාශියක් ද බිහි විය. මෙම නටබුන් ද අනුරාධපුර මධ්‍ය කාලයට අයත් කළ හැකි බව ඒවායේ ස්වභාවය අනුව නිගමනය කළ හැක. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුරාවිද්‍යා නිලධාරී මොහාන් සමීර ආරියතිලක, “2018 වර්ෂයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකළ ගවේෂණයක දී මෙම නටබුන් ස්ථානය සොයාගත්තා. එය රක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටියේ. මෙම භූමිය අයිති වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ නිසා දෙපාර්තමේන්තු දෙකේම නීති රාමුව තුළයි එම කටයුතු සිදුවෙමින් පැවතුණේ. එවැනි අවස්ථාවක තමයි මේ විනාශය අපට දැනගැනීමට ලැබුණේ.”
අදාළ ආයතනය පවසා ඇත්තේ බිම්බෝම්බ ඉවත් කිරීමේ පහසුවට මෙම ස්ථානය ඩෝසර් කළ බවයි. නමුත් පුරාවිද්‍යාත්මක භූමියක් ඩෝසර් කිරීම නීති විරෝධී කටයුත්තක් බව ජාත්‍යන්තර නිරීක්ෂකයන් නොදැන සිටින්නට හේතුවක් නැත. ඔවුන් නොදැන සිටියත් ලාංකීය සේවකයන් ඒ ගැන දැන නිහඬව සිටීම බරපතළ කරැණකි. සිද්ධිය නිරීක්ෂණයට ගිය පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී ඇතුළු කණ්ඩායමට බිම්බෝම්බ ඉවත් කරන සංවිධානයේ නිලධාරීන්ට පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 වන තෙක් එම ස්ථානයට ළඟාවීමට ඉඩ නැති බව වාර්තා වේ.
පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (ත්‍රිකුණාමලය) ආනන්ද විතානගේ පවසන්නේ ජාතික අවශ්‍යතාවය සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ දී මෙය සිදුවූ බවට පිරිසක් පවසන බවයි. තවත් පිරිසක් කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන වුවමනාවෙන් මෙවැනි හානි සිදුවන ආකාරයට වැඩ කරන බවයි. “අපි ඒ ආයතනය සමඟ සාකච්ඡා කරලා ඉතිරි කොටස් සංරක්ෂණයට කටයුතු කරනවා. ඒ අතරම ඉදිරි නීතිමය පියවර ගැනීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාර්තාවක් යවා තිබෙනවා.”
පන්සල්කන්ද පිහිටි ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළේ 1986 ඔක්තෝබර් 24දාය. ලංකාවේ විශාලතම ස්වභාව රක්ෂිතය වන එයට හෙක්ටයාර් 25019 ක් අයත්ය. පුරාවිද්‍යා නටබුන් ස්ථාන රාශියක් මේ භූමියේ පිහිටා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සේරැනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද පුෂ්ප හේරත් ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරති. දැනට පුරාවස්තු සහිත ස්ථානය වෙන්කර එම ස්ථානයේ බිම්බෝම්බ කැණීම් නැවැත්වීමට පොලීසිය දැනුම් දී තිබේ. බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත සිදුවන නිසා එම අමාත්‍යාංශයෙන් උපදෙස් ලබාගැනීමට වැඩබලන පොලිස්පතිවරයා හරහා දැනුම් දීමට පොලීසිය කටයුතු කරගෙන යයි. කෙසේ වුවත් මෙවැනි කටයුතු ඉදිරියටත් සිදුවීමට ඉඩ ඇත.
පසුගිය කාලයේ ඕමන්තෙයි විහාර බිම, මොට්ටයාගල දාගැබ, සාගම දාගැබ ඩෝසර් කළ අන්දමත් ඒ ගැන ලිපි, වාර්තා ලියැවුණු අන්දමත් අපට මතකය. දිගින් දිගටම මෙසේ ජාතික උරුමය වනසා දැමේ නම් ඒවා ගැන පත්තර පිටු පිරවීමේ කිසිම තේරුමක් ද නැත. බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතුය. බලතල සහිත පුරාවිද්‍යා ආඥා පනත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කබඩ්වල දමා වසා තිබුණාට ඇති වැඩක් නැත.
ජාතික අපරාධයක්!
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි
ක්‍රිස්තු වර්ෂයට පෙර ආරම්භ වී ක්‍රි.ව. 3 – 4 වන තෙක් දියුණුවට පත්වූ බෞද්ධ ආරාමවල නෂ්ටාවශේෂ මෙහි තිබෙනවා. මේවා පැරණි සෝමනුවර රාජධානියට අයත් නටබුන් බවයි පේන්නේ. ඔය ප්‍රදේශයේ බිම්බෝම්බ ඇති කියලා මම නම් හිතන්නෙ නෑ. මේවා ජාතික අපරාධ. බිම්බෝම්බ ඉවත් කරන්න කියලා ඇවිත් අපේ උරුමය වනසනවා. අනුරාධපුර ඒජන්තව සිටි අයිවර්ස් කියන සුද්දා අවුරුදු 100කට විතර කලින් ජේතවනාරාම දාගැබේ අඩි 160 ක් හරහට හාරා නිදන් සෙව්වා. බටහිරින් අපට කරන උදව් පරිස්සමින් ගන්න ඕනෑ.
ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ දිගටම නටබුන් තිබෙනවා. ඒවා විනාශ වී යනවා. තංගනගර්වල පච්චනූර්කන්දේ ගල් කඩනවා. කතිරවේලිවල නටබුන් ස්ථානයේ සංචාරක නිවාසයක් හදලා. පන්සල්කන්ද තවත් එක උදාහරණයක් පමණයි. මම යෝජනා කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී මේ විනාශය නැවැත්වීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මම ජනාධිපතිතුමාට පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම ගැන යෝජනා මාලාවක් බාර දුන්නා. ඉතා වැදගත් පුරාවස්තුවලට පවා කිසිම සැලකිල්ලක් නෑ. නිදන් හාරා විනාශ කරනවා. කෝවිල්, පල්ලි හදනවා.
► කුසුම්සිරි විජයවර්ධන
පසුබිම් පුවත් සහ සේයාරූ : ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව