බිත්ති සිතුවම් (wall art) කලාවට නව අරුතක් දෙමින් ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව සහ ශාකයන්ගේ එළිමහන් කලාගාරයක් පසුගියදා විවෘත වුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් සමඟ දිවයින පුරාසමාජගත වූ බිත්ති සිතුවම් සංකල්පය සමඟ රට පුරා වෙසෙන තරුණ තරුණියෝ වැඩිහිටියන් සමඟ එක්ව මහා මාර්ගයේ බිත්ති පින්තාරු කළහ. මෙයින් වීදි, නගර, අලංකාර වුවද ඇතැම් බිත්ති පින්තාරු මගින් ඇස් පිනවීමටත් වඩා ගෝචර නොවුණු චිත්‍ර ද පින්තාරු වුණි.
මේ නිසාම මෙම බිත්ති සිතුවම් කලාව ඵලදායී ලෙසින් සිතුවමකට නගන්නට ආචාර්ය සූරතිස්ස දිසානායකට අදහසක් පළවුණි.
“මෙම සිතුවම් මගින් අපේ දරු දැරියන්ට, වැඩිහිටියන්ට යම් පණිවිඩයක් ලබාදිය හැකි ලෙසින් යමක් කළ හැකි බව අපිට තේරුණා. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පිටුපස සහ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහල ඉදිරිපිට දිනකට බොහෝ පිරිසක් එහාමෙහා යන ප්‍රදේශයක්. මේ නිසා මේ මාර්ගයේ මෙම ව්‍යාපෘතිය ගොඩනගන්නට මම තීරණය කළා. ඒ සඳහා මට අනුමැතියද ලැබුණා.”
යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සූරතිස්ස දිසානායක දේශයට පැවසීය.
මේ අනුව ආචාර්ය සූරතිස්ස දිසානායක උපදේශකයකු ලෙස කටයුතු කරන “නොඉඳුල් තරුණ්‍යයේ හඬ” සහ සභාපති ධූරය දරණ “කොළොම්තොට වියත් හඬ” නම් සංසදයේ සාමාජික සාමාජිකයෝ එක්ව මේ අපූරු කටයුත්ත වෙනුවෙන් මහන්සි වූහ.
මෙම කටයුත්ත ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ දෙසැම්බර් දොළොස්වැනිදාය. එදින පොහොය දිනයක් විය. මෙම එළිමහන් කලාගාරයේ චිත්‍ර ඇඳීමට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්, ශිෂ්‍ය ශිස්‍යාවන් පමණක් නොව සමුද්‍රදේවි බාලිකා විදුහලේත්, ශාන්ත ජෝන් විදුහලේත් පාසල් දරු දැරියන් මෙන්ම බොහෝ පිරිසක් ද සහභාගී වී සිටියහ.
මුහුණ පොත හරහා කළ දැනුවත් කිරීමේන්ද මේ සඳහා බොහෝ පිරිසක් දායක වූහ. මෙය නුගේගොඩ මීටර් 700ක් දිග වර්ග මීටර් 1600ක් පුරා පරාසයක අඳින ලද කලාගාරයකි.
මෙම එළිමහන් කලාගාරය තුළදී නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාකයන්ගේ චිත්‍රයි. කලාගාරය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ලංකාවේ ජාතික වෘක්ෂය වන නා ගස සහිත සිතුවම්වලිනි. එතැන් සිට කලාගාරය විවිධ කොටස්වලට බෙදා එයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික සත්ව සහ ශාකයන්ගේ රූප සහිත සිතුවම් මෙන්ම එයට කියන නාමය ද විද්‍යාත්මක නාමය ද සහිතව සඳහන් කර ඇත. මේ බොහෝ නාම මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ක්‍රමයෙන් ඈත්ව යන නාමයන් බවට පත්ව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ ඒකදේශික මසුන් අංශයේ මල් පෙතියා, මල් කොස්සා, ආරා, ඉරි හඳයා, ලේ තිත්තයා, මල් පුළුට්ටා, පතිරණ සාලයා, පුවක්බඩිල්ලා, දංකොළ පෙතියා, බුලත් හපයා, ගල් පාඬියා, මගුරා වැනි මසුන්ගේ සිතුවම් ඇඳ ඇත. කලාගාරයේ ඉන්පසුව දැකබලාගත හැකි වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන්ගේ සිතුවම් රැගත් කොටසකි. මෙම කොටසේ බොහෝ විට දැකබලාගත හැකිවන්නේ මැඩියන්ගේ රූප වුවද ඒ සියලු මැඩියන්ට වෙන්වුණ ආවේණික නාමයන් ඇත. ඒ අනුව එතරම්ම ප්‍රසිද්ධ නොවුණු කඳුකර ගස් මැඩියා, තඹුවන් දිය මැඩියා, ස්ටුවර්ට්ගේ පඳුරු මැඩියා, ජලාභ පඳුරු මැඩියා, කීර්තිසිංහගේ ගෙම්බා, මහනුවර කුරු ගෙම්බා, දික් ගොම්බු මැඩියා, පණු ගෙම්බා වැනි නාමයන්ගෙන් යුත් මැඩියන්ගේ රූප සහිත සිතුවම් අඳ ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඒකදේශික උරගයන්, ශ්‍රී ලංකාවේ ඒකදේශික පක්ෂීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආවේණික ක්ෂීරපාහීන් මෙන්ම සමනළයන්ගේද සිතුවම් ඇඳ ඇත. ඒ සෑම සිතුවමකම ඒ ඒ සත්ත්වයා වැඩිපුර ගැවසෙන ප්‍රදේශය ද සටහන් කොට ඇත.
මෙය වැඩියෙන්ම පාසල් දරුවන්ට පමණක් නොව වැඩිහිටි සියලු දෙනාගේම දැනුමට බොහෝ දෑ එකතු කරනා අපූරැ කලාගාරයකි. ශ්‍රී ලංකාව අති මහත් ජෛව විවිධත්වයක් සහිත රටවලින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන රටක් ලෙස හැඳින්විය හැක. නමුත් නූතන මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස අප රට ද ජෛව විවිධත්වය ක්‍රමයෙන් අඩු වී යාමේ තර්ජනයට ලක්ව ඇත. “මිනිසාගේ සිතුවිල්ල” මගින් ජෛව විවිධත්වය රැකගත හැකි බව ඔවුහු විශ්වාස කරති. ලංකාවේ ආවේණික සතුන් සහ ආවේණික ශාකයන් පමණක් මෙම “සිතුවම් පවුර” තුළ චිත්‍රයට නගා ඇත.
“මේ චිත්‍ර අඳින්නට දුවා දරුවන් බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඒ අතරේ ස්වභාවික චිත්‍ර අඳින්නට හැකි දක්ෂ චිත්‍ර ශිල්පීන් කිහිපදෙනකුත් අපිත් සමඟ එකතු වුණා. ඔවුන් වගේම මමත් මෙහි මූලික චිත්‍ර කොටස සිතුවමට නැගුවා. ඒක එතරම් ලෙහෙසිපහනසු කටයුත්තක් වුණේ නැහැ. සත්ත්වයාගේ ඉරියව්වේ සිටම වර්ණය වගේම හැම පින්සල් පහරක් ගැනම අපි ඉතා සැලකිලිමත් වුණා.” යැයි ආචාර්ය සූරතිස්ස දිසානායක වැඩිදුරටත් දේශයට පැවසීය.
සෑම දෙනාගේම කැපවීමෙන් මෙම අපූරු එළිමහන් කලාගාරය මාස එකහමාරකින් පමණ සිතුවම් කොට අවසන් කිරීමට හැකියාව ලැබුණි. මෙම කටයුත්ත චිත්‍ර අඳීමක් පමණක් අවසන් වූයේ නැත. චිත්‍ර සිතුවම් කළ ඒ සියලු දෙනාම පෙබරවාරි 13 වැනිදා පැවැත්වූ උත්සවයකදී ඇගයීමට ලක් කරනු ලැබූහ. එහිදී මේ සෑම චිත්‍රයකම ඡායාරූප සහිත ‘ශ්‍රී ලංකාවේ ආවේණික සත්ත්ව සහ ශාකයන්ගේ එළිමහන් කලාගාරය’ නම් ග්‍රන්ථයක් මුද්‍රණය කොට එයත් සමඟ ඇගයීමේ සහතික පත්‍රයක් ද ඒ සියලු දෙනාටම ප්‍රදානය කෙරිණි. කාලයකට පසුව මෙම චිත්‍ර බිත්තියේ මැකි ගියද අතීත සිතුවම් පෙළේ මතකයන් මේ ග්‍රන්ථයේ සැමදා පවතී.
මේ වනවිට මෙවැනි එළිමහන් කලාගාර බොහෝමයක් නිර්මාණය කිරීමට ආචාර්ය සූරතිස්ස දිසානායකට ආරාධනා ලැබෙමින් පවතී.
“දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් බොහෝ ආරාධනා ලැබෙමින් පවතිනවා. මගේ රැකියාවත් එක්ක ඒ හැමදේම මට බාරගන්න අමාරුයි. නමුත් මේ වනවිට කිලිනොච්චිය ප්‍රදේශයේ දමිළ පාසලකත් අපි මෙවැනි සිතුවම් පෙළක් නිර්මාණය කළා.” යැයි ආචාර්ය දිසානායක දේශයට පැවසීය.
කෙසේ වුවද බිත්ති සිතුවමට අලුත් අර්ථයක් එක්කළ මේ අපූරු එළිමහන් කලාගාරය නුගේගොඩ ඒකනායක මාවත ඔස්සේ දැකබලා ගන්නට හැකියාව පවතී.
► දිශානි ජයමාලි කරුණාරත්න
සේයා රූ - සුමුදු හේවාපතිරණ