2020 මාර්තු 07 වන සෙනසුරාදා

එළවළු මිලේ අඩුවක් අනෙක් බඩු මිල ඉහළයි

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 325

රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල පහළ දැමීමට ජනාධිපතිවරයා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනෙන්නට තිබෙන නමුත් ඒවායේ මිල අඩුවීම වෙනුවට තවත් වැඩිවෙමින් පවතින බව දිවයිනේ නන් දෙසින් අසන්නට ලැබේ. ජනාධිපතිවරයා දිව්රුම් දුන් දිනයේ සිටම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ නගිමින් පැවතීම එක්තරා කුමන්ත්‍රණයක් බවට සැක පහළ වී ඇතැයි අගමැතිවරයා ද වරෙක ප්‍රකාශ කර තිබුණි.

රජයට හිමිව තිබූ බදු ආදායම පහළ දමමින් බදු සංශෝධනය කළේ ජනතාවට සහන සැලසීමට නමුදු, එයින් සිදුවූයේ රාජ්‍ය ආදායම අහිමිවීම මිස ජනතා ගැටලුවලට විසඳුමක් ලැබීම නොවේ. මෙලෙස බඩු මිල ඉහළ නැගීම කුමන හේතුවක් නිසා සිදුවන්නේ ද යන්න ගැටලුවක් බවට පත්ව ඇති අතර මෙතැන අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ සැකයක් මතුව ඇතැයි ඇතැම්හු පවසති. රටේ සෑම ප්‍රදේශයකින්ම අසන්නට ලැබෙන්නේ බඩු මිල ඉහළ යාම පිළිබඳ ආරංචිය.

ආර්ථික විද්‍යා සිද්ධාන්ත අනුව භාණ්ඩ මිල ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ නිෂ්පාදනය අඩුවීම හෝ හදිසියේ ඉල්ලුම ඉහළ යාමය. එහෙත් අද පවතින තත්ත්වය ගැන සලකා බලන විට එම කරුණු දෙකම සිදුව ඇති බවක් නොපෙනේ. එසේ නම් බඩු මිල ඉහළ යාමට වෙනත් විකල්ප කරුණු බලපෑ යුතුය. මේ තත්ත්වය පිළිබඳ පොදු ජනතාව මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් ද විවිධ අදහස් පළ කරන බව දක්නට ඇත.

කෙසේ වුවද රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති බව රජයේ විවිධ ආයතන මගින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවලින් මොනවට පැහැදිලි වේ.

2019 දෙසැම්බර් මාසය සමඟ සසඳන විට 2020 ජනවාරිවලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සඳහා තෝරාගන්නා භාණ්ඩ පැසේ ඇති භාණ්ඩවලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 34 න් 25කම මිල ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. මෙය මාස 25කින් එපිට සිදුවූ ඉහළම මිල ඉහළ යාම වෙයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන පරිදි ඔවුන් මිල ගණනය සඳහා යොදාගන්නා සියලුම එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. අළුකෙසෙල් 10.9%, කැරට් 51.7%, පතෝල 13.75%, තක්කාලි 96.34%, මාළුමිරිස් 20.39%, බීට්රූට් 22.91%කින් සහ බෝංචි 31.47%කින් මිල ඉහළ ගොස් තිබේ. එසේම පොල් 10.35%, පොල්තෙල් 10.21%, රතුලූනු 27.21%, අර්තාපල් 5.35%, වියළි මිරිස් 7.56%කින් මිල වැඩි වී ඇත.

මේ මිල ඉහළ යාම නිසා ආහාර කාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය ජනවාරිවල 13.7% ක් වී ඇති අතර, එය 2017 වසරේ නොවැම්බර්වලින් පසු වාර්තා වූ ඉහළම අගය බව ශ්‍රී ලංකා මහබැංකුව කියයි. 2020 පෙබරවාරි මස 24 දින ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව අනුව මතුපිට උද්ධමනය 2019 දෙසැම්බර්වල 6.2% සිට 2020 ජනවාරිවලදී 7.6% දක්වා ඉහළ නැග ඇත. මෙම ඉහළ යාම ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකේම මිල උද්ධමනය වැඩිවීමට හේතු වී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ක්‍රමයෙන් ඉහළ නැග ඇති අතර, 2019 නොවැම්බර්වල 131.07ව තිබී දෙසැම්බර් වනවිට 132.04 දක්වා ද ජනවාරිවල 134.06 දක්වා ද ඉහළ නැග තිබෙන බව පෙනේ.

මෙම සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රටේ භාණ්ඩ හා සේවා මිල අඛණ්ඩව ඉහළ නගින බවය. පසුගිය වසරවල උද්ධමනය තනි ඉලක්කමකින් පවත්වාගෙන යාමට රජය උත්සාහ කළ ද, මේ වන විට ඒ ව්‍යායාමය අසාර්ථක වී ඇත. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල්, මස්, මාළු, කරවල, එළවළු, වියළි මිරිස්, ලූනු, අර්තාපල් ආදියේ මිල අන් කවරදාටත් වඩා මේ වන විට ඉහළ නැග තිබීම නිසා ජනතාව ජීවත්වීමේ අර්බුදයකට ලක්ව සිටී. මේවායේ මිල පහළ දැමීමට රජය ගන්නා උත්සාහය අසාර්ථක වී තිබේ. මෙයින් එකක් වන්නේ උපරිම සිල්ලර මිලක් ඇතැම් භාණ්ඩවලට නියම කිරීමය. විශේෂයෙන් සහල් මිල පසුගිය සමයේ මිල පාලනයට ලක්කර තිබූ අතර, එකල තිබූ පාලන මිල වූයේ කැකුළු රුපියල් 70, රතු නාඩු රුපියල් 74 ක්, සුදු නාඩු රුපියල් 80 ක් සහ සම්බා රුපියල් 85 කි. මෙම මිල පවත්වාගෙන යාම ප්‍රායෝගිකව අපහසු බව වටහාගත් වගකිව යුත්තන් මෙම පාලන මිල වෙනස් කළ අතර, සියලුම සහල් වර්ග රැපියල් 100කට ආසන්න මට්ටමකට උපරිම සිල්ලර මිල ඉහළ දැමීමට අවසර දී තිබුණි. පෞද්ගලික අංශය පමණක් නොව ලංකා සතොස පවා අලෙවි කළේ එම මිලටය. එසේ වුවද හාල් ඒකාධිකාරය අත්පත් කරගෙන ඇති මෝල් හිමියන් කිහිපදෙනා රජයේ උපරිම මිල තුට්ටුවකටවත් මායිම් නොකරමින් වැඩි මිල ප්‍රදර්ශනය කරමින් අලෙවි කරනු දැකගත හැකි විය. මේ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු රාජ්‍ය අංශ අසමත් වී ඇති සැටියකි.

එළවළු මිල උච්ඡාවචනය වීම නිතරම සිදුවේ. අඩුවෙන එළවළු මිල නැවත වැඩිවෙයි. යළිත් අඩුවෙයි. මෙම මිල තීව්‍ර වීමට අද පවතින වියළි කාලගුණය ද විශාල වශයෙන් හේතු වී ඇත. මේ නිසා දැන් සති හයකට පමණ පෙර ඉහළ ගිය එළවළු මිල තරමක් අඩුවී තිබේ, මෙම මිල ලබන මැයි මාසය දක්වා පැවතෙනු ඇතැයි දැන් දැන් කියැවේ. එළවළු මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මෙතෙක් පැවති අතරමැදි නාඩි වෙළෙඳාම පසුගිය 2දා සිට ජනාධිපතිගේ නියමයෙන් නවත්වා ඇත. ඒ අනුව ගොවීන් රුගෙන එන එළවළු අඩු මිලකට ගෙන වැඩි මිලකට විකිණීමේ ක්‍රියාදාමය අවසන් වී ඇති නිසා මිල මට්ටම පහළ බසිනු ඇතැයි සිතිය හැකිය. එහෙත් තවමත් ඒ පිළිබඳ නිච්චියටම පැවසිය නොහැක්කේ වෙනත් කූඨ ක්‍රියාදාමයන් ඇතිවීමට ඉඩ ඇති බව සිතෙන නිසාය.

අද උද්ගතව ඇති මිල ඉහළ යාම පිළිබඳ අදහස් දක්වන ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ මූල්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:-

“අද ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට ප්‍රධානතම එකම හේතුව තමා මූලික ආහාර ද්‍රව්‍යවල මිල අසීමිත ලෙස ඉහළ යාම. විශේෂයෙන් සහල් සහ එළවළුවල. එළවළු නිෂ්පාදනයට වසරේ මුල් කාලයේ අධික වර්ෂාවෙන් බාධා වූ අතර අද වන විට නියඟයෙන් දැඩි බලපෑමක් එල්ලවෙලා තියෙනවා. මෙය අද පමණක් ඇතිවූ දෙයක් නොවෙයි. හැම වසරවලම මෙලෙස වර්ෂාවෙන් සහ නියඟයෙන් හානි වෙනවා. ඒවා පිළිබඳ කතා වෙනවා මිසක කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැහැ.

අද තත්ත්වය අනුව නම් ඉදිරියේ දී මෙම ආහාර ද්‍රව්‍ය පිළිබඳ අර්බුදයක් ඇතිවේවි. සහල් නිෂ්පාදනය අර්බුදයකට ලක්වෙන්නේ නියඟය නිසා පමණක් නොව පොළොන්නරුව ආදී ප්‍රදේශවල දැනට ඇතිව ඇති කෘමි උවදුර ආදිය නිසයි.

සාමාන්‍ය ජනතාවගේ ආදායමෙන් 49% - 50% පමණ වැය කරන්නේ ආහාරවලටයි. ඒ නිසා ආහාර ද්‍රව්‍ය මිලේ සුළු වෙනසක් පවා ජනතාවට ප්‍රබල ලෙස දැනෙනවා. එහෙත් මේ පිළිබඳ කෙටිකාලීන විසඳුමක් නොමැති බවයි මගේ අදහස. ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිනම් ආනයනය කිරීම හැර වෙන විකල්පයක් නැහැ. අද පවතින එළවළු මිල පහළ දැමීමට නම් ආනයනය කළ යුතුයි. අනවශ්‍ය පළතුරු වර්ග, තවත් අරුමෝසම් බඩු, ක්‍රීඩා භාණ්ඩ ආදිය ආනයනය කරනවා නම් මේ අවස්ථාවේ දී ජනතාවට සහනයක් දෙන්න එළවළු ආනයනය කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. ඉදිරියේ දී එළඹෙන උත්සව කාලයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල මිල ඉහළ යාමක් ඇතිවිය හැකියි. කෙටිකාලීනව ආනයනය හැර වෙනත් විකල්පයක් නැහැ. අනිත් අතට යම් භාණ්ඩයක මිල ඉහළ ගියාට පහළ යන විට ඒ ප්‍රමාණයට පහළ යන්නේ නැහැ.

අපේ රටේ එළවළු හිඟයක් තියෙනවා යැයි කීවාට එවැනි හිඟයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඕනෑතරම් උඩරට - පහතරට එළවළු මිලදී ගන්න තියෙනවා. ප්‍රශ්නය ඇත්තේ මිල ඉහළ යාම පමණයි. මෙලෙස කෘත්‍රීමව මිල වැඩිවීම යම් කුමන්ත්‍රණයක් ද කියා රජය සොයා බැලිය යුතුයි.

අනිත් අතට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස ඉහළ යාම අපේ රටේ කවදත් සිදුවුණු - සිදුවෙන දෙයක්. ඒ ගැන කවුරැත් දැනුවත්. එහෙම නම් ඇයි එය පාලනය කරන්න බැරි? කෘෂිකර්ම ඇමැතිවරුන් ඉන්නවා. නිලධාරීන් ඉන්නවා. ආයතන තියෙනවා. විශ්වවිද්‍යාලවල කෘෂි පීඨ තියෙනවා. මේ අය මොනවාද කරන්නේ කියල ප්‍රශ්නයක් තියෙනවා. හේතු දක්වා ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැඩක් නැහැ ප්‍රායෝගිකව කටයුතු කළ නොහැකි නම්.

කෘෂිකර්මයට අවශ්‍ය ජලය පවා කළමනාකරණය කිරීමට ක්‍රමවේදයක් නැහැ. වර්ෂා කාලයට අපතේ යනවා. නාස්ති වෙනවා. සති දෙකක් පායන විට ජල හිඟයක් උද්ගත වෙනවා. මේවාට විසඳුම් ලැබෙන්නේ නැහැ.

විවෘත ආර්ථිකයක් පවතිනවා නම් මිල පාලනයක් ගැන කතා කරන්න බැහැ. මිල පාලනය කිරීමෙන් කළුකඩ මිලක් එනවා. රජය ආර්ථිකයට මැදිහත් විය යුතු අවස්ථා තිබෙනවා. ප්‍රබල ලෙස වෙළෙඳපොළ කඩා වැටීම එක් අවස්ථාවක්. දැන් එය සිදුවෙමින් තමා පවතින්නේ. ගොවියාට අලෙවි කර ගන්න බැහැ. පාරිභෝගිකයාට මිලදී ගන්න බැහැ. මෙතැන දී යාන්ත්‍රණය කඩා වැටීමක් සිදුවෙලා තියෙනවා. ඉතින් මෙහිදී පාලකයන්ට නිහඬව ඉන්න බැහැ. මේ කඩා වැටීම සිදුවුණේ කොහොමද කියලා සොයා බලා පිළියම් යෙදිය යුතුයි.

මෙහි තවත් පැත්තක් තියෙනවා. අද කෑම අලෙවි කරන විට එළවළු වෙනුවට වෙනත් විකල්ප දේ යෙදීම නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට පහර වදිනවා. කල් ඉකුත් වූ ආහාර, විෂ සහිත ආහාර, නරක් වූ දේවල් අලෙවි කිරීමෙන් පාරිභෝගිකයාට විශාල සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. Food Energy Productivity යන්න ඉන්දියානු අගමැති නේරුගේ සංකල්පයක්. ඉන්දියාව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කළා. හරි ආහාරවේලක් නැතුව නිරෝගී ජනතාවක් බිහිකළ නොහැකියි. මෙය රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා.

ජනතාවට තුන්වේල කන්න දීම රජයේ ප්‍රධාන වගකීමක්. එහෙම නැතිනම් ආණ්ඩුවෙන් ඇති වැඩක් නැහැ කියලා ජනතාව කියාවි. අනිත් අතට අද අපි කෘෂිකර්මය නගා සිටුවන්නට යැයි බීජ, පොහොර, කෘෂි රසායන පාලනයකින් තොරව ආනයනය කරනවා. වී කිලෝවක නිෂ්පාදන වියදමෙන් වැඩි කොටස යන්නේ විදේශවලටයි. මෙය ජාතික අපරාධයක්. සිංහල රජ කාලේ එහෙම වුණේ නැහැ. සියල්ල ගන්නේ මේ රටෙන්. ඒ නිසා අපි රටට ණය නැති ජාතියක් වුණා. රජ කාලේ වැව් තිබ්බේ ඒ කාලේ සිටි ජනතාවට අවශ්‍ය පමණට වගා කරන්නයි. අද ජනගහණය වැඩිවෙලා. අද අලුත් වැව් හාරනවා තබා තියෙන වැව් ටිකත් ගොඩවෙන්න හැරලා.

ජනතාවගේ වියදමෙන් 50% ක් පමණ ආහාරවලට යන බව අපි මුලදී පැවසුවා. එහෙම නම් ඉතිරි 50% ට හෝ යම් සහනයක් දීම වගකිව යුත්තන්ගේ යුතුකමක්. දැනට මිල අඩුව ඇති ඉන්ධනවලට පවා සහනයක් ජනතාවට දීලා නැහැ. එහෙම දුන්නා නම් එයින් යම් පමණකට හෝ ඔවුන්ට සාධාරණයක් ඉටුවෙනවා. එහෙත් හැම පැත්තෙන්ම ජනතාව තලන එක තමා මොන ආණ්ඩුව ආවත් කරන්නේ.”

► යසවර්ධන රුද්රිගූ