2020 මාර්තු 07 වන සෙනසුරාදා

දූ දරුවන් අතරේ ලක්ෂ පහකට වෙන්දේසි වූ අම්මා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 295

දියණියන් සිව් දෙනකුගේත් පුතුන් තිදෙනකුගේත් ආදරණීය මවක වූ ඇය දැන් අසූඑක් වැනි වියේ පසුවන්නීය. යමක් කමක් ඇතිව සමාජයේ පිළිගැනීමක් ඇතිව ජීවත්වන ඇගේ දූ පුතුන්ට කිසිදු අගහිඟයක් නොමැත. යුද සමයේ දී ආරක්ෂක හමුදාවට බැඳුණු එක් පුතකු ක්‍රියාන්විත රාජකාරියේ දී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අසල්වැසියන්, හිතවතුන් සියලු දෙනා මේ වයෝවෘද්ධ මාතාව වීර මාතාවක් වශයෙන් හැඳින්වූහ. එසේ වීර මාතාවක් ලෙස ගරුබුහුමන් ලැබූ මවට සිට සැඳෑ සමය ගත කරන්නට හිතේ නිදහසක් නොවීම මේ මෑණියන්ගේ දැන උගත් දරුවන් කිහිප දෙනාගේ කල්ක්‍රියාවේ ප්‍රතිඵලයකි.

දියණියන් සිව් දෙනකුට සහ පුතුන් තිදෙනකුට ආදරණීය මවක වූ ඇගේ එක් පුත්‍රයකු ක්‍රියාන්විත රාජකාරියේ දී ජීවිතක්ෂයට පත්වීම අවාසනාවන්ත සිදුවීමකි. එම මරණයට අදාළව යම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට යුද හමුදාව පියවර ගෙන තිබිණි. එසේ ලද මුදල මේ වීර මාතාව ඇගේ ස්වාමිපුරුෂයා හා සාකච්ඡා කර තමන්ගේ සෙසු දරු දැරියන් හයදෙනා අතර සම සේ බෙදා දෙන්නට කටයුතු කළාය.

එයින් අත ඉතිරි වූ යම් මුදලක් ඇගේත් ස්වාමිපුරුෂයාගේත් පරිහරණය සඳහා බැංකු ගිණුමක රඳවා තබාගෙන තිබිණි. මේ අතර මියගිය පුත්‍රයාගේ කැමැත්ත මත නිර්දේශ කර තිබූ වැටුප මවටත් පියාටත් වෙන් වෙන් වශයෙන් ගිණුමට ලැබෙමින් පැවතිණි. කල්ගත වෙත්ම මෙම මාතාවගේ ස්වාමිපුරුෂයා මරණයට පත්වූ අතර එතැන් සිට මෙකී මවගේ ගිණුමට රුපියල් 19,000ක පමණ විශ්‍රාම වැටුපක් ලැබී තිබිණි.

ස්වාමිපුරුෂයා මියැදෙන්නට මත්තෙන් මොවුන් එකිනෙකාගේ තනි නොතනියට එකිනෙකා වෙනුවෙන් සිටියද, ස්වාමියාගේ අභාවයත් සමඟ ඒ හයිය ඇයගෙන් ගිලිහී ගියේය. මේ අතරතුර කාලයේ ඇය සිය බාල පුත්‍රයා හා ඔහුගේ නිවෙසේ වාසය කළ ද, ඇයට නිසි රැකවරණය ලබාදෙමින් සියලු අවශ්‍යතා ඉටු කරන්නට පුතුට අවස්ථාවක් නොලැබුණේ ඔහුට නිතර ව්‍යාපාරික කටයුතුවල නිරතවීමට සිදුවූ නිසාත්, නිරන්තරයෙන් ඒ සඳහා පිට පළාත්වලට ගමන් කිරීමට සිදුවීමත් නිසාය. එහෙත් හැකි උපරිම අයුරින් තම මවට සලකන්නට බාල පුතු වෙහෙස වූ බව කවුරුත් දනිති.

මේ අතර මවට නිසි ලෙස සැලකීමට අවස්ථාවක් නොමැතිවීම සම්බන්ධයෙන් ශෝකයෙන් පසුවූ බාල පුතු සිය වැඩිමහල් සොහොයුරියන් සිව්දෙනා හා කතාබහ කර විසඳුමක් සෙවීමට උත්සුක විය. ඔවුන් සියලු දෙනා දුරබැහැරව පදිංචිව සිටියෙන් මව සමඟ එම නිවෙසෙහි වාසය කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. අවසානයේ දරු පිරිස තීරණය කර තිබුණේ මව වැඩිමහල් පුතුගේ නිවෙසේ නවත්වා රැකවරණය සැලසීමටය. ඒ සඳහා අවශ්‍ය වියපැහැදම් සැපයීමට සෙසු දරුවෝ එකඟ වූහ. ඊට අමතරව වසර කිහිපයක් තිස්සේ වයෝවෘද්ධ මාතාවගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් 865,000ක මුදල ඇගේ වැඩිමහල් පුත්‍රයාගේ නමින් වන බැංකු ගිණුමට බැරකර තිබුණේ එම මුදල් මවගේ අවශ්‍යතාවන් සඳහා වියපැහැදම් කරන ලෙස දන්වමිනි.

ඊට එක පයින් කැමැති වූ මවගේ වැඩිමහල් පුතු මෙම අටලක්ෂ හැටපන් දහසක මුදලට අමතරව ඇයට ලැබෙන මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් දහනව දහසක පමණ මුදල ද ලබාගෙන ඇතැයි පැවසේ. ඒ සියල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරී හරහා නිත්‍යනුකූලව ඉටුකර ගැනීමට වැඩිමහල් පුතු පියවර ගෙන තිබිණි. ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ පහක් ඔහුගේ නමින් ස්ථිර තැන්පතුවකට බැරකළ ඔහු ඉතිරි තුන්ලක්ෂ හැටපන් දහසක මුදල සෙසු වියදම් සඳහා වෙන්කරගෙන සිටියේය.

මව සිය නිවෙස් නතර කරවාගත් මුල් සති කිහිපයේදී ඇයට හොඳින් සැලකූ ඔහුට දරුවන් සිටියේ නැත. ඔහුගේ බිරිඳ තරමක් සිත තද, නපුරු තැනැත්තියක බවද පැවසේ. මේ නිසා වයෝවෘද්ධ මවට නිසි සැලකීමක් නොලැබුණු බව කිවයුතු නැත. ඒ අතරතුර රාජ්‍ය ආයතනයක රියැදුරු රැකියාවේ නිරතව සිටි ඇගේ වැඩිමහල් පුතු රැකියාවෙන් පහකර තිබුණේ යම් වංචාවකට මැදිවීම නිසාය. මේ ආකාරයට මාස හය හතක් ලොකු පුතාගේ නිවෙසේ රැඳී සිටි මව සෙසු දියණියන් සිව්දෙනාටත් බාල පුතුටත් පවසා තිබුණේ ලොකු පුතා හා ලේලිය තමාට නොසලකන බවත් තවදුරටත් එහි වාසය කිරීමට අකැමැති බවත්ය. හරිහමන් කෑමක් බීමක් හෝ දනට පිනට දෙන්නට අතේ මුදලක් හෝ නැතැයි ද ඇය පැවසුවාය.

මෙහිදී දියණියන් හා පොඩි පුතු නැවතත් සාකච්ඡා කර තිබුණේ මව රැකබලාගැනීම ගැනය. එහිදී බාල පුතු ප්‍රකාශ කර සිටියේ මව සතුව තිබූ 865,000ක මුදල තමාට ලබාදෙන්නේ නම් කෙසේ හෝ මව රැකබලාගැනීම සිදු කරන බවය. එහෙත් වැඩිමහල් පුතු පැවසුවේ එම මුදලින් ලක්ෂ 5 ක් ස්ථිර තැන්පත් දමා ඇති බවත් සෙසු මුදල වියදම් වී ඇති බවත්ය.

අදාළ මුදලට පොලිය ලැබුණු පසුව මාර්තු 10 වැනිදා එම මුදල ලබාදෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බාල පුතු මව බාරගෙන ඇයට සැලකීමට කැමැත්ත ප්‍රකාශ කළේය. බාල පුතු සතුව ව්‍යාපාර කිහිපයක් හා යාන වාහන කිහිපයක් ඇති බවද හෙළිවී තිබේ. වැඩිමහල් පුතු බීමට ඇබ්බැහි වූවෙක් නිසා මවගේ මුදල් තුන්ලක්ෂ හැටපන් දහසක් ඒ සඳහා වැය කරන්නට ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් මෙම මවගේ දූ දරුවන් කිසිවකුටත් ආර්ථික අපහසුතා, නැතිබැරිකම් නැත. අතමිට ඇති සැවොම හොඳ ආර්ථික මට්ටමින් ජීවත්වන පිරිසකි. නැති බැරි දුප්පත් මිනිසුන් සිය අසරණ වැඩිහිටියන්ට පමණක් නොව ගමේ රටේ අසරණයන්ටත් හැකි පමණ උදව් වන බව දකින්නට තිබේ. එහෙත් අතමිට සරු ආර්ථික මට්ටමින් ඉහළ සමාජයේ පිරිස් වෙතින් ගුණ දහම් සාරධර්ම ගිලිහී යාම ගැටලුවකි.

වයෝවෘද්ධ මවගේ දුක්ගැනවිල්ල අවසානයේ පොලීසියට දන්වා ඇය සහනයක් අපේක්ෂා කර තිබිණි. එකී මාතාව පොලීසියට පැමිණ තිබුණේ ද රෝද පුටුවකිනි. අදාළ කාරණය සම්බන්ධයෙන් සාවධානව ඇහුම්කන් දී සාධාරණ තීරණයකට එළැඹෙන්නට උහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙසින් උප පොලිස් පරීක්ෂක රුවන් චිත්‍රානන්ද මහතා කටයුතු කළේය. සත්දරු මවක වූ වයෝවෘද්ධ 81 හැවිරිදි මාතාවගේ රුපියල් ලක්ෂ පහකට පොලිස් නිලඇඳුම ඉදිරියේ වෙන්දේසි වීම වාර්තා වූයේ උහන පොලිස් බල ප්‍රදේශයෙනි.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00