2020 මාර්තු 07 වන සෙනසුරාදා

බුර්කාව ගැලවෙයි?

2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:3065

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභා වාර්තාව ගෙවුණු සතියේ විශාල සමාජ ආන්දෝලනයක් ඇති කළේය. බුර්කාව වැනි ඇඳුම් වහාම තහනම් කිරීමට එයින් යෝජනා ඉදිරිපත් විය. එසේම මද්‍රසා පාසල්වල ඉගෙනුම ලබන සියලුම සිසුන් ද වසර තුනක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සාමාන්‍ය පාසල්වලට ඇතුළත් කළ යුතු බවට එම වාර්තාවෙන් කියවිණි. ඒ සමඟම බුර්කා තහනම පිළිබඳ කතාව නැවතත් විශාල සමාජ සංවාදයක් අතිකර තිබේ. එම නිසාම අප ද මෙම සංවාදයේ කොටස්කරුවන් වීමට තීරණය කළේය.

බුර්කාව පිළිබඳ කතිකාව ප්‍රබලව සාමජ ගත වූයේ පාස්කු ප්‍රහාරයත් සමඟය. බුර්කාව හේතුවෙන් එම වකවානුවේ පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම විෂයයෙහි මතු වූ ගැටලු පිළිබඳව ද මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් එවක ආරක්ෂක තත්ත්වය ද සැලකිල්ලට ගෙන 2019 අප්‍රේල් 29 වැනි දින බුර්කා, නිකාබ් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් විය. මෙම ගැසට් පත්‍රය ද රට තුළ ඇති කළේ ආන්දෝලනයකි. එහෙත්  පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනි දා හදිසි නීති ප්‍රතිපාදන ඉවත් කිරීමත් සමඟ මෙම තහනමට ඉවත්ව ගියේය.

මෙම වසර මුලදී සුපිරි වෙළෙඳසැලක බුර්කාවක් පැළඳි කතක් සමඟ පුද්ගලකු බහින්බස් වන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ පැතිර යාමෙන් බුර්කා කතාව නැවත කරළියට පැමිණියේය.

පෙබරවාරි 19 වැනිදා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභා වාර්තාව එළි දකින්නේ මේ අතරයි. ඒ සමඟ ප්‍රබලව මතුවූ බුර්කා සංවාද තරමක් දේශපාලනික මුහුණුවරක් ද ගත්තේය. මුස්ලිම් ජන නායකයන් තුළින් ද මේ සම්බන්ධව මතුවූයේ පරස්පර අදහස්ය. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මතුකර තිබුණේ මෙවන් අදහසකි.

“අපි සියලු දෙනාටම අපිට අවශ්‍ය විදිහට ඇඳුම් ඇඳීමේ පැළදීමේ අයිතිය තියනවා. ඒක මූලික අයිතිවාසිකම්වලට පටහැනිව කටයුතු කිරීමක් කියලා අපිට සලකන්න පුළුවන්. මම හිතනවා අපි කාටවත් කාගෙවත් මූලික අයිතිවාසිකම් නැති කරන්න එකඟ වෙන්න බෑ.”

බුර්කා තහනම සම්බන්ධ අයිතිවාසිකම් තර්කය මතු වුණේ ශ්‍රී ලංකාවේ දී පමණක් නොවේ. ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව වැනි රටවල් බුර්කාව තහනම් කළ විටද මෙම තර්කය ලෝක මට්ටමින් මතුවිය. එහෙත් ජාතික ආරක්ෂාව සලකා මේ වනවිට ලොව පුරා රටවල් දහසක් පමණ බුර්කා තහනම පනවා ඇත. මෙහි විශේෂත්වය වන්නේ සිරියාව මොරොක්කෝව වැනි මුස්ලිම් රාජ්‍ය ද මෙම තහනම ක්‍රියාත්මක කිරීමයි.

එවන් තත්ත්වයක් පැවතිය ද ශ්‍රී ලංකාවේ යෝජනා සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය සිය අවධානය යොමුකර තිබේ. මෙම පාර්ලිමේන්තු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක සභාපතීත්වයෙන් නිර්මාණය වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජයේ මතභේදයට තුඩුදුන් කරැණු 14 ක් විසඳීමට පිළියම් සෙවීම වෙනුවෙනි.

මෙම වාර්තාවෙන් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළඳ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණු ආවරණ ඉවත්කර අනන්‍යතාවය තහවුරු කරගැනීමට පොලීසියට බලය තිබිය යුතු බවත් එවැනි ඉල්ලීමක් ඉටු නොවන්නේ නම් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබිය යුතු බවත් යෝජනා කර තිබේ. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු හිටපු මුස්ලිම් කටයුතු අමාත්‍ය  මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා මෙම වාර්තාව සම්බන්ධව දරන්නේ මෙවන් මතයකි.

“සමහර අය තර්ක කරනවා තමන්ට නිදහසක් තියෙන්න ඕනෑ කියලා. තමන් කැමති හැටියේ අඳුම් පැළඳුම් පළඳින්න. එහෙම අදහසකුත් තියනවා. මේක රටේ ජාතික ආරක්ෂාවට යම් විදිහකින් තර්ජනක් නම් මේ සම්බන්ධව අපි පුළුල්ව සාකච්ඡාවට බදුන් කරලා මේ සම්බන්ධව තීන්දු ගත යුතුයි.”

ලාංකික මුස්ලිම් ජනයා තුළ බුර්කා නිකාබ් සංස්කෘතික ඉතා මෑතක නිර්මාණය වූවකි. ඇතැම් මුස්ලිම් ජනයා මෙම සම්ප්‍රදාය අනුමත කරන්නේ නැත. හිජාබය පැළඳීම ප්‍රමාණවත් බව ඔවුන් පෙන්වා දෙයි.ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මීල් මහතා දැක්වූ අදහසින් ඒ මතය තවදුරටත් පැහැදිලි වෙයි.

“එක්දහස් නවසීය අසූව දශකයෙන් පස්සේ තමයි මේක ප්‍රවණතාවයක් විදිහට ඉස්මතු වෙමින් එන්නේ. මේක අනිවාර්යයෙන්ම නීතියෙන් තහනම් විය යුතුයි. එපමණක් නෙවෙයි අපි විශ්වාස කරනවා මුස්ලිම් සමජය විසින්ම මේක ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් ඇතිවිය යුතුයි.”
දවටගහ මුස්ලිම් පල්ලිය සභාපති රියාස් සාලි මවුලවිතුමා ද බුර්කා සම්බන්ධව මතුකර තිබුණේ මීට සමාන අදසකි.

“ලංකාවේ ඇවිල්ලා මේක ස්ටයිල් එකක් වෙලා තියෙන්නේ. අනික් එක අපේ ආගමෙත් කියලා නෑ. මූණ වහන්න ඕනෑ, අත වහන්න ඕනෑ කියලා නෑ.”

කෙසේ වෙතත් ඉස්ලාමීය නිකාය කණ්ඩායම අතර බුර්කාව, නිකාබය, හිජාබය සම්බන්ධව මතභේදයක් පවතින බව පැහැදිලිය. එසේම බුර්කා සම්බන්ධ කතිකාවේ දී ප්‍රමුඛ ලෙස නැගුණු තවත් ගැටලු කිහිපයක් මෙම වාර්තාවෙන් ඉස්මතු කර ඇත. මෙයින් ජනවාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අත්හිටුවීමට ද යෝජනා කර තිබේ.

එසේම ද්වේෂ සහගත ප්‍රකාශ කිරීම හා හානිකර හා අසත්‍ය ප්‍රකාශ අපරාධමය වරදක් ලෙස සැළකීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමටද යෝජනා කර තිබේ. සැබවින්ම මෙම කරුණු විෂයෙහි ද සමාජ සංවාදක් ඇතිවිය යුතුය.

ක්ෂේත්‍ර 14 ක් පිළිබඳ පුළුල් ආවරණය කෙරෙන මෙම වාර්තාවේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය, ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා සංක්‍රමණ නීතිය සංශෝධනය කිරීම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කරන ආකාරය, වක්ෆ් පනත සංශෝධනය කිරීම, හලාල් සහතික කිරීම ආදිය පිළිබඳව ද සාකච්ඡා කොට ඇත.

බුර්කා යෝජනා ඇතුළු මෙම කරුණු සියල්ල තවම තිබෙන්නේ යෝජනා මට්ටමේය. එවා නීතියක් බවට පරිවර්තන වන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථීරත්වයෙනි. එයට පෙර පුළුල් සංවාදයක් මේ අරඹයා පැවත්වීම යහපත් බවත් එය හුදු කල් මැරීමක් නොවිය යුතු බවත් අවසානයේ අවධාරණාත්මකව කිවයුතුමය.

►  චමිඳු නිසල් ද සිල්වා