2020 මාර්තු 07 වන සෙනසුරාදා

වැද්දන්ට කාමේසුමිච්ඡාචාරා අරහං

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 334

බොහෝදෙනා අපමණ තතු සොයා ලියා ඇතත් ලක්වාසී ජනයා එපමණ නොදන්නා වැදි පරපුරේ ඉතිහාසය පිළිබඳ විශේෂිත තොරතුරු පෙළක් අපට හමුවිය. අතීතයේ රස තැන් සොයා කාලය ඔස්සේ ඉගිලෙන විට හමුවූ මෙම තතු ඔබ සමඟ සරලව බෙදාගැනීමට තරම් අපූරු යැයි සිතිණි. ලාංකීය වැදි පරපුර පිළිබඳ ගවේෂකයන් පරික්ෂකයන් අනාදිමත් කාලයක සිට කළ ගවේෂණ පරීක්ෂණ හරහා මතු වූ මෙම තතු මෙරට සාමාන්‍ය ජනයාට විවෘතව ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

වැදි පරපුරේ සම්භවය සම්බන්ධව ඇසූ පමණින් විජයාවතරණයෙන් ඉකිබිති වන වැදුණු කුවේණියගේ දරුවන් වූ ජීවහත්ත සහ දිසාලා අප කාගේත් සිහියට නැගෙයි. එය මහාවංශයේ ප්‍රකාශිත මතයයි. ලාංකික වැදි ජනයා තුළත් ඔවුන්ගේ සම්භවය පිළිබඳවත් පවතින මතයන්ට එය සමාන බව සැබෑය. නමුත් වැදි පරපුරේ සම්භවය පිළිබඳ තවත් බොහෝ මතිමතාන්තර වෙයි.

ආර්ය සංක්‍රමණයට පෙර මෙරට සිටි ස්වදේශීය ජනවර්ග වූ යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ඉපැරණි ගෝත්‍රවලින් වැදි පරපුර බිහිවන්නට ඇතැයි යන්න දැනට ඉදිරිපත් වී ඇති ප්‍රමුඛ මතයකි. මෙම මතයට අනුව මෙරටට උතුරු ඉන්දියාවෙන් පැමණි සංක්‍රමණික ගහණය වැඩි වනවිට වැදි ජනයා වනගතව වර්ධනය වී ඇත. මීට අදාළවම වැදි ජනයා අපේ ආදිතමයෙක් වූ බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බවට කියවෙන පරීක්ෂක මතය එකින් එකට ගැලපෙයි.

මේ අතර වැදි ජන සම්භවය පිළිබඳ කතාවේදී ඉතිහාසය පුරා සිංහලයේ කිරුළට ගැටුම් අමතක කළ නොහැක. එම අරගලවලින් පරාජයට පත්වූ අය බොහෝවිට සිදුකළේ ඉන්දියාවට පලායෑම හෝ වන වැදීමයි. ඒ අනුව එලෙස වනවැදුනු අයද වැදි පරපුරට සම්බන්ධව ඇති බව කියැවේ. මෙම මතය දරන්නන්ට අනුව එම මතය තවදුරටත් තහවුරු වන්නේ 1848 කැරැල්ල අවසානයේ වනවැදුණු වෙල්ලස්ස ජනතාවගේ කතා පුවත්වලිනි. කෙසේ නමුත් වැදි පරපුරේ සංස්කෘතික උරුම මෙම මතය සමඟ ගැටෙන බවත් තවත් පරීක්ෂකයෝ පිරිසක් පෙන්වා දෙති.

පොදුවේ වැදි පරපුරේ සම්භවය පිළිබඳව මෙවන් මත පළවන අතර වැදි පරපුරේ වරිගවල සම්භවය සම්බන්ධ කතා පුවත්ද අපට හමුවේ. අප කවුරුත් හොඳින් අසා ඇති ඌරුවරිගයේ ආරම්භ පිළිබඳ අදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විටක මෙසේ සඳහන් කර තිබේ.

“ඈත අතීතයේ අපේ කිරි අම්මා කෙනෙකුට දරුවෙක්‌ ලැබෙන්න හිටියලු. ඇයට විලිරුදාව හැදිලා වේදනාවෙන් සිටිත්දීවත් ගල් රුකුලකටවත් ළඟා වෙන්න වේලාවක්‌ තිබිල නැහැ. අසල තිබුණු ඌරෙකු විසින් හාරන ලද වළකදී දරුවා ප්‍රසූත කරලා තිබෙනවා. ඒ දරුවාගෙන් පැවත එන පරම්පරා පොජ්ජට කියන්නේ ඌරුවරිගේ ඇත්තෝ කියලා. අපි ඌරුවරිගේ ඇත්තෝ මේ කතාව පරම්පරා පොජ්ජෙන් පැවත එන කතාවක්‌.”

වැදි ජනයාගේ වරිග බෙදීම සම්බන්ධවද දැවැන්ත පරීක්ෂණ රැසක් ඉතිහාසය පුරා සිදුව තිබේ. එහිදී වරිග සම්භවය සම්බන්ධව මෙවන් තොරතුරු රැසක් අපට හමුවේ. පරීක්ෂකයන් බොහෝ දෙනකුට අනුව ප්‍රධාන වර්ග හයක් පමණ වැදි ජනයා තුළ දකින්න තිබී ඇත. මොරාන වරිගේ, උනාපාත වරිගේ, ඌරු වරිගේ, ඇඹල වරිගේ, නමුඩන වරිගේ සහ තලා වරිගේ යනු ඒවාය. මෑත භාගය වනතෙක්‌ම මූලාශ්‍රවලට අනුව මොරාන වරිගය, නඹුඩන් වරිගය, කිරෝ වරිගය හා ඇඹලව වරිගය පැවත තිබේ. එහෙත් මෙම බොහෝ වරිග වත්මන් නවීකරණයන් හමුවේ වඳවී හෝ සම්මිශ්‍රණය වී ගොසිනි. ඇතැමුන් නම් ගම් වෙනස්‌කර වැදි සංස්‌කෘතියෙන් පිටමං ගොස් ඇත.

වැද්දා යන්න සංස්කෘත භාෂාවෙන් බිඳී ආවක් බවට වියත් මතයක් වෙයි. සිංහල සාහිත්‍යයේද ‘මලදරු’ ගිරිවැසී, වනසර වනචාරි වන්‍යවාසි, ‘සැරව්’ (ඊතල දරන්නා) යනුවෙන් වැදි ජනයා හඳුන්වා තිබේ. සිංහල මහ සමාජය සමඟ වැදි පරපුරේ සම්බන්ධය සාහිත්‍ය සහ ජනප්‍රවාද ඇසුරේ මනාව පැහැදිලි වෙයි. ‌රොබට් ‌‌‌නොක්ස් ද සිය සටහන් අතරට වැදි පරපුර පිළිබඳ මතකය එකතුකර ඇත.

“ඔවුන් මුව දඩය‌මෙහි සහ දුම් ගැස්සවීම් කිරීම් තුළින් වියළා ගැනීම කරනු ලැ‌බේ. සිංහල මිනිස්සු දඩමස් ලබා ගැනීමට වැද්දන් ‌වෙත පැමිණියහ. රජු‌ගේ කෑම ‌මේසයට දඩමස් සැපයීමේ කාර්‌යයේ ද නිරත විය. ඒවාට අමතරව, රජුහට ඇත්දළ සැපයීමද, මී පැණි සහ මී ඉටි සැපයීමද කරන ලදී. රජුද ඔවුන්ට ප්‍රත්‍යෝපකාර වශ‌යෙන් වැද්දන් හට ‌රෙදිපිළි සහ ඊතල ආදිය දුන්නේය.”

රොබට් ‌නොක්ස්‌ගේ වාර්තාවට අනුව වැද්‌දෝ වරක් රජුට එ‌රෙහිව පැමිණි යුද්ධවලදී සටන් කර තිබේ. එ‌සේම, ඔවුහු ඔවුන්ට අයිති ප්‍ර‌දේශ ආරක්ෂා කරමින් රජුටද වක්‍රාකාරව ආරක්ෂාව සපයා ඇත.

වැදි ජනයා සම්බන්ධව සිදුවූ පරීක්ෂණ අතර සී.ජී. සෙලිග්මාන් විසින් දහනව වන සියවස අග සහ විසිවන සියවස මුල සිදුකළ පරීක්ෂණ අතිශය වැදගත්වේ. එසේම දේශීය පරීක්ෂකයන් රැසක් වැදිපුර සම්බන්ධව පරීක්ෂණ රැසක් නිරත වී සුවිසල් තොරතුරු සම්භාරයක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව උතුරු ඉන්දියානු ආර්ය සංක්‍රමණයට ‌පෙර විසු ප්‍රාග්-ආර්ය ජනතාව හා අප වැදි පරපුර අතර සහසම්බන්ධතාවක් ඇති බව කියැවේ. එහෙත් කාලාන්තරයක් තිස්‌සේ සිංහල හා දෙමළ ජනතාව අත‌රේ වාසය කළ වැදි ජනයා එකී ජන සමාජයන්ට ක්‍රම‌යෙන් සම්මිශ්‍රණය විය. කෙසේ වෙතත් වැදි පරපුරේ රුධිර වර්ග පරික්ෂා‌වේදී ‌සොයාගෙන ඇත්තේ ‌බො‌හෝ ආදිවාසී ජනවර්ගවල දක්නට ඇති ‘O’ රුධිර කාණ්ඩය අප වැදි ජනයාගෙන් බහුතරයට ඇති බවකි. එ‌සේම ස්වල්ප ජන ‌කොට්ඨාසයක් අතර ‘A’ රුධිර ගණය දක්නට ලැබී ඇත. මෙහි ඇති සුවිශේෂී කරැණ නම් ඔවුන් අතර‌ වෙනත් රුධිර කාණ්ඩයන් දක්නට නොලැබීමයි.

වැදි පරපුරේ පවුල් සංවිධනය පිළිබඳවද සිදුකළ පරීක්ෂණ හරහා ද විශේෂ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අතරින් සුවිශේෂී තොරතුරක් අපගේ අවධානය දිනා ගත්තේය. බහුභාර්යා ‌සේවනය‌, බහු පුරුෂ ‌සේවනය, පරදාර ‌සේවනය වැනි සංකල්ප මෙම වැදි සමාජ තුළ දක්නට ලැබෙන්නේ නැත. කේවල විවාහ ක්‍රම ලංකාවේ නීතිගත වීමට පෙර වැදි ජනයා අතර කේවල විවාහ ක්‍රමය දක්නට ලැබීම පුදුමසහගතය. ප්‍රබල එමෙන්ම පුරැෂාධිපත්‍යයක් වැදි ජනයා අතර නොමැති බවද පරීක්ෂකයන් පෙන්වා දී තිබේ. පවුල් ජීවිතයේදී කාන්තාවට ප්‍රධාන තැනක් හිමිවන අතර ඇය පළමුවෙන් ආහාරයෙන් කොටස් අනුභව කිරීම විශේෂිතය.

වැදි ජනයාගේ ජීවන රටාව, සංස්කෘතික ඇදහිලි, විශ්වාස මෙන්ම මොවුන්ගේ වර්තමාන තත්ත්වය විමසීම ඉතා පුළුල් කර්තව්‍යයකි. ලංකාවේ වැදි ජනතාවගේ අපි නොදන්නා පැරණි වගතුග රාශියක් ඇති බව ඔබ දැනගත යුතු බව නම් අවසානයේ නොවලහා පැවසිය යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා