- දර්ශනා ශම්මි විජේතිලක
ඉතා කෙටි කලකින් සාහිත්‍ය ලෝකයේ නමක් රැන්දූ දර්ශනා ශම්මි විජේතිලක නවකතා හතක් ලියා ඇති අතර ඇගේ අලුත්ම නවකතාව නිසල දියවතයි. (සුසර ප්‍රකාශන). ඇගේ ගිරග සසල විය 2011 ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු අතර අසනග වැසි 2018 ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘතියක් ලෙස ඇගැයීමට පාත්‍ර විය. මන්දාරම් උයන නවකතාව 2019 ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරිණි.
ඔබේ අලුත්ම පොත නිසල දියවත ලිවීමට පසුබිම් වූ කාරණය ගැන කිව්වොත්?
නිසල දියවත පොත ලියන්න පසුබිම් වුණේ අහන්න ලැබුණු ඉතා කුඩා සිද්ධියක්. මීට වසර 12කට පමණ පෙර මගේ විශ්වවිද්‍යාල මිතුරකු වූ චන්දන බණ්ඩාර, ඔහුගේ ගම්පොළ නෑදෑ වෙන සහෝදරයෙක් තම පෙම්වතිය සමඟ විවාහ වෙන්න නොලැබුණු නිසා ඇයට දැනෙන්න බටනලාව වයනවා කිව්වා. ඒ දේ මගේ හිත සසල කළා. මෙය මගේ හිතේ මහා ශෝකයක් එක්ක වරින් වර මතක් වුණා. එය පදනම් කරගෙන මම කතාවක් ගොඩනැගුවා.
මෙහි යොදාගෙන තිබෙන්නේ කතා කරන භාෂාව. එයට හේතුවක් තිබුණද?
මේ පොතේ වැඩිපුර සඳහන් වෙන්නෙ සබරගමුව රත්නපුර ආශ්‍රිත ගැමි බස්වහර. මම හරිම කැමතියි විවිධ ප්‍රදේශවල භාවිත වෙන භාෂාව අධ්‍යයනය කරන්න. අපේ රටේ උප භාෂා ප්‍රදේශවලින් ප්‍රදේශවලට තියෙනවා. ගැමි බස්වහරින් ලිව්වාම ගොඩක් පාඨකයන් කැමතියි. විවිධ පළාත්වලට ආවේණික කටවහරේ එන භාෂාව හරිම සිත්ගන්නා සුළුයි. හැමවිටම ලියන භාෂාව යොදාගන්නවාට වඩා කථන භාෂාව මතක සිටිනවා. එයින් අපට යමක් ඉගෙනගන්නත් පුළුවන්.
මෑතකදි ඔබ අතින් ලියවුණු නවකතා වැඩි ප්‍රමාණයක් අතීතයට බරයි. ඇයි අතීතය තේමාකර ගැනීමට ඒ තරම් කැමති?
මේ නවකතාව 1911 විතර කාලෙ ඉඳන් ගලා යන එකක්. මම අතීතය ගැන පොත් ලියන්න හරිම කැමතියි. අතීත ආර්ථික රටාව, සමාජ පසුබිම, ජීවන අත්දැකීම් හරිම ළයාන්විතයි. ඉතාම සරල සාමාන්‍ය බස්වහරෙන් කියනව නම් තෙම්පරාදු නොවූ මිනිසුන් අතීතයේ සිටියා. අතීත මිනිසුන් ජීවිතය පැත්තක තියල මුදල් හඹා ගියේ නැහැ. ඔවුන්ගෙ ජීවන රටාව, ඇවතුම් පැවතුම් හරිම සරලයි. අනිකා පරයා නැගී සිටින්න, අනිකා තලාපෙලා කටයුතු කරන්න ඔවුන් බොහෝවිට මැළියි. නිරන්තරව ඔවුන් සතු අභිමානයක් තිබුණා. විශේෂයෙන් එකිනෙකාට ගරු කිරීම. අතීතයේ අභිමානවත් කාන්තාවන් හිටියා. පවුලක් ගෙන යාමේදී ඔවුන්ගේ තීන්දු තීරණ, ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීම ගැටුම් අඩුවීමට හේතුවක් වුණා.
මේ කෘතිය රසවත්ව කියවාගෙන යා හැකියි. අද පළවන බොහෝ පොත්වලට නැගෙන චෝදනාවක් තමයි කියවීම වෙහෙසකර බව. ඔබ ඒ ගැන නිරීක්ෂණය කළාද?
මේ වන විට මම පොත් 20කට ආසන්න ප්‍රමාණයක් ලියල තියෙනවා. එයින් නවකතා 7 ක් තියෙනවා. මේ නවකතා හතම පාඨකයා ඉතාම ආසාවෙන් පිළිගත් බව මම දන්නවා. එයට හේතුව කතාව ගලාගෙන යන ආකාරය සහ වෙහෙසකාරී නොවන භාෂා රටාව බව පාඨකයන් පවසනවා. මම ලිවීමේදී නිරන්තරව ඉතාම සරල භාෂා රටාවකින් ලියනවා. මම පහුගිය කාලෙ එක්තරා නවකතාවක් කියෙව්වා. ඒකට පිටු විශාල ප්‍රමාණයක් වෙන්කරල තිබ්බා. එහි අදාළ ප්‍රදේශයේ භාෂා යෙදුම් පිළිබඳව නිර්වචන සඳහන් කරලා තිබුණා. එහෙම වුණාම පොතක් රසවිඳින්න අමාරුයි. අපි ආදිවාසීන් ගැන කතාවක් ලියනවා නම් ආදිවාසී වැදි භාෂාව පාවිච්චි කළොත් කීයෙන් කී දෙනාද ඒ පොත කියවන්නෙ. ඒ නිසා භාෂා රටාව, චරිත හැසිරවීම, ගොනුකිරීම, කතාව ගලා යාම සුමට විය යුතුයි. එවිට නවකතාවක් කියවීම වෙහෙසකර වන්නෙ නැහැ. නවකතාවක් තුළින් භාෂාවේ බහුශ්‍රැතභාවය පෙන්නුම් කළ යුතු නැහැ. ව්‍යාකරණ, භාෂාව නොනසා සරලව කතාවක් ඉදිරිපත් කිරීමෙන් පාඨකයා පොතක් වෙත ඇදබැඳ තබාගන්න පුළුවන්.
සමහරු නවකතා ලිවීමේදී නිසි කරුණු ගවේෂණයකින් තොරව අන්තර්ජාලය පමණක් බලල කරුණු සොයන බව පැවසෙනවා. ඒ ගැන කියන්නෙ කුමක්ද?
මම අන්තර්ජාලයෙන් කරුණු සෙවීම කවර කලකදිවත් කරන්නෙ නැහැ. මගේ පොත් සෑම එකකම මම ලියන ප්‍රදේශ ආදී කරැණු කාරණා ගැන අදාළ පුද්ගලයන් හමුවෙලා කරුණු සොයාගත්තා. මේ පොත ලිවීමේදී වසර දෙකක් පමණ මම ඒ ප්‍රදේශවල සැරිසරල පුද්ගලයන් මුණගැහිල කරුණු සොයාගත්තා. මෙහි අර්ශස් වෙදකම, ඇත් වෙදකම, සත්ව වෙදකම ගැන තියෙනවා. තැපැල් කන්තෝරු ඉතිහාසය යම් පමණක් තියෙනවා. මම අදාළ පුද්ගලයන් හමුවී ඔවුන් සමඟ කතාබස් කළා. මම ටිකක් සම්ප්‍රදායික පැත්තට බරයි. ඒක සමහරවිට මගේ දුර්වලකමක් ද දන්නෙ නැහැ. තාක්ෂණය පැත්තට වඩා, ඒ කියන්නෙ අන්තර්ජාලයෙන් කරුණු කාරණා හොයනවාට වඩා ගවේෂණය කරල කරුණු කාරණා හොයන්න මම කැමතියි. එහි යම් මිහිරක් තියෙනවා. ඒ වගේම නිවැරදි තොරතුරු සොයාගන්න පුළුවන්. ඇත් වෙදකම ගැන මට කරැණු කාරණා කියල දුන්නෙ රඹෑව සුමතිගුරැ වෙද මහත්තයා.
නවකතා බහුලව පළවුවත් ඒවා නිසි විචාරයට ලක්වන්නෙ නැති බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන අදහස කුමක්ද?
අපේ රටේ නියම විචාරයකට නවකතාව ලක්වන්නෙ නැහැ තමයි. නිවැරදි විචාර කලාවක් නැහැ කියලයි මට හිතෙන්නෙ. බොහෝ අය දන්නෙ නැහැ විචාරය කියන්නෙ කවුද කියල. නවකතාවක හොඳ නරක, දුර්වලකම්, අඩුපාඩු විචාරයක තිබිය යුතුයි. නමුත් ලංකාවෙ විචාර කලාව වෙනස්. තමන් දන්නා හඳුනන ප්‍රසිද්ධ පුද්ගලයකුට පොත ගැන ලියන්න කියනවා, කෘතියේ හොඳ පමණක්. ඒක පත්තරේක පළකර ගන්නවා. එවැනි අත්දැකීම්, මටත් තිබෙනවා. මගේ පොත් හරහා පෞද්ගලික තරහ පිරිමසාගන්න ඇතැම් අය උත්සාහ කළා.
අපිට පේනවා සමහර නවකතාකරුවන් කතා රසයට වඩා ආකෘතියට වැඩි වැදගත්කමක් දීල පාඨකයා අතරමං කරන බව. එවැනි පොත් ඔබ කියවල තියෙනවද?
පහුගිය කාලවකවානුවේ එවැනි පොත් කියවන්න ලැබුණා. එම පොත් කියවීමෙන් පාඨකයා අතරමං වන ගතියක් තියෙනවා තමයි. කතා රසයක්, කතාව ගලාගෙන යාමක් නෙවෙයි සිදුවන්නෙ. මහා අමාරු ප්‍රහේලිකාවක් විසඳනවා වගේ හරිම වෙහෙසකාරීයි ඒ පොත් කියවීම. එවැනි පොත් නරකයි කියනව නෙවෙයි. ආකෘතියක් ඇතුළත කතාවක් ඔබ්බනවා කියන්නෙ පාඨකයා තමයි කතාවෙ බාගයක් ගලපාගත යුත්තෙ. යම් ප්‍රමාණයක පාඨක පිරිසක් ඒ වටා රොක් වුණත් වැඩි පිරිසක් එවැනි පොත් ප්‍රතික්ෂේප කරනවා.
කුසුම්සිරි