දැනට ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය නිසා අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට කණකොකා හඬන තත්ත්වයක් උද්ගතවෙමින් පවතී. “කොරේ පිටට මරේ” කියනවා මෙන් දැනටමත් දැඩි විදේශ විනිමය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවට ඇඟලුම් අපනයනයන් ලැබෙන විදේශ ආදායම අහිමිවීම නිසා තවත් ගැටලුවක් නිර්මාණය වී තිබේ.
අපේ රටේ ඇති සමස්ත ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව 400කට අධිකය. ඒවායින් සියයට 95ක් පමණම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර වෙයි. මෙරට ශ්‍රම බලකායෙන් සියයට 15ක් පමණ නියෝජනය කරන්නේ ඇඟලුම් කේෂ්ත්‍රයයි. මේ අයගෙන් වැඩි කොටස එතරම් දුරට අධ්‍යාපනය නොලද ගමේ දුර පළාත්වල දුප්පත් තරුණ තරුණියන්ය. ඔවුන් නගරයට පැමිණ විවිධ “බෝඩිං” කාමරවල නැවතී දහසකුත් එකක් දුෂ්කරතාවලට මැදිව සොච්චමක් උපයා ගැනීමේ දුෂ්කර ක්‍රියාවට යොමුව සිටී.
රටේ කොතරම් කම්කරු නීති තිබුණත් නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා ඒවා බලපාන්නේ මඳ වශයෙනි. උදාහරණයක් වශයෙන් පැවසුවහොත් රාජ්‍ය සේවකයකුට නියම කර ඇති අවම වැටුප පවා මේ අයට නොගෙවන අතර ඔවුන්ට හිමිවන්නේ රුපියල් 12500 – 13000ක වැනි අවම මාසික වැටුපකි. මේ වැටුපෙන් නගරයක ජීවත් වී ස්වකීය මූලික අවශ්‍යතා පවා පිරිමසා ගැනීම උගහට වෙයි. ඒ නිසා ඔවුන් යොමුව ඇත්තේ උදේ හවා පැය 24ක් හෝ එකදිගට වැඩ කර ලැබෙන අතිකාල දීමනාවෙන් මෙන්ම දිරි දීමනාවෙන් හා පැමිණීමේ දීමනාවෙන් අඩු තැන් පුරවා ගැනීමටය. ඇඟලුම් ස්වාමිවරු ඔවුන්ගේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගෙන ශ්‍රමය සූරාකෑමට උත්සහ ගනිති.
එවැනි කටුක පරිසරයක ජීවත් වන ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට දැනට උද්ගතව ඇති නිෂ්පාදනය අඩාලවීම මාරැ පහරක් වී ඇත. අපේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය සහ රසායනික ප්‍රධාන වශයෙන් ආනයනය කරන්නේ චීනයෙනි. ඉන්දියාව තායිලන්තය, තුර්කිය වැනි රටලින්ද සුළු ප්‍රමාණයක් ගෙන්වන නමුත් ඒවායේ ප්‍රමිතිය අඩු වන අතර මිලෙන් ද ඉහළය. ඒ නිසා චීනයේ රෙදිපිළිවලින් යැපීමට සිදුව තිබේ. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් හිමියන් මෙම අමුද්‍රව්‍ය සති දෙකකට පමණක් ගෙන්වන්නේ එකවර විශාල තොගයක් රැගෙන විත් ගබඩාකර තැබීමට ආර්ථික ශක්තියක් නොමැති නිසාය. ඒ නිසා චීනයේ නිෂ්පාදන සති දෙකක කාලයක් අපට නොලැබේ නම් අපේ කර්මාන්තශාලාද වසා දැමීමට සිදුවේ. ඇඟලුම් සඳහා අවශ්‍ය රෙදිපිළි මෙරට නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබුණද මේතාක් කල් අපේ රටේ බිහිවූ ආණ්ඩු ඒ සඳහා අවධානය යොමු කර නොමැතිවීම නිසා මේ අර්බුදය ඇතිව තිබේ.
ඇඟලුම් සේවක වෘත්තිය සමිති සහ කර්මාන්ත හිමියන් මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වයට වගකිව යුත්තන් මැදිහත් වී ඇඟලුම් කර්මාන්තය සහ එහි සේවක සේවිකාවන් ආරක්ෂා කරදෙන ලෙසටය. ඒ පිළිබඳ විවිධ යෝජනා ඔවුන් මේ වනවිටද රජයට ඉදිරිපත් කර ඇත. එහෙත් මෙතෙක් ඒ පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවී ඇති සැටියකි. මේ ගැටලුව පිළිබඳ සේවක සේව්‍ය දෙපාර්ශ්වය සමඟ අපි සාකච්ඡා කළෙමු.
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් පවසන්නේ කොරෝනා හේතුවෙන් නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන ස්වකීය සාමාජික සේවක සේවිකාවන් විශාල අර්බුදයකට ලක්ව ඇති බවයි. මේ පිළිබඳ රජය අවධානය යොමු කර සමස්ත ඇඟලුම් කේෂ්ත්‍රයට මෙන්ම මෙරට ශ්‍රම බලකායෙන් සියයට 15ක් පමණ වන තරුණ තරුණියන්ගේ රැකියා වලට ඇතිවෙමින් පවතින ගැටලුවට වහා පිළියමක් යෙදිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
“අද පවතින නව ලිබරල්වාදි ආර්ථිකය නිසා ඇඟලුම් ඇතුළුව බොහෝ අපනයන භාණ්ඩ නිෂ්පාදනයට පහර වැදිලා. අපේ බොහෝ අපනයන රැඳී තියෙන්නේ පිටරටින් ආනයනය කරන අමුද්‍රව්‍ය මතයි. ඒවායින් නිෂ්පාදනය කරලා අපනයනය කරනවා. මෙම අමුද්‍රව්‍ය සැපයීම මතයි නිෂ්පාදනය රැඳී පවතින්නේ. ඒවා ආනයනයට පහර වැදුණොත් නිෂ්පාදනය බිඳ වැටෙනවා. ඇඟලුම් නිෂ්පාදනය සඳහා රෙදිපිළි චීනයෙන් ආනයනය කරනවා. වෙනත් කර්මාන්ත සඳහා ද බොහෝ දේවල් ගෙන්වන්නේ චීනයෙන්. මේ සඳහා චීනයට වඩාත් නැඹුරු වී ඇත්තේ එම ද්‍රව්‍ය අඩු මිලට ලබාගන්න පුළුවන් වීමයි. තුර්කිය වැනි රටවලත් මේවා තිබෙන නමුත් මිල වැඩියි.”
ඔහු පවසන්නේ අද චීනයේ පවතින තත්ත්වය නිසා එහි බොහෝ නිෂ්පාදන ආයතන වසා තිබෙන බවයි. ඒ නිසා සාමාන්‍යයෙන් සිදුවන නිෂ්පාදන ධාරිතාවෙන් අඩකට වඩා අඩු ප්‍රමාණයක් පමණක් ක්‍රියාකාරීව ඇති බව කියයි. එසේම තනන අමුද්‍රව්‍ය වුවත් රට තුළට ගෙනඒම අනතුරුදායක බවට පත්ව තිබේ. ඒ නිසා චීනය යථා තත්ත්වයට පත්වී යළි නිෂ්පාදන අරඹන තුරු අපට ඒ දෙස බලාසිටින්නට සිදුව ඇත. මේ වනවිට කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා දෙකක් සේවකයන්ට නිවාඩු ලබාදී ඒවා වසාදමා ඇත.
ඔහු මෙසේද කියයි
“මෙරට ඇති සමස්ත ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව 400කට වැඩියි. ඒවායින් 50ක් පමණ අද පවතින තත්ත්වය නිසා වැසීයාමට පටන් අරන්. ඉදිරියේදී තවත් ඒවා වැහෙන්න පුළුවන්. එහෙම වුණොත් ළඟ එන උත්සව සමයේදී සේවක සේවිකාවන් විශාල අර්බුදයකට ලක් වෙනවා. ඇඟලුම් සේවක සේවිකාවන් සඳහා ගෙවන වැටුප ඉතාම පහළයි. එය මාසිකව රුපියල් 13000 සිට 18000 අතරයි පවතින්නේ. දිනපතා පැමිණීමේ දීමනාවක් ගෙවන නමුත් අසනීපයක් නිසා එක් දිනක් හෝ නොපැමිණියොත් දීමනාව කපා දමනවා. දිරි දීමනාද ගෙවන අතර එයද නියමිත “ටාගට්” එක සැපිරිය හොත් පමණයි. මෙම ටාගට්ටුව දිනපතා ඉහළ යනවා. දිනකට ආහාර විවේකය පැය බාගයක් දුන්නත් මෙම ටාගට් එක සැපිරීම සඳහා විනාඩි 10-15කින් ආහාර ගෙන ඉවරවෙලා වැඩ කරන්නට ඔවුන්ට සිදුවෙලා තියෙනවා.
ඔවුන්ට ලැබෙන වේතනය ඉතාම අඩු නිසා මෙම පැමිණීමේ දීමනාවෙන් හා දිරි දිමනාවලින් අතිකාලවලින් තමයි කීයක් හෝ උපයා ගන්නේ. එහෙත් මේ වනවිට සමහර කර්මාන්තශාලාවල අතිකාල ගෙවන්නේ නැහැ. ටාගට් නැහැ. මාසයේ ඇතැම් දවස් වසා තිබෙන නිසා පැමිණීමේ දීමනා ද ලැබෙන්නේ නැහැ. ළඟ එන අලුත් අවුරැදු දිනවල උපරිමයෙන් සේවය කරලා මේ දීමනා ලබාගෙන මුදල් එකතුකර ගෙන නිවෙස්වලට යන්නයි බොහෝ සේවකයන්ගේ අපේක්ෂාව. එහෙත් අද පවතින තත්ත්වයේ හැටියට උද්ගතව ඇත්තේ බරපතළ ප්‍රශ්නයක්.”
ඔහු පවසන්නේ කම්හල් ලබන අලාභය සේවකයන් පිටින් යැවීම අසාධාරණ බවයි. ඒ නිසා සේවකයන්ගේ අයිතින් ආරක්ෂා විය යුතු බව ඔහු පෙන්වා දෙයි. ඇන්ටන් මාකස් පවසන්නේ තම සංගමය මෙයට වසර තුනකට පමණ පෙර ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි අපේ රටේම නිපදවිය යුතු බව වගකිව යුත්තන්ට පෙන්වා දී ඇති බවයි. එයින් විදේශ විනිමය ඉතිරියක් ද සිදුවෙයි. ඒ ගැන නොසැලකීමේ විපාක මේ වනවිට අත්විඳින්නට සිදුව ඇති බව ඔහු කියයි. මේ තත්ත්වය හාම්පුතුන්ට හා සේවකයන්ට බලපාන අතර ආයෝජනය අඩුවීම රටේ ආර්ථිකයට ද අහිතකර ලෙස බලපාන බව පෙන්වා දෙයි.
“අපි අන්තර්ජාතික කම්කරු සංගමයේ කොළඹ කාර්යාලය හා එක්ව මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වූවා. රජය සමඟ පැවැත් වූ මෙම සාකච්ඡාවට ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදයද තවත් අංශ ද නියෝජනය වුණා. අපේ ඉල්ලීම වූයේ මෙය හදිසි තත්ත්වයක් ලෙස සලකා එයට මුහුණදීම සඳහා රජයේ නියෝජිතයන්, සේවක නියෝජිතයන් හා හම්පුතුන් ඇතුළත් කාර්ය සාධක බලකායක් එක් එක් කේෂ්ත්‍රවලට වෙන වෙනම පිහිටුවන ලෙසයි. පසුගිය 10 අඟහරුවාදා ද සාකච්ඡා කළා. අප ඉල්ලා සිටින්නේ ව්‍යාපාරිකයන්ට සහන සලසනවා වෙනුවට සේවකයන්ට සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන ලෙසයි. දැනට මේ පිළිබඳ හදිසි කාර්යයන් ලෙස සලකා තීරණ ගතයුතු වෙනවා.”
ඔහු පෙන්වා දෙන්නේ අදාල රෙදිපිළි සහ රසායන නිෂ්පාදන චීනය වෙනුවට තුර්කිය වැනි වෙනත් රටවලින් ආනයනය කර එහි වැය පරතරය පියවීමට ආණ්ඩුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි. තාවකාලිකව හෝ මෙවැනි විකල්ප ක්‍රියා මාර්ගයක් ගතහොත් මිස අද පවතින අර්බුදයෙන් ගොඩයා හැකි මඟක් නොපෙනෙන බව ඔහු කියයි.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් එම්.පී.ටී. කුරේ:-
“ඇඟලුම් පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත මේ වනවිට අර්බුදයකට ලක්වෙලා. අද පවතින කෝරෝනා ව්‍යාප්තිය නිසා මෙම තත්ත්වය කවදා අවසන්වේදැයි නිච්චියටම කියන්න බැහැ. මෙහිදී ඇඟලුම් කේෂ්ත්‍රය විශේෂයි. රටේ නිදහස් වෙළෙඳ කලාපවල පවත්වා ගෙනඑන කර්මාන්තශාලාවලින් කරන ඇඟලුම් නිෂ්පාදන ජාත්‍යන්තරව අලෙවි කරලා රටට විදේශ විනිමය විශාල ලෙස ලබා ගන්නවා. මෙය රටට ජාතික වශයෙන් ආදායම් ලබන මාර්ගයක්. අමුද්‍රව්‍ය ආනයනය කිරීමට වැයවන විදේශ විනිමයට වැඩියෙන් විශාල වශයෙන් නිර්මාණිත ඇඟලුම් ආපනයනයෙන් විදේශ විනිමය ලැබෙනවා. මේ නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.”
ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් ඇඟලුම් කර්මාන්තය සඳහා කම්හල්වලට අමුද්‍රව්‍ය ගෙන්වන්නේ සති දෙකකට ප්‍රමාණවත් තරමට බවය. දීර්ඝ කාලයකට ආනයනය කරලා තබා ගැනීම විශාල වශයෙන් මුදල් යට කිරීමක් වන නිසා එය කළහැකි නොවේ. දැනට චීනයේ නිෂ්පාදන ඇණහිට ඇති බැවින් රටේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යාම විශාල ගැටලුවක් වී ඇති බව මහ ලේකම්වරයා පෙන්වා දෙයි. දැනට අමුද්‍රව්‍ය තිබුණේ පෙබරවාරි මාසය අගදක්වා පමණක් නිසා මාර්තු මාසය මැද පමණ වන විට අපේක්ෂා කළ අමුද්‍රව්‍ය නැතිවීමෙන් නිෂ්පාදනය නැවතී තිබේ. මෙහිදී සේවකයන් දිගටම තබාගෙන නිෂ්පාදනයක් නොමැතිව ඔවුන් නඩත්තු කිරිමට කම්හල් හිමියන්ට නොහැකිවී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. මහා පරිමාණ විශාල සමාගම් 3-4ක් යම් පමණක් අමුද්‍රව්‍ය වැඩිපුර ගබඩා කර තබා ගත්තත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට එවැනි තත්ත්වයක් නොමැත. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණය ගෙනැවිත් පාවිච්චි කිරීම කෙරේ. මේ වැඩිදෙනා අමාරුවේ වැටී ඇත.
“රටට වැඩියෙන්ම අමුද්‍රව්‍ය ගෙනෙන්නේ චීනයෙන්. සමහර අවස්ථාවල ඉන්දියාවෙන් සහ තායිලන්තයෙන්ද ගෙනෙනවා. කොරියාවේ අමුද්‍රව්‍ය තිබුණත් මිල වැඩි නිසා ඒවායින් නිෂ්පාදනය කරලා අපේ මිලට දෙන්න බැහැ. ඒ නිසා සමස්ත නිෂ්පාදන ධාරිතාවෙන් සියයට 40-50ක නිෂ්පාදනයක් නැතිවෙන බව පැවසිය යුතුයි. 2019 දී අපේ අපනයන ආදායම බිලියන 1.6ක්. එහෙත් දැන් පවතින තත්ත්වය අනුව මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි මාසවල එයින් 30-40 අඩුවෙනවා ඇති. එය අපට විශාල පාඩුවක්. මෙම තත්ත්වය ඉදිරියට තවත් වැඩිවෙන්න පුළුවන්.”
ඔහු කියන්නේ සේවකයන්ගේ අප්‍රේල් අවුරුදු නිවාඩුව දිගු කරන්න සිදුවන බවයි. උත්සව කාලයේ වෙනදා මෙන් සේවකයන්ට බෝනස් දීමට නොහැකි වෙයි. අතිකාල වැඩ කිරීමද අඩු කරන්නට සිදුවෙනවා ඇති. මේ නිසා පැමිණීම අඩුවන බැවින් පැමිණීමේ දීමනා හෝ දිරිදීමනා ගෙවිය නොහැකිය. මෙය සේවකයන්ට අසාධාරණයක් නමුත් සේවකයන් නිකම් තබාගෙන ගෙවීම් කිරීමට නොහැකි බව හාම්පුතුන් පවසන්නේ යැයි ඔහු කියයි. විශාල කර්මාන්ත හිමිකරුවන් කිහිපදෙනාට සිය සේවකයන්ට පෙර පරිදි ගෙවීම් කළහැකි වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට එසේ කළ නොහැකිය. මහ සමාගම්වලින් උප කොන්ත්‍රාත් ලබාගන්නා කුඩා ව්‍යාපාරික සමාගම් අමාරුවේ වැටී ඇත.
“අපි කියන්නේ මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ආණ්ඩුව යම් සහනයක් දිය යුතු බවයි. 60ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තිබෙනවා. ශ්‍රී ලංකා ඇපරල් බ්‍රැන්ඩ් ඇසෝෂියේෂන් සංවිධානය ද මෙය බලපා තිබෙනවා. ඒ අය ද අපට සම්බන්ධයි. දැනට සාමාන්‍යයෙන් රජය අනුමත කර ඇත්තේ මසකට පැය 60ක අතිකාල දීමනාවක්. එහෙත් අපි ඉල්ලා සිටින්නේ ඉදිරියේ දී අමුද්‍රව්‍ය ගෙනා විට මෙම උපරිම සීමාව ඉක්මවා වැඩ කරන්නට අවසර දෙන ලෙසටයි. එසේම අපට නීතියට විරැද්ධව වැඩ කරන්නට ද අපහසුයි. අපේ ආයතනික විගණන අංශයක් තිබෙනවා. ඒ අය ද පරීක්ෂා කරනවා. අවිධිමත් ක්‍රියා අසු වුණොත් එම කම්හල්වලට එරෙහිව පියවර ගන්නවා. එසේම කම්කරු දෙපාර්තමේන්තුවේ නීති රීතිවලට අනුව ද වැඩ කළ යුතුයි. බැංකුවලින් ණය ගැනීම ද ප්‍රශ්නයක් වන්නේ නිෂ්පාදන ධාරිතාව අඩුවීම නිසයි. දැනට බැංකුවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දෙන සහන පොලී ණය අපට ද වලංගු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඇඟළුම් කර්මාන්තය රටට විදේශ විනිමය ගෙනෙන ජාතික ව්‍යාපාරයක් නිසා එය නඟාසිටුවීම රජයේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වෙනවා.”
► යසවර්ධන රුද්රිගූ