මල් නොපිපි අයිලයට
සීතලද... තවමත්...
කියන් මගෙ දුයිශේන්....
හිම වැටුණා පාර දිග
මගේ හුරු අඩි පාර
තවම නුඹ හොයනවද...
කියන් මට දුයිශේන්
සීතලට ගල්වෙච්ච
පයින් තුරු හිස් කොනක
නොපිපිමල සිඹිනකොට අනුන්
ඇත්තටම දුක නැද්ද දුයිශේන්...
ඉඹින්නට බැරි උසක
තිබුණ නුඹෙ හද මඬල
හැමදාම රෑ පුරා මං වින්ද දුයිශේන්
හීනෙනුත් නුඹෙ උසට
ළං වෙන්න බැරි ලෙසට
පුංචියට මං හිටියෙ... දුයිශේන්
රුසියාව ගිනි ගද්දී
ඒ ගින්න නිවන්නට
තාම නුඹ යනවාද දුයිශේන්...
මගේ හිත ගිනි අරන්
දන්නෙ නෑ නුඹ තවම
ඉතින්...
හිම යටම සැඟවිච්ච
ගිනිගත්තු හිත එක්ක
ආයෙමත් එනවාද දුයිශේන්...
සත්තමයි සීත නෑ...
නුඹේ සුසුමක් ගාව
නුඹ තාම දන්නෙ නෑ දුයිශේන්
ආදරෙයි කොඳුරන්න දුයිශේන්
හාදු මල් ඕන නෑ...
ආදරෙයි ආදරෙයි කොඳුරන්න දුයිශේන්!!!
l තිලිනි එන්. ලියනආරච්චි