මිල්කා රනා දෙස බැලුවේ තරමක පුදුමයකිනි. ඔහු කවරෙක්ද? ඇගේ නෙතේ පියැවිලි මත ඒ ගැටලුව ඉතරිව තිබිණි.
“බිය නොවන්න දියණිය. අසුන් ගන්න”
ඔරේනාස්ගේ හඬට වශිකෘතව මෙන් මිල්කා හිඳ ගත්තාය.
“සැකය කියන්නෙ හිතේ සැනසීමේ අහිමිවීමයි. මිනිසුන් නිරන්තර සැකය නිසා සතුටින් නිදහසේ ජීවත්වීම අහිමි කර ගන්නවා. ඔබ කඩුල්ල වෙත ආවේ සතුටින්. මා දුටු සැණින් ඒ සතුට අතුරුදන් වූවා. මා කවරෙක්ද, කොයි සිට ආවාද, ඔබ හිතන්න ගත්තා. සැකය උපදින්නේ බය සමඟයි දරුවා. තමා හෝ තමාට අයත් දේ අනෙකා උදුරාගනී යැයි බිය හිතෙනා හැම විටම මනස තුළ සැකය උපදිනවා. සියල්ල අත්හැර දමන්න. එය ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. හුදු අතහැර විසීමක්. සියල්ලට සේම සියල්ලන්ටම ඔහේ ඉන්නට හරින්න. ඔබේ ජීවිතයටත් ඔහේ තියෙන්න හරින්න. එය කවදාක හෝ නැති වෙනවා නියත නම් ඒ නැතිවන මොහොත අද හෝ හෙට හෝ තව කල්පයකින් හෝ වේවා එහි ඇති වෙනස කුමක්ද... වැටහුනිද රනා..”
“එහෙමයි ස්වාමීනි”
“මැය කවරෙකු වුවත් ඔබකේ හිතවතියක බව පෙනේ”
මිල්කා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය. රනාද අමුතු තාලයකට බලා මිල්කා හා හිනා වුණේය.
“ඇය මගේ හොඳම මිතුරිය ස්වාමීනි”
“හොඳම මිතුරිය?”
ඔරේනස් එය ප්‍රතිරාවය කළේය.
“මිතුරිය...!”
ඔහු තවත් වරක් ප්‍රතිරාවය කළේය.
“මිනිසාගේ ආදිතම හිතවතාගේ නම් ඔබ දන්නවාද රනා”
“ස්වාමිනී...?”
“ඇගේ නම මිතුරිය. ඔබ මැවුම් වාදය ගැන අසා තිබෙනවාද?”
“එය අසා තිබෙනවා ස්වාමීනි. මිල්කා අදහන්නේත් මැවුම් වාදයයි”
“ඔබ?”
“මගේ ආගම වෙනත් ආගමක් ස්වාමීනි”
“හොඳයි මිල්කා... ඔබ දන්නා තරමින් මේ ලෝකය හා විශ්වය ආරම්භ වූයේ කෙසේද? කොටින්ම ඔබ දන්නා තරමින් මෙලොව පළමු මිනිසාත් ගැහැනියත් බිහිවූයේ කෙසේද?”
මිල්කාගේ මුහුණ පිපී එනු පෙනිණි.
“ස්වාමීනි පළමු මනුෂ්‍ය පුත්‍රයාද මනුෂ්‍ය දියණියද දෙවියන් වහන්සේ විසින් මැවූ සේක”
“ඒ කෙසේද මිල්කා”
“ස්වාමීනි දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක් සාදා මනුෂ්‍යයා වෙතට ඇයව පැමිණවූවා. එවිට මනුෂ්‍යා කතා කොට මැය මාගේ ඇට වලින්ද මස්වලින්ද තනන ලද්දේ බැවින් ඇය මනුෂ්‍ය දුව යැයි නම් තබමියි කීවා. පුරුෂයා තමාගේ පියාටත් මවටත් වඩා බිරියට ඇලුම් කරන්නේ ඒ නිසයි. ඒ ඔවුන් එකම මාංශයක් බැවිනුයි.”
“කදිම ඉගැන්වීමක් මිල්කා... ලොව සෑම ආගමකම දර්ශනයකම එවැනි කදිම සිත්ගන්නා සුළු ඉගැන්වීම් තිබෙනවා”
“ස්වාමිනී ඔබගේ ආගම කුමක්ද?”
මිල්කා ප්‍රශ්න කළාය.
“මගේ ආගමද, දර්ශනයද, ජීවිතයද, ප්‍රාණයද ඉගැන්වීමද ආදී වූ මාගේ සියල්ලම මේ ස්වභාව ධර්මය වන්නේය. මෙහි පවතින සියල්ල මාගේය. මම මේ සියල්ලම වෙමි”
“ස්වාමීනි ඔබගේ ඉගැන්වීම්වලට අනුව ආදරය ගැන අපට කියන්න. ස්නේහය ගැන ප්‍රේමය ගැන කියන්න”
රනා යුහුසුළුව කීවේය. මිල්කා රනා දෙස බැලුවේ ඔවුන් දෙදෙනා පමණක් දන්නා හැඟීමක් හුවමාරු කර ගනිමිනි. ඔරේනස් මුව විවරකරන්නට සැරසුණා පමණි. රහසින් කාටත් නෑසෙන සේ ඔහුගේ ආධ්‍යාත්මය සමඟ ගුරුතුමාණන් වහන්සේ දොඩමළු වූයේය.
“ඔරේනස්”
“ස්වාමීනි”
“ඔබ කරන්නට යන්නේ කුමක්ද?”
“ස්වාමීනි ඔවුන් ආදරය ගැන මාගෙන් විමසා සිටිනවා”
“ඔරේනස් ඔබ විසින් සිදු කරන මාගේ ඉගැන්වීම්වල වටිනාම දේශනය ආදරයයි. මා සිතන්නේ ඔබ මේ දේශන ඔවුන්වෙත මනා අවබෝධයකන් යුතුව කළ යුතු වෙනවා”
“එසේය ස්වාමීනි”
“මන්දයත් ඔබ නොදන්නවා වූවාට රනා සහ මිල්කා පෙම්වතුන්”
“මට එය දැනෙනවා ස්වාමීනි”
“හොඳයි එහෙනම් ඔබට අවසර”
මිල්කා සහ රනා ගල් ගැසී පිළිතුරු අපේක්ෂාවෙන් බලා සිටියි. ඔරේනස් ආරම්භක වචනය ගැන හිතමින් මොහොතක් පමා වූයේය.
(ලබන සතියට)
♦ සමන් එදිරිමුණි