මේ වසරේ සිය පනස්වන සංවත්සරය සමරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ඇත්තේ මෙයට අවුරුදු 93ක් ඈතට දිවෙන සාඩම්බර එමෙන්ම වාර්තාගත ඉතිහාසයකි. 1924 දී බිහිවූ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්විදුලි සේවය එතැන් සිට දසක ගණනාවක් තුළ මෙරට අධ්‍යාපනය, රසාස්වාදනය, තොරතුරු විකාශනය මෙන්ම සාහිත්‍යය, සංගීතය සහ නාට්‍යය ආදී ක්ෂේත්‍ර පෝෂණයේ නොසිඳෙන උල්පත විය. විශේෂයෙන්ම 1948 දී අප ලැබූ දේශපාලන නිදහසින් පසුව ජාතික ගුවන් විදුලි සේවය විසින් ශ්‍රී ලංකාවේ දේශීයත්වය නගාසිටුවීමටත්, නව සංස්කෘතික පුනරැදයක් බිහිකිරීමටත්, භාෂාව, සාහිත්‍යය, සංගීතය සහ අනෙකුත් ලලිත කලා නගා සිටුවීමටත් අනුපමේය මෙහෙවරක් ඉටුකරන ලදී.
1950 දශකය මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ තීරණාත්මක යුගය බව විචාරකයන්ගේ මතයයි. එම දශකයේදී දේශීය අභිලාෂයන්ට වඩා යෝග්‍ය වන පරිදි වැඩසටහන් සකස් වූ අතර පසු කාලයේ නිත්‍ය අංග බවට පත්වූ වැඩසටහන් ආකෘතීන් බොහොමයක්ම ආරම්භයද සිදුවිය. වන්නම්, සිව්පද, කවි, විරිඳු වැනි ජනගායනා කේන්ද්‍ර කරගෙන සිංහල සංගීත කලාව බිහිවූයේ 1950 දශකයේදීය. මේ අවධියේ බිහිවූ ජනගායනා පාදක කරගත් මධුවන්තී, ගීත නාටක සහ වාද්‍ය සංගීතය නව සිංහල සංගීත රටාවක ශක්තිමත් අඩිතාලම විය. මේ අවධියේදී ස්වදේශීය සේවය අසන්නන්ගේ රසඥතාවය නගාසිටුවීමට කැපවී ක්‍රියාකළ අතර හුදෙක් වාණිජ අරමුණු පමණක් හඹාගිය වෙළෙඳ සේවය එයට ප්‍රතිවිරුද්ධ දිසාවකට ගමන් කළේය.
ජාතික ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන 1950 සහ 1960 දශකවලදී නිර්මාණාත්මක වැඩසටහන් එළිදැක්වීමේදීද, ජාතික සංවර්ධනයට අතහිතදීමේ ක්‍රියාවලියේදීද, දේශාභිමානය යළි ස්ථාපිත කිරීමේදීද, රටට බරක් නොවන අන්දමේ ගුවන් විදුලිය කළමනාකරණයේදීද, විශිෂ්ටත්වයට පත්වූ අතර එවකට රජයේත්, ජනතාවගේත් නොමඳ ප්‍රසාදයට ලක්විය.
පුරා අවුරුදු 43ක් රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් පාලනය වූ ජාතික ගුවන් විදුලිය 1967 දී රජයේ පාලන, ආයතන, මුදල් ආදී රෙගුලාසි නම්වූ යදම්වලින් මිදී, එවකට කාගේත් පැසසුමට ලක්ව තිබුණු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව වැනි ස්වාධීන එමෙන්ම මධ්‍යස්ථ ආයතන අනුකරණය කරමින් පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා නාමික නිදහසක්ද, ස්වාධීනත්වයක්ද ලබා ගත්තේය. ගුවන් විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පත්වීම මගේ වෘත්තීය ජීවිතයේද එක්තරා සන්ධිස්ථානයක් මෙන්ම හැරවුම් ලක්ෂයක් විය. ඒ වනවිට ස්වදේශීය සේවයේ අධ්‍යක්ෂ වශයෙන් මම අවුරුදු පහක් සම්පූර්ණ කර සිටියෙමි. සංස්ථාවක් වශයෙන් ලැබූ නිදහස වල්බූරු නිදහසක් විය හැකිදෝයි මම සැක කළෙමි. ගුවන් විදුලි සංස්ථාවේ තවදුරටත් රැඳී සිටීම ප්‍රතික්ෂේප කළ මම 1967 පෙබරවාරි මාසයේදී අම්පාර දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපති වශයෙන් රාජකාරි භාරගත්තෙමි. මගේ රාජකාරි ජීවිතයේ අවසාන අවුරැදු දහය අග්‍රාමාත්‍ය ලේකම් සහ ජනාධිපති ලේකම් වශයෙන් සේවය කිරීමට ලැබුණේ එදා මා ගත් තීරණය නිවැරදි වූ නිසාය. කෙසේ වුවද, සංස්ථාවක් බවට පරිවර්තනය වීමෙන් ලබාගත් විශේෂ ජයග්‍රහණයක්, ප්‍රතිසංවිධානයක්, ප්‍රගතියක් හෝ ප්‍රතිලාභයක් පෙනෙන්නට නොමැත. අවසානයේ නටපු නැටුමකුත් නැති බවත්, බෙරේ පලුවකුත් නැති බවත් පෙනෙන්නට තිබේ.
1924 සිට පුරා අවුරුදු 58ක් තිස්සේ ජාතික ගුවන්විදුලි සේවය විසින් භුක්තිවිඳිනු ලැබූ විද්‍යුත් මාධ්‍ය ඒකාධිකාරය බිඳවැටීම ආරම්භ වූයේ 1982 වර්ෂයේදීය. ඒ ඉතා බලසම්පන්න එමෙන්ම නරඹන්නන් ඇද බැඳ තබාගැනීමේ හැකියාවන්ගෙන් යුක්ත ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් වන රූපවාහිනී විකාශනය දීපව්‍යාප්තව දියත් කිරීමත් සමගය. කෙසේ වුවද ආරම්භයේදී ගුවන් විදුලියට සවන් දෙන්නන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවූ නමුත් රූපවාහිනී මාධ්‍යයේ අලුත් බව ක්‍රමයෙන් ගෙවීයත්ම රූපවාහිනී අසන්නන්ගෙන් සෑහෙන කොටසක් නැවතත් ගුවන් විදුලියට එක්විය. ඉන් අනතුරුව 1990 දශකයේදී ජාතික ගුවන් විදුලි සේවයට මාරාන්තික පහරක් වැදුණි. ඒ පෞද්ගලික අංශයටද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීරණවීමට අවස්ථාව ලැබීම හේතුවෙනි.
මෙහි සාධනීය මෙන්ම අහිතකර ප්‍රතිඵල අද අපට දක්නට ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය ආවරණය පසුගිය දශක තුන ඇතුළත විප්ලවීය වෙනසකට භාජනය වී ඇත. ශ්‍රී ලංකා අලෙවි කාර්යාංශයේ පර්යේෂණ ප්‍රතිඵල අනුව වර්තමානයේ පිළිවෙළින් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 89% රූපවාහිනී සේවාවන් නරඹන අතර මුද්‍රිත මාධ්‍යයට හුරුවූවන් මුළු ජනගහනයෙන් 56%ක්ද, අන්තර්ජාලයට ප්‍රවේශවන්නන් 33%ක්ද යනුවෙන් ගණන් බලා ඇත. ගුවන් විදුලි සේවාවන්ට සවන්දෙන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 54%කි.
ගතවූ දශක තුනකටත් අඩු කාලය තුළදී ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කිසිම ඉවක් බවක් හෝ තේරුමක් බේරුමක් නොමැතිව පණුවන් සේ පැටව් ගසා ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවා 16ක්ද, ගුවන් විදුලි සේවා 55ක්ද කිසිම නියාමනයකින් හෝ ප්‍රමිතියකින් තොරව එකිනෙකා පරයමින් හොඳින් හෝ නරකින් තම මඩිය තරකර ගැනීමේ අභිලාෂයෙන් තරග බිමට අවතීරණව සිටී. තවද, මෙයට අමතරව භාෂාත්‍රයෙන් පළවන පුවත්පත් 97ක්ද, සමාජ වෙබ් අඩවි රාශියක්ද ජනමාධ්‍ය ක්ෂේත්‍රය පෝෂණය කරයි. අදහාගත නොහැකි අන්දමින් ගුවන් විදුලි සේවා පැටව් ගැසීම හේතුවෙන් ඇතිවූ තරගකාරීත්වය නිසා අසන්නන්ට යම් විවිධත්වයක් තිබෙන බව සත්‍යයකි. කෙසේ වුවද, එම තරගකාරීත්වය නිසාම වැඩසටහන්වල ගුණාත්මකභාවයද, පිළිගත් ගුවන් විදුලි ආචාර ධර්ම පිළිපැදීමද, ශීලාචාර සමාජ සාරධර්ම ප්‍රගුණ කිරීමද, එමෙන්ම සිංහල භාෂා සාහිත්‍යයේ පිවිතුරැ බවත්, අනන්‍යතාවයත් ආරක්ෂාවන අන්දමින් ප්‍රමිති පාලනය කිරීම ගැනද එතරම් උනන්දුවක් හෝ සැලකිල්ලක් දක්වා නොමැත. මෙරට වර්තමාන ගුවන් විදුලි සේවාවන්ගෙන් බොහොමයක් පැහැදිලි අරමුණක් නොමැතිව, සමාජ වගකීම් පැහැර හරිමින්, හුදෙක් වාණිජ අරමුණු පමණක් මුදුන්පත්කර ගැනීමට ක්‍රියාකරන බව පෙනේ. මෙම තත්ත්වය උත්සන්න වීමට හේතුව එකී විකාශන ආයතනවලට නිසි මඟ පෙන්වීමක් හෝ ආචාරධර්ම පද්ධතියක් හඳුනාව නොදීම සහ ප්‍රමිති නියාමනයක් නොමැතිවීමයි.
වර්තමානයේ ගුවන් විදුලියට සවන්දෙන මුළු ජනගහනයෙන් 54%ක් වූ අසන්නන් සංඛ්‍යාව දැනට ක්‍රියාත්මක ගුවන් විදුලි නාලිකා 55 අතර සමසේ බෙදා හැරියහොත් එක් නාලිකාවකට හිමිවන්නේ එම සංඛ්‍යාවෙන් සියයට එකකටත් අඩු අසන්නන් ගණනකි. නමුත් මෙහිදී සිදුවී ඇත්තේ චාරිත්‍ර විරහිත, ප්‍රමිති විරහිත, මරාගෙන මැරෙන තරහකාරීත්වය මධ්‍යයේ පෞද්ගලික නාලිකා කීපයක් අසන්නන්ගෙන් විශාල කොටසක් තම ග්‍රහණයට ගෙන තිබීමයි. සමහරැන් යෝජනා කරන පරිදි අසන්නන් අඩුවීම හෝ පාඩුලැබීම නිසා ජාතික ගුවන් විදුලි සේවය වසා දැමීම හෝ පෞද්ගලීකරණය කිරීම කිසිසේත් නොකළ යුතුය. ජාතික ගුවන් විදුලි සේවය ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙර ගමන්කරැවකු, ප්‍රමිති සම්පාදකයකු, ස්වයං පාලකයකු මෙන්ම පූර්වාදර්ශකයකු ලෙස තවදුරටත් ක්‍රියාකිරීම ජාතික අවශ්‍යතාවයකි. සැම සියලු ගුවන් විදුලි ආයතනයකම අරමුණ විය යුත්තේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් අසන්නන් වෙත කිසියම් අරැතක්, හැඟුමක් හෝ තොරතුරක් ඉදිරිපත් කිරීමය. ගුවන් විදුලියට මූලික වන්නේ හඬයි. එම හඬ සැමවිටම ශ්‍රව්‍යගෝචර විය යුතුය. මොහොතකින් ඇසී නෑසී යන ගුවන් විදුලි ප්‍රකාශනය වහාම වටහාගැනීමට හැකි විය යුතුය. ගුවන් විදුලි භාෂා ශෛලිය සරල, සවන පිනවන සුළු පෙළගැස්මකින් යුක්ත විය යුත්තේය. සමහර පෞද්ගලික නාලිකා විසින් සංකර, තුප්පහි, සිංහල - ඉංග්‍රීසි මිශ්‍ර &සින්ග්ලිෂ්* නමින් හඳුන්වන නව භාෂා විලාසිතාවක් තොරතෝංචියක් නැතිව භාවිතා කරනු ලබයි. තවද, පහත් රසය වගා නොකොට අසන්නන්ගේ රසඥතාවය ඉහළ මට්ටමකට ඔසවා තැබීම සෑම ගුවන් විදුලි සේවයකම වගකීම විය යුතුය.
මහජන ගුවන් විදුලිය සහ වාණිජ ගුවන් විදුලිය අතර දෝලනය වෙමින්, නොයෙකුත් ගැටීම්, වාණිජ දුෂ්කරතා සහ කුහක තරගකාරීත්වය මැද ජාතික ගුවන් විදුලි සේවය ඉතා දුෂ්කර ගමනක නියැලී සිටී. ගුවන් විදුලි සේවයක පරම යුතුකම වන්නේ අසන්නන්ට ප්‍රයෝජනවත් වන, ඔවුන්ගේ දැනුම සහ බුද්ධිය වර්ධනය කරවන, එමෙන්ම ඔවුන් සැමවිටම යහමගට යොමුකරවන වැඩසටහන් හොඳින් සැලසුම්කර, තෝරාබේරාගෙන ඉදිරිපත් කිරීමයි. තවද, සෑම වැඩසටහනකම භාෂා විලාසය, හරය සහ ආචාරශීලීබව පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මාධ්‍ය සදාචාරය පරදුවට තබා, කිසිම ප්‍රමිතියක් නොමැතිව, පිළිගත් සම්ප්‍රදායන්ට සහ ආචාරධර්මවලට පටහැනිව හිතුමනාපයේ ක්‍රියාත්මක කරවන වර්තමාන විද්‍යුත් මාධ්‍ය සංස්කෘතිය පාලනය කිරීමට, විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය යහමගට ගෙන ඒමට, මාධ්‍ය නියාමන ආයතනයක අවශ්‍යතාවය දැන් දැන් දැඩිව දැනේ.
ජාතික ගුවන් විදුලි සේවය විසින් ඉටුකළ යුතු, එමෙන්ම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවලින් ඉටුවේ යැයි බලාපොරොත්තු විය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් කීපයක් ඇත. ශ්‍රී ලංකාවේ සෛවරීත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය කිසිලෙසකින් පාවාදිය නොහැකිය. ඒවා දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට ජනතාව පෙළගැස්විය යුතුය. ශ්‍රී ලංකාව බහුජාතික, බහු ආගමික, බහු භාෂාමය රටක් නිසා ඒ ඒ ජන කොටස් අතර සමගිය, සමාදානය සහ සංහිඳියාව තහවුරැ වන ලෙසද, ඒ සෑම ජන කොට්ඨාසයකම සමාජ සහ සංස්කෘතික අභිලාෂයන් සහ අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා අත්වැලක් ලෙසද, ක්‍රියාකිරීම ජාතික ගුවන් විදුලි සේවයේ යුතුකමකි. වගකීමකි. එමෙන්ම අප සෑම සියලු දෙනාම ඇප කැපවී ගොඩනගාගත් ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රම, ආයතන සහ ජන ජීවිතය තව තවත් ශක්තිමත් කර ඒවා අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරයද පැවරී ඇත්තේ ජාතික ගුවන් විදුලි සේවයටය. තවද, සීඝ්‍ර එමෙන්ම සමබර ආර්ථික සංවර්ධනයේත් පරිසර හිතකාමී තිරසර සංවර්ධනයේත් පෙරමුණේ රාළගේ භූමිකාවද, ශ්‍රී ලංකාවේ ඉතා සීමිත පාරිසරික සම්පත් වන වනාන්තර, ජලය, පස, වාතය, වනජීවීන්, ස්වභාවික සෞන්දර්යය සහ ජෛව විවිධත්වය අනාගත පරපුර සඳහා සුරක්ෂිතව දායාද කිරීමේ භූමිකාවද, ශීලාචාර, උගත්, ප්‍රතිභාපූර්ණ, නිර්මාණශීලී නව පරපුරක් බිහිකිරීමේ කාර්යභාරයද ජාතික ගුවන් විදුලි සේවයට පැවරෙන නානා විධ වගකීම් අතර ප්‍රධාන තැනක් ගනී.