ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් - ධාන්‍යය වපුරන්න
ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් - ගස් සිටුවන්න
ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයට නම් - ජනතාවට අධ්‍යාපනය ලබාදෙන්න
මෙයද අධ්‍යාපනය යන්න පිළිබඳ කියැවෙන විවිධාකාරයේ නිර්වචන තුළින් තවත් එක් නිර්වචනයකි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විද්‍යා, ගණිත, ඉංග්‍රීසි යන විෂයන්වල ගුරු සේවයේ පුරප්පාඩු පිරවීමට එම විෂයන්වලට අදාළ විශ්‍රාමික ගුරුවරුන් නැවත සේවයේ පිහිටුවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පවසයි. මේ ආකාරයට විශ්‍රාමික ගුරුවරුන් 3482ක් කොන්ත්‍රාත් පදනම යටතේ වතු පාසල් සහ ජාතික පාසල්වලට බඳවා ගැනීමටද මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබේ. ගුරු උපදේශක සේවය සඳහාද වෙනම සේවාවක් ස්ථාපනය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවද මේ වනවිට කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශය ගත් මෙම තීරණයත් සමඟ වතුකරයේ දරුවන්ට මේ වනවිට තම අධ්‍යාපනයේ පුනරුදයක් ඇතිවී තිබේ.
මෙරට ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිසුන් 28000කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර එම විශ්වවිද්‍යාල සිසුන් අතර වතුකරයේ දෙමළ සිසුන් සිටින්නේ 120ත් 150ත් අතර ඉතා සුළු ප්‍රමාණයක් බව සඳහන් වේ. එය මෙරට ජනගහනයේ 7%ක් වන වතුකර දෙමළ ජාතික අනුපාතයට කිසිසේත්ම නොසෑහෙන බවත් වැවිලි සමාජයීය ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය කාලය පුරාවටම පැවසීය. නමුත් මේ වනවිට මෙරට අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ වතුකරයේ වෙසෙන ළමුන්ගේ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රවණතාවය නිසැකවම ඉහළ යනු ඇත.
මෙලෙස වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳව විශ්‍රාමික ගුරු මහතකුගෙන් අප විමසීමක් කළෙමු.
ඩබ්ලිව්.සී. පෙරේරා - හැටන් අධ්‍යාපන කලාපයේ හිටපු විශ්‍රාමික ගුරු
වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට රජය ගත්ත මෙම ක්‍රියාමාර්ගය ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් විදියට තමයි මම දකින්නේ. මමත් දැන් විශ්‍රාම ගිහින් අවුරුදු 05ක් වෙනවා. මම අදටත් කැමතියි දරුවන්ට උගන්වන්න තියනවනම්. මොකද දරුවෙක් යහමඟට ගන්න පුළුවන් හොඳම පුද්ගලයා තමයි ගුරුවරයා කියන්නේ. ඕනෑම ගුරුවරයෙක් විශ්‍රාම ගත්ත කියන්නේ එයා නිදහසේ ඉන්න තමයි බලන්නේ. නමුත් අපිට තවමත් හැකියාවක් තියනවා මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න, ගුරුවරයෙක් විශ්‍රාම ගියත් ඒ ගුරුවරයාගේ දැනුම විශ්‍රාම යන්නෙ නැහැ. මේ සඳහා මටත් යන්න අවස්ථාවක් ලැබුණොත් මම යන්නේ ඉතාම කැමැත්තෙන්. මොකද අපි තාමත් ඒ අතීතයට කැමතියි. ඒ වගේම දරුවකුගේ මේ නුවණැස පහදන්න තියනවනම් ඒක මොනතරම් දෙයක්ද?
වතුකරයේ පාසල්වල පවතින ගුර පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීම පිළිබ්‍ඳව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ කියයි.
උතුරු නැගෙනහිර ඇතුළු විවිධ ප්‍රදේශවල දෙමළ මාධ්‍ය උපාධිධාරීන් තමන්ට රුකියා ලබාදෙන ලෙස අඛණ්ඩව අරගලවල යෙදී සිටියදී වතු පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීම අපි දැඩි ලෙස හෙලා දකිනවා. වතු පාසල්වල අධ්‍යාපනය මේ වනවිට දැඩි පරිහානියකට පත්වෙලා තියනවා. එහි පවතින ගුරැ හිඟයට පිළියමක් ලෙස රජය මෙවැනි තීරණ ගැනීමට පෙර කළ යුත්තේ නව ගුරු පත්වීම් ලබාදීමයි. ඒ වගේම තමයි වතුකරයේ මෙන්ම උතුරු - නැගෙනහිර ප්‍රදේශවලද දෙමළ මාධ්‍ය උපාධිධාරීන් රුකියා විරහිතව තමයි ඉන්නේ. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කළ හැකිවුවද ඔවුන් එසේ කර නැහැ.
එමෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට දෙමළ මාධ්‍ය ගුරුවරු බඳවා ගැනීමේ ප්‍රමාණය වැඩිකිරීමෙන්ද වතුකරයේ ගුරු හිඟයට පිළියම් යෙදිය හැකිව තිබියදී විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීම ඵලදායී නොවන බවද සංගමය කියයි.
දේශපාලනයේ වාසි තකා වතුකරයේ පාසල්වල ගුරැ හිඟයට පැලැස්තර විසඳුම් ලබාදීම වෙනුවට විධිමත් ආකාරයෙන් දෙමළ මාධ්‍ය ගුරුවරු බඳවාගෙන වතුකරයේ පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසද ලංකා ගුරු සංගමය මෙහිදී අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
දේශීය පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය තුළ ගුරැවරැන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා සුවිශේෂී වූවක් බැවින් ඉගැන්වීම් ක්‍රියාවලිය සවිබල ගැන්වීමට නම් රටේ සියලු පාසල්වල පුහුණු මානව සම්පත් යෙදවීම අත්‍යවශ්‍ය කරැණකි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුරැ සේවයේ සාධනීය වෙනස්කම් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා මේ වනවිට උපදෙස් ලබා දී ඇත.
මෙරට පාසල් තුළ පවත්නා ගුරැ හිඟය 2017 වසර වනවිට සම්පූර්ණයෙන්ම පියවීමේ අරමුණින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් වසරක් පාසා නිකුත් වන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරැවරැන් ලෙස බඳවා ගැනීමට අමතරව ඉදිරියේදී උපාධිධාරීන් 1093ක් ලෙස බඳවා ගැනීමේ ගැසට් නිවේදනය මේ වනවිටත් නිකුත් කර අවසන්ය. එමෙන්ම විශ්‍රාමික ගුරැවරැන් 3482ක් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්ද අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිට යොමුකර ඇත්තේ ඒවාට අමතරවය.
හසිත් අංජන