කොළඹ නගර සභා ප්‍රදේශය තුළ කන්දක් තිබේ නම් ඒ බ්ලූමැන්ඩල්ය. එය ස්වභාවික කන්දක් නම් නොව කෘත්‍රීම නිර්මාණය වුණු කන්දකි. එම කන්දට වසර 25කට වඩා වැඩි වයසකුත් නැත. කන්ද සාමාන්‍ය කන්දක්ද නොවේ. එය කසළ කන්දකි.
එම කන්ද මත දැන් උද්‍යානයක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරමින් සිටි. නමුත් විශේෂත්වය වන්නේ බ්ලූමැන්ඩල් කසළ කන්ද මත උද්‍යානයක් නිර්මාණය කිරීමය. එය පුදුමවීමට කරුණක් නම් නොවේ. ඊශ්‍රායලය, කොරියාව, ජපානය, අමෙරිකාව වැනි රටවල්ද කසළ කඳුමත එවැනි උද්‍යාන නිර්මාණය කර තිබේ. එබැවින් කසළ කන්දකට යටවූ වාණිජමය වශයෙන් වටින අක්කර ගණනාවක බ්ලූමැන්ඩල් ඉඩම ඵලදායක ලෙස නාගරික සංවර්ධනය හා අලංකාරයට දායක කරගැනීම වැදගත්ය.
මීට වසර 20කට පෙර විවෘත වගුරු බිමක්ව පැවැති උතුරු කොළඹ අක්කර 20ක පමණ බ්ලූමැන්ඩැල් ජනාවාසයකින් තොර හිස් බිමක්ව තිබුණි. එම ස්ථානයේ කොළඹ නගරයේ අපද්‍රව්‍ය රැඳවීම ආරම්භ වූයේ 1995 වසරේ සිටය. නමුත් ගිවිසුමකට යටත්ව අපද්‍රව්‍ය පිරවීම ආරම්භ වූයේ 2001 වසරේ සිටය. කෙළඹ නගර සභාව පෞද්ගලික සමාගමක් සමඟ 2001 වසරේ ඇතිකරගත් ගිවිසුමකට අනුව වසර 25ක් දක්වා මෙම ඉඩමේ අපද්‍රව්‍ය පිරවීමට නගර සභාවට අයිතියක් ලැබුණි. මෙම ස්ථානයට දිනකට අපද්‍රව්‍ය ටොන් 650 - 700 ක ප්‍රමාණයක් එකතු වන්නට විය. මෙම අපද්‍රව්‍ය ටොන් එකක් සඳහා නගර සභාව විසින් පෞද්ගලික ආයතනයට රුපියල් 420ක මුදලක් ගෙවිය යුතු විය. ගොඩගැසෙන ඝන අපද්‍රව්‍ය බැකෝ යන්ත්‍රමගින් මුදුනට තල්ලු කරමින් වසර කිහිපයකින් මහා කන්දක් නිර්මාණය කෙරුණි. 2014දී එම කුණු කන්ද ගිනිගන්නා තුරුම එම ස්ථානයට කුණු පිරවීම සිදු විය.
බ්ලුමැන්ඩල් කුණු කන්ද සහ ඒ අවට ප්‍රදේශය තුළ ප්‍රධාන වශයෙන් වගුරු බිමක් හඳුනාගත හැකිය. බ්ලුමැන්ඩල් කුණු කන්දට අක්කර 20ක් පමණ ප්‍රදේශයක් අයත් වන අතර ඉන් හෙක්ටයාර 1.5 ක් පමණ මෙම වගුරු බිමට අයත් වේ. මෙම වගුරු බිම් තත්ත්වය සහ විවෘත බව, බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රැඳවීම මෙම ස්ථානයෙහි ආරම්භ වීමට හේතු වී ඇත. උතුරින් රේල් පාරද, දකුණින් වරාය පිවිසුම් මාර්ගයද, නැගෙනහිරින් මහවත්ත පාරද බටහිරින් බ්ලුමැන්ඩල් පාරද මඟින් මෙම බ්ලුමැන්ඩල් කුණු කන්ද වටවී ඇත. බ්ලුමැන්ඩල් කුණු කන්දේ සිට උතුරු දෙසට ගත්විට මහවත්ත රේල් පාර දෙපස අඩු පහසුකම් නිවාස දැකිය හැකිය.
අඩුපහසුකම් සහිත මට්ටක්කුලිය, මෝදර, කොටහේන, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් වැනි අධික ජනාකීර්ණ නගර කසළ කන්ද අවට පිහිටයි. එම නගර මධ්‍යයේ එකදු හරිත ප්‍රදේශයක් නැත. නාගරික සංවර්ධනයේ හරිත ප්‍රදේශ තිබීම වැදගත්ය. එබැවින් එම ප්‍රදේශයන් මධ්‍යයේ නාගරික උද්‍යානයක්, හරිත ප්‍රදේශයක් හා පොදු විවේක ස්ථානයක් නිර්මාණය කිරීම සුදුසුය. දියත උයන, විහාරමහාදේවි උද්‍යානය, අපේගම වැනි පරිසරයක් මානව සංවර්ධනයට අවශ්‍ය කරුණකි. එම අවශ්‍යතාවයට විසඳුමක් ලෙස පරණ කුණුකන්ද නාගරික උද්‍යානයක් බවට පත්කළ හැකි නම් නියම කසළ කළමණාකරණිය වන්නේත් එයයි.
නාගරික සංවර්ධන අධිකාරිය මින් පෙරද කසළ කළමනාකරන ව්‍යාපෘති කිහිපයක් කර ඇත. එහි තවත් කොටසක් ලෙස බ්ලූමැන්ඩල් නගර උද්‍යාන ව්‍යාපෘතියට දෙස් විදෙස් ආයතනවලින් යෝජනාපත් කැඳවා තිබේ. මේ වන විට ලැබී තිබෙන යෝජනා මොරටුව විශ්වවිද්‍යාලයේ, මධ්‍යම පරිසර අධිකාරයේ සහ තවත් ආයතන කිහිපයක නියෝජිතයෝ සමඟ අධ්‍යනය කරමින් සිටිති. ඉන් හොඳම හා පරිසර හිතකාමි යෝජනාව තෝරා සැලසුම් නිර්මාණය කිරීම බාර දීමට නියමිතය. අනතුරැව නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ වියදමින් නාගරික උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ වේ. එහිදී ආයෝජකයන්ට අවස්ථාව සැලසීමටත් අධිකාරියේ අවධානය යොමුව තිබේ.නාගරික උද්‍යානයක් නිර්මාණය කිරීමට දැනුමක් තිබෙන පිරිස් ලංකාවේ සිටියත් ඔවුනට පූර්ව අත්දැකීම් නොමැත. එබැවින් මෙම ව්‍යාපෘතිය කොරියාව හෝ ජපානය වැනි දියුණු තාක්ෂණයක් ඇති කසළ මත නාගරික උද්‍යාන පිළිබඳ අත්දැකීම් සහිත, දේශපාලනිකව හානිකර නොවන රටකට බාරදීම සුදුසුය. මන්දයත් උද්‍යානය නිර්මාණයේදී අතිවිශාල ඉංජිනේරුමය හා තාක්ෂණික කර්තව්‍යයක් ද තිබේ. මීතේන් වැනි වායු ඉවත් කිරීම, කසළ තුළින් පිටවිය හැකි ගඳ නැති කිරීම, විෂබීජ විනාශකිරීම, කසළ (compact) කොම්පැක් කිරීම, (flat) ෆ්ලැට් කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුය. උද්‍යානය ඉදිවන්නේ එම කසළ මතය. කසළ ඉවත් කිරීමක් සිදු නොවේ. ඉංජිනේරැමය සහ තාක්ෂණික කාර්යන්වල යම් දෝෂයක් සිදුවුවහොත් අවසානයේදී නොරොච්චෝලේ බලාගාරය හෝ උමාඔය ව්‍යාපෘතියේ තත්ත්වයට බ්ලූමැන්ඩල් නාගරික උද්‍යානයත් තල්ලුවිය හැකිය. එබැවින් තිරසර සංවර්ධනය අරමුණු කරමින් ක්‍රමවත් ශක්‍යතා අධ්‍යනයක් හා පාරිසරික අධ්‍යනයකින් පසු වඩාත් සුදුසු ආයතනයකට ව්‍යපෘතිය භාරදිය යුතුය.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයට මුහුණලා වරාය පිවිසුම් දොරටුවක්ද පිහිටා තිබේ. බැවින් අක්කර 20ක පමණ බ්ලූමැන්ඩල් ඉඩමින් කොටසක් වරායේ කාර්යයන්වලට වෙන්කර දීමටත් නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කරයි. දිනෙන් දින වැඩිවෙමින් තිබෙන කොළඹ වරායේ තදබදය අවම කර වරායේ කාර්යයන් පහසු කිරීමට එය පිටිවහලක් වනු ඇත. වරායට යටිතල පහසුකම් සපයන ප්‍රදේශයක් බවට බ්ලූමැන්ඩල් පත්කරන බව නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පොරොන්දු විය. එමෙන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් බ්ලූමැන්ඩල් අවට සිටි පැල්පත්වාසී ජනතාව ජයමග නිවාස ව්‍යාපෘතියෙන් නව නිවාස ලබා දීම සිරිමුතු උයන ප්‍රජා ශාලා නිර්මාණය ආදිය පැසසිය යුතුය. කොළඹ නගරය තුළ නොදියුණු හා ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබුණු බ්ලූමැන්ඩල් කසළ කන්ද ප්‍රදේශය මෙලෙස සංවර්ධනය කිරීම වාණිජමය වශයෙන්, පාරිසරික වශයෙන් හා සෞඛ්‍යමය වශයෙන් රටට වාසිදායකය.
සකීෆ් සාම් තන්වීරි