ශ්‍රී ලංකා ආණ්ඩුව මේ දක්වා දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති සුවිශාල ණය ප්‍රමාණය පිළිබඳ වර්තමානයේ දැඩි ලෙස කතාබහ කෙරෙමින් පවතී. මෙතෙක් බලයට පත් වූ නොයෙක් ආණ්ඩු අත්තනෝමතික ලෙස ලබාගෙන ඇති ණයවල වාරික හා පොලිය ගෙවීමට පවා වසරක රාජ්‍ය ආදායම නොසරිලන තත්ත්වයට පත්වීම නිසා ණය ගෙවීම සඳහා තවත් ණය ලබාගැනීමට මේ වනවිට සිදුව තිබේ. වර්තමාන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයකු වීමට පෙර ආර්ථික විශ්ලේෂකයකු ලෙස දේශන පැවැත්වූ සමයේ ඔහු පැවැසුවේ ශ්‍රී ලංකාව ණය උගුලක සිරවී ඇති බවය. එදා ඔහු පැවසූ ණය උගුල මේ වනවිට ඉතාම පුළුල්ව මුළු රටම වසා පවතින තත්ත්වයට පත්ව තිබෙන බවක් දක්නට ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ 2015 දෙසැම්බර් 31 දා වනවිට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8503.2ක් බවය. මෙයින් දේශීය ණය බිලියන 4959.2ක් හා විදේශීය ණය බිලියන 3544 බවද ඔහු අනාවරණය කළේය. 2015 වසරේදී ණය වාරික හා පොලි ගෙවීමට රුපියල් බිලියන 1318ක් වැයකර ඇති අතර 2016දී ඒ සඳහා රුපියල් බිලියන 1211ක් වියදම් ඇතැයිද ඔහු පවසා තිබේ. 2005 වසරේ මුළු ණය ප්‍රමාණය බිලියන 2222ක් හා 2009 වසරේදී බිලියන 4161ක් බව අනාවරණය කර ඇති අගමැතිවරයා 2014 අවසන් වන විට ණය ප්‍රමාණය බිලියන 7361 දක්වා ඉහළ නැග තිබූ බවද පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේදී ඔහු පෙන්වා දුන් සුවිශේෂ කරුණක් වූයේ ණය අර්බුදය ගැන ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 26.86ට වැඩි මුදලක් වැය කර ඇති බවය. පසුගිය ආණ්ඩු ණය පිළිබඳ ජනතාව දැනුවත් කර නොතිබූ බව පැවසූ අගමැතිවරයා මෙම මුදල් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවලට ගෙවා ඇති බවද සැලකර සිටියේය.
කෙසේ වුවද මේ වනවිට දැනගන්නට ලැබී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවත් ණය ලබා නොගන්නා ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇති බවය. එම උපදෙස් නොතකා තවදුරටත් ණය ලබාගතහොත් ආණ්ඩුවේ අයවැය හිඟය 2017දී බලාපොරොත්තුවන ලෙස සියයට 4.7 මට්ටමේ පවත්වා ගෙන යාමට නොහැකි වනු ඇතැයි අරමුදල අනතුරැ හඟවයි. මෙම උපදෙස් නිසා සංවර්ධන කටයුතු වලට විදේශ ණය ගැනීම ආණ්ඩුව මේ වනවිට අත්හිටුවා තිබෙන බව දැනගන්නට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ආණ්ඩුවේ ආර්ථික කවුන්සලය ණය නොගැනීමට ගත් තීරණය නිසා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන නොලැබී යන තත්ත්වයක් උද්ගතව ඇති අතර ඒ හේතුවෙන් දඹුල්ල රැවන්පුර වැනි යෝජිත අධිවේගී මාර්ග ව්‍යාපෘති මේ වනවිට නවතා දැමීමට සිදුව තිබේ.
කෙසේ හෝ වැඩි පොලියට වුවද ණය ලබාගැනීම විශාල ජයග්‍රහණයක් ලෙස හුවා දක්වමින් පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරැන් කතා කළ බව අපට මතකය. මේ ආණ්ඩුවද බලයට පත්ව ගෙවී ගිය වසර දෙකකට අධික කාලය තුළ වැඩි වශයෙන් උනන්දුවී ඇත්තේ ආදායම වර්ධනය කිරීමට නොව ණය වර්ධනය කර ගැනීමට බව පෙනේ.
රටේ උද්ගතව ඇති ණය අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය ආචාර්ය වසන්ත අතුකෝරාල මෙසේ කියයි.
ලංකාවේ සමස්ත ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2012 වසර වන තුරැ අඩුවෙලා තියෙනවා. 2006දී 86.6ක් වූ අතර 2012 වනවිට 68.7 දක්වා පහළ බැසලා. එහෙත් 2013 වසර අවසන් වනවිට මෙම ප්‍රතිශතය 70ට ඉහළ නැග 2015දී 76 දක්වාද 2016 අග වනවිට 80 ඉක්මවාද වැඩිවෙලා. 2016දී මුළු ණය ඩොලර් බිලියන 103.9ක්. මේ ණය වලින් වැඩි ප්‍රමාණයක් වන්නේ විදේශ ණයයි. 2017 වන විට සංඛ්‍යාලේඛන නැතත් පසුගිය දිනවල ණය ගත් ස්වරෑපය අනුව තවදුරටත් සියයට 10 පමණ වැඩිව ඇතැයි සිතන්න පුළුවන්. ණය ගැනීමට අමතරව පසුගිය සමයේ මුදල් මුද්‍රණය කිරීමෙන් රුපියල් බිලියන 217ක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව සනාථ වෙලා. මේ අනුව පෙනෙන සත්‍ය නම් රට දැඩි ලෙස මූල්‍ය අර්බුදයක් වෙතට ගොස් ඇති බවයි.
මෙයට හේතු දෙකක් ඇති බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.
01. රජයේ ආදායම් මාර්ග නිසි ලෙස කළමනාකරණය නොකිරීම හා රාජ්‍ය වියදම් ඉහළ යාම.
02. විනිමය අනුපාතිකය විශාල ලෙස පිරිහීම. පසුගිය කෙටි කාලය තුළ 130 සිට 150 ඉක්මවා යන ලෙස පහළ වැටී ඇත.
මේ නිසා ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යමින් පවතී. ඉහත කී හේතු නිසා දිගටම ණය මත යැපීම හැර සෙසු විකල්පයක් නොමැති අතර දවසින් දවස මෙ අර්බුදය උග්‍ර අතට හැරෙමින් පවතින බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.
රුපියල් බිලියන 217ක සල්ලි අච්චුගහලා
ඔහු පවසන්නේ පසුගිය රජය 2014 වසර වනවිට විශාල ණය ප්‍රමාණයක් ගත් බවට චෝදනා කළත් ඒ ගත් ණය සෑහෙන ආයෝජන සංඛ්‍යාවකට යෙදූ බව පිළිගත යුතුය යන්නය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, දක්ෂිණ අධිවේගී මාර්ගය ආදිය එයට උදාහරණ වේ. මෙම ඇතැම් ව්‍යාපෘතිවලින් ක්ෂණික ලෙස ආදායමක් නොලැබුණත් ආදායම් ලබාගත හැකි මාර්ග බවට පත්කිරීමට හැකි බව ඔහු කියයි.
එසේ වුවද වර්තමාන ආණ්ඩුව පසුගිය වසර දෙකක කාලය තුළ සුවිශේෂ ලෙස ලබාගෙන ඇති ණයවලින් කිසිදු ආයෝජනයක් සිදුකර නැති බව ඔහු පෙන්වා දෙයි. ණය ගත්තාදැයි දොස් පවරමින් ඒ අයද ණය ගත්තද ඒවා එදිනෙදා වියදම් පියවා ගැනීමට යොදා ගන්නවා විනා අන් කිසිවකට යොමුකර නොමැතිය යන්න ඔහුගේ අදහස වේ.
රජය මහා භාණ්ඩගාරය හරහා ගන්නා ණයවලට අතිරේක වශයෙන් මුදල් හුවමාරැ ක්‍රමය යටතේ විශාල ලෙස ණය ගෙන තිබෙනවා. ඒවා මහා භාණ්ඩාගාරය හරහා මධ්‍යගත ලෙස නොගන්නා නිසා ගත් ප්‍රමාණය ගැන නිවැරදි සංඛ්‍යා ලේඛන නැහැ. පසුගිය සමයේ මේ ආණඩුවට විදේශ ණය ලබාගැනීම අපහසුවූ නිසා විශාල වශයෙන් දේශීය ණය වලට යොමු වෙන්නට සිදුවුණා. ඒ නිසා දේශීය බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය ගත්තා. මෙයින් සිදුවූ ප්‍රබල හානියක් නම් මෙලෙස ණය ගැනීම නිසා එම ආයතනවලින් පෞද්ගලික අංශයට ණය ගැනීමට තිබූ අවස්ථාව ඇහිරීමෙන් ඒවාට විශාල ගැටලු ඇතිවීමයි. පෞද්ගලික අංශයේ සංවර්ධනය අඩපණවී ඇත. මෙය රටේ ආර්ථිකයට අයහපත් ලෙස බලපානවා. පෞද්ගලික අංශයද රටේ ආර්ථිකයේ කොටස්කරැවන් විය යුතුයි. සියල්ලම රජයට කරන්න බැහැ. මෙම බාධක නිසා දේශීය ආයෝජකයන් ව්‍යාපෘති ආරම්භ කිරීමට මැලිභාවයක් දක්වනවා. ඔවුන්ගේ වෙළෙඳපොළ පිළිබඳ අවිනිශ්චිතයි.
මූල්‍ය පහසුකම්ද නැහැ. විදේශ ආයෝජකයන්ද රට තුළ ආයෝජනයට බිය බවක් දක්වනවා. රටේ දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය එයට හේතු වෙනවා. ව්‍යාපාරවලට බදු ගහයිද? ඉදිරියේදී ගැටලු ඇතිවෙයිද යන අවිනිශ්චිතභාවයත් තිබෙනවා. පසුගිය කෙටි කාලය තුළදී කොටස් වෙළෙඳපොළෙන් ආයෝජකයන් සියයට 70ක් පමණ ඉවත්ව ගියා. මෙය රටට විශාල පාඩුවක්.
රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ඒ ඒ වර්ෂවලට අදාළව අමෙරිකානු ඩොලර්වලින් මෙසේය.
1990 – 3665
2000 – 4370
2006 – 7392
2014 – 10642
2016 – 11100
මේ නිසා අනාගත පරම්පරා ගණනාවකට අද ගන්නා ණයට කර ගසන්නට වෙන බව ඔහු කියයි. ණය ලබාගෙන ආදායම් ලබන ව්‍යාපෘතිවල ආයෝජනය කර එම ආදායමෙන් ණය ගෙවිය යුතු නමුත් මෙතෙක් බොහෝ ආණ්ඩු ගත් ණය ගෙවීමට ඒවා යෙදූ ව්‍යාපෘතිවලට නොහැකි වී ඇති බව ඔහු කියයි. එසේම මෙම ගත් ණයවලින් සෑහෙන ප්‍රමාණයක් වංචා දූෂණ අකාර්යක්ෂමතා නිසා නාස්ති වූ අතර එම බරද ජනතාවට ගෙවීමට සිදුව තිබේ. කිසිදු සැලසුමක් නොමැතිව ණය ගැනීම නිසා ණය ගැනීමේ පරමාර්ථ ඉටුවී නොමැත.
අනික් අතට ජාත්‍යන්තර ණය අරමුදල්වලින් දීර්ඝකාලීනව අවුරුදු 30 - 40 වැනි කාලයකට ගෙවීමට සියයට 0.5 – 1.5 ආදී වශයෙන් අඩු පොලියට ණය ගැනීම වෙනුවට පහසුවෙන් වැඩි පොලියට ණය ගැනීමට යොමුවී තිබේ. අදද එය සිදුවෙමින් පවතී.
මේ ආණ්ඩුව ලබාගත් ණයවලින් කිසි ආයෝජනයක් නැහැ
මෙලෙස කෙටිකාලීනව වැඩි පොලියට ණය ගැනීම මුලින්ම ආරම්භ කර ඇත්තේ 2005 වසරේ ඔක්තෝබර්වල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයෙනි. මුලින්ම අමෙරිකානු ඩොලර් මිලියන 500ක් කෙටිකාලීනව ණයට ගත් අතර එම වරද දිගටම කරමින් ඉන්පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම මෙම නරක පුරැද්දට ඇබ්බැහි වීම ණය අර්බුදය උග්‍රවීමට හේතුවක් වී ඇත. මෙම තත්ත්වය පිපාසයට ලුණු දියකර බීම වැනි ප්‍රතිඵල විරහිත ක්‍රියාවකි. මෙයින් සිදුවන්නේ ගැටලුව තව තවත් උග්‍රවීමකි.
කථිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම ණය අර්බුදයෙන් මිදීමට නම් කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවයි. රටට විදේශ ආයෝජන ගෙන්වීම සඳහා ආයෝජන සැලසුම් සකස් කළ යුතු වේ. රට තුළට එන විදේශ ආයෝජකයන් විවිධ දේශපාලනඥයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට එකඟ නොවන්නේ නම් ආපසු හරවා යැවීම දැන් සිදුකෙරේ. ඔවුන් බලන්නේ රටට ලැබෙන වාසියට වඩා තමන්ට ලැබෙන වාසියයි. අවශ්‍ය පහසුකම් නොලැබෙන විට ඔවුන් ආයෝජනයට සුදුසු වෙනත් රටවල් සොයා යාමේ ප්‍රවණතාව වැඩිවේ.
&මෙරටට පැමිණෙන ආයෝජකයන්ට විශාල ව්‍යාපෘති ඇතිකර ඒවායින් ප්‍රයෝජන ගැනීමට ඉඩ දිය යුතුයි. උදාහරණයක් ලෙස පවසනවා නම් මෙරට අධිවේගී මාර්ගවලට මුදල් ආයෝජනය කරන විදේශිකයන්ට යම් කාලයක් ඒවායින් ආදායම ලබාගැනීමට ඉඩදිය යුතු වෙනවා. ඒ අය මගින් රටට විදේශ විනිමය ලැබෙනවා. එසේම අපට රුකියා අවස්ථා ලැබෙනවා. ඒ නිසා රට තුළ ව්‍යාපෘති ඇති කිරීමට විදේශ ආයෝජකයන්ට ඉඩ දීම වැදගත්. එහෙත් දැනට ලැබෙන ආරංචි අනුව ආයෝජකයන් ආකර්ශනය කරගන්නා වැඩපිළිවෙළක් රට තුළ නැහැ. පසුගිය සමයේ විශාල ව්‍යාපෘති සඳහා පැමිණි විදේශ ආයෝජකයන් එම අදහස අතහැර ආපසු ගිය බවට ආරංචි තිබෙනවා.
ඒ වගේම රට තුළට විදේශ විනිමය ලබාගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ යුතුයි. එසේම රට තුළට පැමිණිය යුත්තේ විදේශ විනිමය රුගෙන එන සංචාරකයන්. එසේ නැතිව රටට පැමිණ ණය වී ආපසු යන සංචාරකයන්ගෙන් සිදුවන යහපතක් නැහැ. විදේශවල රුකියා කරන අයගෙන් ලැබෙන විදේශ විනිමය රටේ සංවර්ධන කාර්ය සඳහා යෙදවිය යුතුයි. එසේ නැතුව ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා පමණක් වැයකිරීම ප්‍රමාණවත් නැහැ.
ඔහු පවසන්නේ අපේ ආර්ථිකයට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ රට තුළ බදු ආදායම නිසි පරිදි එකතු කිරීමට කටයුතු නොකිරීම බවයි. විශේෂයෙන් ඍජු බදු එකතු කිරීම පුළුල් කළ යුතු අතර බදු නොගෙවා කට්ටි පනින විශාල ආයෝජකයන් බදු දැලට අසුකර ගැනීමට කටයුතු කළ යුතු අතර දැනට වඩා උනන්දුවක් දක්වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකර ගැනීමට පමණක් බව ඔහු කියයි. විශේෂයෙන් බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
කථිකාචාර්යවරයා පවසන්නේ සෑම අවශ්‍යතාවක් සඳහාම ණය ලබාගැනීමට උනන්දු වනු වෙනුවට රට තුළ ආදායම ජනිත කරගැනීම වැදගත් බවයි. එසේ නැතුව දිගටම ණයවලින් යැපීමට යාමෙන්, සිදුවන්නේ රට සදාකාලික ණයකරැවකු වීම බව ඔහු පෙන්වා දෙයි.
යසවර්ධන රුද්රිගූ