ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ස්ථානයක පරිසරය විනාශවන අන්දමින් සිදුකළ පස් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිවූයේ එයට සම්බන්ධ හා විරුද්ධ යන සියලු පාර්ශ්වයන් පාරට බැසීමත් සමඟය. මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන රාජ්‍ය නිලධාරිනියක් හා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු අතර මෙහිදී දුරකතන මගින් බහින්බස් වීමක්ද ඇතිවූ අතර මාධ්‍ය හරහාද එයට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. අවසානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වා මෙම ගැටලුව දුරදිග ගිය අතර ජනාධිපතිවරයාද ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් විධිමත් පර් යේෂණ සිදුකර අවශ්‍ය කටයුතු කරන බවය.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ දැනට බහුල වශයෙන් සිදුකෙරෙන පස් කැපීම, ගල් කැඩීම, වැලි ගොඩ දැමීම ආදිය සඳහා විවිධ පාර්ශ්ව හරහා විරෝධතාවයන් මතුවූ අතර අපට අසන්නට ලැබුණ නවතම පුවත වන්නේ පස්, වැලි, බොරළු හා කළුගල් කැණීම්, කැඩීම් සඳහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතා දමා තිබෙන බවයි.
ගංවතුර, නායයාම් වැනි ස්වභාවික ආපදා නිසා පසුගිය කාලය පුරාවටම අහිමිවූ ජීවිත, දේපළ ප්‍රමාණය මෙපමණකැයි කිව නොහැකිය. මෙවැනි ආපදා ස්වභාවික ආපදා ලෙස සැලකුවද එවැනි ආපදාවන් ඇතිවීම කෙරෙහිත් කාරණාවන් රාශියක්ම බලපාන අතර ඒ අතරින්ද විශේෂිත වන්නේ මිනිසුන් විසින් සිදුකරන ක්‍රියාකාරකම්ය. වන විනාශය, විශාල වශයෙන් සිදුවන පස් කැපීම්, බොරළු කැපීම්, ගල් කැඩීම්ද, ගංඟා ආශ්‍රිතව සිදුවන වැලි ගොඩදැමීම්ද මෙලෙස මිනිසා විසින් ස්වභාවික පරිසරයට සිදුකෙරෙන හානිදායක ක්‍රියාවන්ය. අප ඉහතින් සඳහන් කළ ස්වභාවික ආපදාවන් සිදුවන්නේද මෙවැනි කරුණු පදනම් කරගෙනයි.
පස්, වැලි, බොරළු හා කළුගල් කැණීම්, කැඩීම් සඳහා බලපත්‍ර දීම තාවකාලිකව නවතා දැමීමට වනරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේද දැනට අත්වී ඇති පරිසර ප්‍රශ්න පිළිබඳව සැලකිල්ලට ගැනීමෙනි. නිසි ක්‍රමවේදයක් හරහා පාරිසරික සම්පත් ප්‍රයෝජනයට ලබා නොගැනීම නිසා විශාල වශයෙන් පාරිසරික ප්‍රශ්න රැසකට රට මුහුණ දී ඇති හෙයින් ඒ සඳහා යම් ක්‍රමවේදයක් මේ හරහා සකස් කිරීමටද නියමිතය.
පස් කැපීම ඇතැමුන්ට හොඳ ව්‍යාපාරික කටයුත්තක් බවද මෙහිදී සඳහන් කළ යුතුය. පස් කැපීම, බොරළු කැපීම හා ඒ පස්වලින් වගුරු හා කුඹුරු ඉඩම් ගොඩකර විකිණීම අද ජාවාරමක් බවටම පත්ව ඇති අතර මෙම තත්ත්වය පිළිබඳව අප සුළුවෙන් තැකිය යුතු නොවන්නේ රටේම ජල පද්ධතියට, ජෛව විවිධත්වයට හා ජන ජීවිතවලට අනවසර පස් කැපීම් හා අනවසර ඉඩම් ගොඩකිරීම් බලවත් තර්ජනයක් ඇති කරන්නක් වන නිසාය.
විශේෂයෙන්ම තෙත් බිම් ආශ්‍රිතව සිදුකරනු ලබන ඉඩම් ගොඩකිරීම් ගත්විට ඉන් සිදුවන ජෛව විවිධත්ව හා පරිසර හානිය යළි නිවැරැදි කිරීම ඉතාමත් අපහසු කාර්යයකි. සාමාන්‍යයෙන් වගුරු බිම්, තෙත් බිම් වැසි කාලය තුළදී ස්පොන්ජියක් ලෙස ක්‍රියා කරමින් වැසි ජලය උරාගැනීමක් සිදු කරන අතර පසුව නියං කාලයක් එළඹි විට භූගත ජලය ළිංවලට ලැබීම සිදුවේ. එහෙයින් තෙත් බිම් පරිසර සමබරතාවය සුරකින පාරිසරික පද්ධතියකි. තෙත් බිමක්, වගුරැ බිමක් ගොඩකරනවා යනු එය පරිසර පද්ධතියට සිදුකරන හානියක් පමණක්ම නොව ඒ ප්‍රදේශයේ ජල හා කෘෂිකාර්මික පද්ධතිවලටත් කරන බරපතළම නිවැරදි කළ නොහැකි වැරැද්දකි. අද වනවිට පස් කැපීම්, බොරළු කැපීම් විශාල වශයෙන් සිදුවන්නේද බොහෝවිට මෙවැනි ගොඩකිරීම් සඳහාය. එබැවින් ඉහත සඳහන් කළ පරිදි පස්කැපීම් ආදිය සීමා කළහොත් මෙවැනි ක්‍රියාවන්ද බොහෝදුරට අඩාල වනු ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් අප කළ කරැණු විමසීමකදී වන සංරක්ෂක පී.ඒ.ජී.එස්. නන්දකුමාර මහතා අප සමඟ පැවසූයේ මෙවැන්නකි.
ඇත්තටම ඔය තාවකාලිකව නැවැත්වීම කියන කාරණාව ගත්තම අපි අනුරාධපුරය ප්‍රදේශයේ ඔයකින් වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් තාවකාලිකව නවතා තැබීම හරහා එක්තරා ක්‍රමවේදයකට සිදුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යංශයෙන් නිකුත් කළා. එය කැබිනට් පත්‍රිකාවේ තීරණය අපට ලබන සතියේ විතර දැනගන්නට ලැබෙයි.
මෙහිදී අපි යෝජනාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා වන සංරක්ෂණයට අයත් රක්ෂිත ස්ථානවල පස්, වැලි, බොරළු හා කළුගල් කැණීම්, කැඩීම් සඳහා බලපත්‍ර නොදිය යුතුයි කියලා. කොහොමත් කැබිනට් පත්‍රිකාවේ තීරණය ලැබෙන තුරැ අපිට මේ සඳහා බලා සිටින්නට වෙනවා. කැබිනට් පත්‍රිකාවේ තීරණය ලැබෙනකන් අපි රක්ෂිත ප්‍රදේශවල පස් කැපීමේ කටයුතු සිදුකරන්නට දෙන්නේ නෑ.
පසුගිය වකවානුවේ යුද්ධය අවසන් වීමත් සමඟ විශාල වශයෙන් උතුරේ සංවර්ධන කටයුතු සිදුකෙරැණා. ඔය කාලෙදි ඒ ප්‍රදේශවල අපේ පාලනයක් තිබුණෙත් නෑ. 2011 අගෝස්තුවලින් පස්සෙ තමයි වන සංරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල එම ප්‍රදේශයන්හි පිහිටවූයේ. ඉතින් මුල් කාලෙදි පාරවල් හැදීම ඇතුළු තවත් සංවර්ධන වැඩවලට පස්, බොරළු කැපීම් මෙම ප්‍රදේශවල වැඩිපුර සිදුවෙලා තියෙනවා. දැන් අපි ඒ තත්ත්වය බොහෝදුරට පාලනය කරලයි තියෙන්නේ. මේ වෙද්දී රක්ෂිත ප්‍රදේශවල පස් කැපීම්, ගල් කැණීම්, කැඩීම් සිදුකරන්න බෑ. එම නිසා එම ප්‍රදේශයන්හි වනාන්තර ආරක්ෂා වෙනවා. ඇත්තටම මේ කාරණා තමයි මෙලෙස කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් මූලික වුණේ. කැබිනට් පත්‍රිකාවේ තීන්දුව එනතෙක් අපිට වෙනත් කිසිම දෙයක් ප්‍රකාශ කරන්න බෑ.
පස් කැපීමකදී සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් අප පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතාගෙන්ද අදහස් විමසුවෙමු.
&ලංකාවේ පස් කැපීම සිදුවෙන්නේ කිසිම ප්‍රමිතියකට අනුකූලව නෙමෙයි. මේ ආකාරයට ප්‍රමිතියකින් තොර දිගින් දිගටම පස් කැපීමේදී මුලින්ම මතුපිට පස ඉවත් වන නිසා පසෙහි පෝෂණය, වටිනාකම මේ හැමදෙයක්ම නැතිවෙලා යනවා. අනෙක් අතට රක්ෂිත ප්‍රදේශයන්හි සිදුකරන පස් කැපීම් සම්බන්ධයෙන් මම කොහොමටත් විරැද්ධයි. ඒ නිසා පස් කැපීම, බොරළු කැපීම හා ගල් කැඩීම ආදියට බලපත්‍ර ලබාදීම තාවකාලිකව නැවැත්වීමට ගෙන ඇති මෙම තීරණය හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ. මොකද රක්ෂිත ස්ථානවල ජෛව විවිධත්වය අනිවාර්යයෙන්ම රකින්න ඕනෙ. ජල පද්ධතිය ආරක්ෂා කරගන්න ඕනෙ. නමුත් පස් කැපීමෙන් මේ සියල්ල විනාශ වෙනවා. අපි අපේ පරිසරය රුකගන්න ඕනෙ.
පස් කැපීම, වැලි ගොඩ දැමීම ආදියට බලපත්‍ර ලබාදීම තාවකාලිකව නැවැත්වීමට ගත් තීරණයත් සමඟ පස්, වැලි, බොරළු හා කළුගල් සපයන කොන්ත්‍රාත්කරැවන් ගැටලුකාරී වාතාවරණයකට මුහුණ දී ඇති බවත් මෙහිදී අපට දැනගන්නට ලැබුණි. මෙම තීරණය ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කෙරෙහි කෙළින්ම බලපාන අතර ඔවුන් කියා සිටින්නේ දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය නවතා දැමුවහොත් ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයේ නියැලෙන විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වන බවයි. මෙහිදී නම හෙළි නොකළ කළුගල් සපයන ව්‍යාපාරිකයකු අප සමඟ කියා සිටියේ රක්ෂිත ප්‍රදේශයන්හි කළුගල් කැඩීම, පස් කැපීම ආදිය තමන්ද අනුමත නොකරන අතර මේ සඳහා සුදුසු ප්‍රදේශයන්හි ව්‍යාපාරික කටයුතුවල නියැලීමට පවා ඉහත තීරණය යටතේ යම් බාධාවක් පැමිණිය හැකි බවයි. එසේම මේ නිසා රටේ ව්‍යාපාර රුසක්ද රුකියා රුසක් අහිමිවීමේ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
හේමමාලා කුමාරි රාජකරුණා