2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

කසිප්පු පෙරපු සමූපකාරේ

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

 

තරුණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය යන සියල්ල විනාශ කරවන විෂබීජ අතුරින් එක් විෂබීජයක් ලෙස මත්පැන් හැඳින්වීම අසාධාරණ නොවේ. එකී කරැණ සනාථ කරවන ප්‍රායෝගික උදාහරණ දෛනිකව අපට තත්කාලීන සමාජයේදී හමුවේ. සමාජ සාරධර්ම පිරිහීම, ආර්ථික අසහනය, දිනෙන් දින ව්‍යාප්ත වන අපරාධ රැල්ල, පවුල් බේද, අපචාර, මානසික අලසකම් වැනි ඛේදවාචක මෙකී ප්‍රස්තූතය තුළට ගොනුකළ හැකිය.

එහෙත් කවර මාධ්‍ය හරහා කොතෙක් ගැඹුරට කතා කළත් බූවල්ලකු පරිද්දෙන් සමාජය ගිල ගනිමින් සිටින මෙකී උවදුර මැඩලීම සහ ස්ථීරසාර විසඳුම් සේම හේතු ගණනාවක් උගහට වී ඇත. එක් අතකින් අද එය ප්‍රබල ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරය නිත්‍යනුකූලව මෙන්ම නීතියට පටහැනිව මහා පරිමාණ වශයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ලෝකය ගිලගත් පිළිකාවකි. ඔව්. සැබැවින්ම සුවකළ නොහැකි පිළිකාවකි.

මහත් ජනාකීර්ණ ප්‍රදේශයක් වූ සියනෑ කෝරළයට අයත් උඩුගම්පොළ නාගරික බල ප්‍රදේශයෙහි දැනට වසර කිහිපයකට පෙර සිට හොර රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාරයක් ගම්පහ කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු විසින් පසුගිය 26 වැනි දින වැටලූහ. මෙලෙස අත්අඩංගුවට පත්වුණු සැකකරු මත්පැන් පෙරීමට යොදාගෙන ඇත්තේද අපූරැ ස්ථානයකි. උඩුගම්පොල නගරයේ ග්‍රාමීය බැංකුව පිටුපස පිහිටි සමුපකාර ගබඩා කාමරය තුළ මොහු මෙම කටයුත්ත සිදුකරගෙන ගොස් ඇති අතර ඔහු අන් කවරකුවත් නොව එම ගබඩාව භාර මුරකරුවීම පොලිසියටද ප්‍රහේලිකාවක් විය. දැනට කාලයක් මුළුල්ලේ සිටම ගම්පහ කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයට සැකකරු පිළිබඳව තොරතුරු ලැබුණු අතර දීර්ඝ විමර්ශනයකින් අනතුරැව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ගබඩා භාරකරුවන්ගෙනුත් වැඩේට මාර සපෝට් එකක්

වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරීන් නොමග යැවීමට අදාළ සැකකරු බොරු ප්‍රකාශ ලබාදුන් නමුත් පොලිස් නිලධාරීන්ගේ තියුණු දෑස්වලින් ගැලවීමට මෙම සැකකරුට කිසිදු හැකියාවක් ලැබුණේ නැත. සමුපකාර ගබඩා කාමරයේ පොළොව යට ඉතා සූක්ෂම අයුරින් සකසන ලද ස්ථානයක තිබී ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ හැට දහසක්, විශාල ප්‍රමාණයේ බැරල් දෙකක්, නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ලද දඟර කිහිපයක්, ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් ලිප් ඇතුළු නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් පොලීසිය මගින් සොයාගෙන තිබිණ.

ගබඩාව තුළ පැරැණි ගෝනිවලින් ආවරණය කර ගෝඩා බැරල් හොර රහසේ සඟවා ඇති අතර සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ වසර දෙකක පමණ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවය. එමෙන්ම ගබඩාවේ මුරකරුට ගබඩා භාරකරුවන්ගෙන්ද සහය ලැබී ඇතිදැයි සොයාබැලීමට පරීක්ෂණයක් ආරම්භ කරන බවද පොලීසිය පැවසීය. මෙම සිදුවීමට අදාළ සැකකරු මෙයට වසර 06කට පමණ පෙර මෙම ස්ථානයේ සේවයට බැඳී ඇති අතර සැකකරුට මෙයට පෙරද මෙවැනිම නීති විරෝධී මත්පැන් පෙරීමේ චෝදනා රුසක්ද ඇති බව පොලිසිය පැවසීය.

කසිප්පු බඩු හංගලා තිබුෙණ් ගබඩා කාමරයේ පොළොව යට

ප්‍රදේශවාසීන් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව ඉතා සූක්ෂම අයුරින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු රාජකාරියට අමතරව සිදුකරන ලද මෙම නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය තම අතමිට සරුකර ගැනීමේ අදහසින් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු පවරා ඇති අතර සැකකරුගේ පෙරවැරදිද සලකා බලා රුපියල් 65000ක දඩ මුදලක් සහ අත්හිටවූ සිර දඬුවමක්ද සැකකරැට නියම කරන ලදී.

ගම්පහ කොට්ඨාස නීති බලගැන්වීමේ එක්කයේ නිලධාරීන් හත් දෙනකු පමණ අදාළ වැටලීම සඳහා සහභාගි වී ඇත.

 හසිත් අංජන