ලෝකේ විවිධ රටවල විනෝදය වෙනුවෙන් සිදුවන විවිධ ක්‍රියාකාරකම් ක්‍රීඩාවන් පවතිනවා. ඒවා හරිම අපූරුයි වගේම විනෝදජනකයි. මේ කියන්න හදන්නේ වේල්සයේ ජනතාව අතර ප්‍රසිද්ධ වෙලා තියෙන අපූරු ක්‍රීඩාවක් ගැනයි. ඒ තමයි Bog Snorkeling (බොග් ස්නෝර්ක්ලින්).
සාමාන්‍ය ස්නෝර්ක්ලින් කරන්නේ මුහුදේ වුණාට මෙතැනදී වැඩේ සිද්ධ වෙන්නේ විල්ලුවක් වගුරුබිමක් වගේ ප්‍රදේශයකයි. ඒ වගේ තැනක තියෙන මඩ පිරුණු කුඩා ඇළක් මේ සඳහා භාවිත කෙරෙනවා. මේකට සහභාගී වීමේදී ස්නෝර්ක්ලින් යුනිට් එකක් සහ කකුලට සවිකරන ෆ්ලිපර්ස් භාවිත කිරීම අනිවාර්යයි. සාමාන්‍ය පිහිනුම් ඇඳුම වෙනුවට විසුළු සහගත ඇඳුම් අඳින්නත් කැමති නම් පුළුවන්.
මේකෙ තියෙන්නෙත් පීනන්න වුණාට සාම්ප්‍රදායික ලෙස පිහිනීම තහනම්. ඒ කියන්නේ අත් පාවිච්චි කරලා වැඩි වැඩ දාන්න බැහැ. මූලිකවම ෆ්ලිපර්ස්වලින් තමා පිහිනීම සිදුකරන්න වෙන්නෙ.
මඩ නාගෙන සිදුකරන මේ වැඩේදී කෙටිම කාලෙකින් පිහිනීම නිම කරන කෙනා තමයි දිනන්නෙ. මේ ක්‍රීඩාවට ලෝක ශූරතා තරගාවලියකුත් තිබෙනවා. ඒ වෙන කොහෙවත් නෙමේ, වේල්සයේම තමා.