මාර්තු අප්‍රේල් මාස කියන්නේ ගොඩක් රස්නෙ වැඩි කාලයක්. ඉතින් කොළඹ නගරයේ ඉන්න අයටත් යන එන අයටත් මේ රස්නෙන් මිදෙන්න හොඳ විදිහක් තමයි අයිස් ක්‍රීම් කියන්නෙ. අයිස්ක්‍රීම් කන්න කලින් ඉතිහාසයත් පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි නේද?
ඉතිහාසයේ කියවෙන විදිහට මහා ඇලෙක්සැන්ඩර් රජතුමා අයිස්වලට මී පැණි සහ මල් යුෂ යොදලා කාලා තියෙනවා. ඒ වගේම බයිබල ඉතිහාසයට අනුව සොලමන් රජතුමාත් අයිස් සහිත බීමක් පානය කරලා තියෙනවා. රෝමයේ හිටපු අධිරාජයෙක් වන නීරෝත් කඳුකර පළාත්වලින් හිම එකතුකරගෙන ඇවිල්ලා පළතුරු සහ යුෂ එක්ක ආහාරයට අරන් තියෙනවා. කොහොම වුණත් අයිස්ක්‍රීම් ගැන වානිජ මට්ටමෙන් කතාවෙන්න පටන් අරන් තියෙන්නේ 18 වැනි සියවසේදී අමරිකාවේදීයි. 1777දි තමයි මුල්ම අයිස්ක්‍රීම් වෙළෙඳ දැන්වීම ඇමරිකාවෙ පත්තරේක පළවෙලා තියෙන්නෙ.
ඔය ඉතිහාස කතාවත් ඔලුවෙ තියාගෙන මම මුලින්ම ගොඩවුණේ Baskin-Robbins කියන අයිස්ක්‍රීම් සඳහාම වෙන්වුණු අවන්හලටයි. ඔවුන් සතුව අයිස්ක්‍රීම් වර්ග රැසක් තියෙනවා. හැබැයි Cotton Candy තමයි වැඩියෙන්ම ජනප්‍රිය. Bavarian chocolate එකත් හොඳ තේරීමක්.
දෙවැනියට මම ගියේ කින්ග්ස්බරි හෝටලයටයි. ලොබි එකේ පැත්තකින් වාඩිවෙලා මම මුලින්ම රස වින්දේ වටලප්පන් අයිස්ක්‍රීම් එකක්. වටලප්පන් අයිස්ක්‍රීම් කියන වචනෙ ඇහුණම දැනෙන්නෙ නැති රසවත් බවක් ඇත්තටම ඒක රස විඳිද්දි තියෙනවා. Coconut ice cream කියන්නෙත් ඔවුන් සතු තවත් රසවත් අයිස්ක්‍රීම් එකක්.
කොල්ලුපිටියේ Anm Cupcakes සහ හෝර්ටන් ප්ලේස් කැෆේ කුඹුක් අවන්හලේ රසවත් පොප්සිකල් තියෙනවා. පැෂන් ෆෘට්, අන්නාසි, නාරං ඇතුළු රස ගොඩකින් ඒවා ලබාගන්න පුළුවන්.
මගේ අවසාන නැවතුම වුණේ කානිවල් අයිස්ක්‍රීම් අවන්හලයි. මේ අවන්හල තියෙන තැන වගේම එයාලගෙ පාරිභෝගික සේවාවත් ටිකක් අවුල් වුණාට හොඳ රසවත් අයිස්ක්‍රීම් වර්ග රැසක් මෙතැනින් ලබාගන්න පුළුවන්. සුපුරුදු විදිහට මම රස බැලුවේ, වැනිලා චොකෝ චිප්ස් යොදපු මිල්ක් ෂේක් එකක්.
ධනූ - ඩේලි මිරර්
ඡායාරූප l You're My Favorite