2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

සාහිත්‍යයටත් සෙනසුරු දසාව

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 482

 

වෙසෙසින්ම ඔහු ගීත රචකයෙකු ලෙස හැඳින්වීම අසාධාරණය. ඔහු ගීතයේ අක් මුල් විනිවිද එහි ගැඹුර සොයා ගිය ගීත කලාවේ විශ්ලේෂකයෙකි. සෞන්දර්ය තීර්ථයෙහි දාර්ශනිකයෙකි. පනස් වසරක් පුරා ගී දහසක් ලියූ මේ සෞන්දර්යවේදියා එකී කලාවට අත් පොත් තැබුවේ හැත්තෑව දශකයේ ගීතයේ ස්වර්ණමය යුගයේදීය.  

එළඹෙන 6 වැනි දින සවස 3.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ A ශාලාවේදී ඔහු විසින් රචිත සමාශංසා, සඳකත් මිණ සහ දේදුන්නක් පායලා යන කෘති ත්‍රිත්වය එළිදැක්වේ.

ගී රචක පරම්පරාවකට වචනයේ පරිසමාප්ත අරුතින්ම හෘදය සංවාදී සහෘදයකු වූ එහෙයින්ම නොමද සමාශංසාවට පාත්‍ර වූ සුනිලුන්ට අප දේශයට ගොඩවදින්නට ඇරියුම් කළේ එහෙයිනි.

අද බොහෝ ගීත උච්ච ස්වර පරාසයක ස්පර්ශය ලද වචන අහුරක් පමණයි. මේ යුගයේ රචිත බහුතර ගීත ඇසෙද්දී අපට හිතෙන්නෙ එහෙම. ඔබට හිතෙන්නෙ කොහොමද?

අද ගීත බොහොමයක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් ජාතියේ සින්දු. අර්ථයක් අරමුණක්, ශබ්ද රසයක්, වචන රසයක්, මේ ආදී මෙලෝ රසයක් නැති ගීත තමා බහුතරයක් තියෙන්නෙ. කන පුපුරණ සංගීතයක් සහ අාන්ෙදා්ලනාත්මක වචන ටිකක් තියෙනවනම් ෂා මාර සින්දුවක්, නියෙමෙට හිට් වෙයි කියන තැන තමා බොහෝ දෙනා ඉන්නෙ. 

ඇත්තටම ෂා මාර සින්දුවක් වෙන්නනම් ගීතය ගැඹුරෙ කැටිවිය යුත්තෙ කවර ලක්ෂණද?

ගීතයක් කියන්නෙ එක පැත්තකින් භාෂාත්මක අත්හදාබැලීමක්. භාෂා වික්‍රමයක්. අර්ථයක් අරමුණක් සහිත රමණීය දිගහැරැමක්. රූපක අලංකාර ගීතයකට යොදන්න පුළුවන්. කොටින්ම ගීතයක් කියන්නෙ සෞන්දර්යාත්මක හැඟීම් ප්‍රකාශයක්. ඒ වගේම එහි දාර්ශනික පැතිකඩක් තිබෙන්න පුළුවන්. 

ඇයි නව පරපුරේ ගීත රචනා බොහොමයකින් මෙකී ලක්ෂණ ගිලිහී ඇත්තේ?

කෝ ඔවුන්ට කියවීමක්. පැරැණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුර ඔවුන් බොහෝ දෙනෙකුට නෑ. ඔවුන් ලෝකය, ඉතිහාසය සහ මිනිස් හැඟීම් කියවන්නෙ නෑ. ජීවිතය විඳින මඟ ඔවුන් විසින්ම අහුරාගෙන. අන්තර්ජාලය ජීවිතයට ජංජාලයක් කරගෙන. සියලු බැඳීම් මුහුණු පොතටම සීමා කරගෙන. ඔවුන් තුළ පරිකල්පනයක් නෑ. පරිගණකයක් ළඟ ඉඳ ගත්තොත් පැය ගණනක් ගේම් ගහන පරපුරක අද දවසට වඩා හෙට දවස භයානකයි. සංවේදනාවන් සහ රසවින්දනය මරා දාපු වරද තමා ගීතයෙන් විතරක් නෙවෙයි හැමදේකින්ම කල එළි බහින්නෙ. 

නව පරපුරේ ඔබ ඇගයීමට පාත්‍ර කරන ගී පද රචකයින් ඉන්නවද?

ඔව්. රත්න ශ්‍රී විජේසිංහ, බන්දුල නානායක්කාරවසම් අතින් වගේම නිලාර් එන්. කාසිම් අතිනුත් හොඳ ගී ලියවුණා. 

ඔබට පෙර පරපුර සහ ඔබේ සමකාලීනයන් අතරින් ඔබේ ඇගයීමට පාත්‍ර වන්නන් කවුද?

මහගමසේකර, මානවසිංහ, මඩවල එස්. රත්නායක, අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රී කුලරත්න ආරියවංශ සහ කරැණාරත්න අබේසේකර. 

ඔබ ලියූ ගී අතරින් ඔබ ආත්මීය වශයෙන් බැඳුණු ගීතයක් තියෙනවද?

ඔව්... එකක් නෙවෙයි කීපයක්ම තියෙනවා. 

අපි කැමතියි දැනගන්න? 

ප්‍රේමාතුර හැඟීම් දනවන ඇය යන්න ගියා මැකිලා, දාර්ශනික සිතුවිලි ගොනු වූ ඔබ මා සමඟ අතිනත ගන්නා දවස. සොබාදහමේ අපූර්වත්වය ජීවිතය හා ආදරය සමඟ ගළපාලූ කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ, ඉවසිලිවන්ත ආදරයක් ගැන කියන පෙර දිනයක මා පෙම් කළ යුවතිය මම හුඟක්ම කැමති ගීතයි. 

ඔබේ ගීත නිසි හා සාධරණ විචාර ඇගයීමකට ලක් වුණායයි ඔබ හිතනවද? 

විචාරයට ලක් වෙන්න අපේ රටේ විචාර කලාවක් තියෙන්න එපැයි. 

ඇයි ඔබ එහෙම කියන්නෙ.. අපේ රටේ ඕනෑ තරම් විචාරකයෝ ඉන්නෙ? 

නාමමාත්‍ර විචාරකයන්ගෙන් කවර ප්‍රයෝජනයක්ද? ගීතය ගැන විචාර කලාවක් නැති හින්දා තමා අනවශ්‍ය ප්‍රමාණයට ගීතය අවප්‍රමාණය වුණේ.

ගද්‍ය පද්‍ය මේ කිසි කලාවකට අපේ විචාරකයන්ගෙන් කිසිවක් සිදුවී නැති බවද ඔබ කියන්නෙ?

අපි විචාරකයන් නිසා අපේ පද්‍ය සාහිත්‍ය නැති කරගත්තා. හන්දියේ චණ්ඩි වගේ මාධ්‍ය ආයතනවලට පැනලා විචාර කළා නිර්මාණ කාලා දැම්මා. ක්ෂණික නූඩ්ල්ස් වගේ නිර්මාණ හෝ විචාර කරන්න බෑ. හොඳ විචාර කලාවක් තිබ්බනම් කවියට, ගීතයට නවකතාවට කී නොකී සියලු සාහිත්‍යාංගයන්ට මෙහෙම සෙනසුරැ ලබන්නෙ නෑ.

කවිය ගීතයේ සමීපතම නෑදෑයෙක්ලු.. ඔබ කියන විදිහට ගීතයට වැදුණු හෙණේ කවියටත් වැදිලද?

දැන් බොහොමයක් තියෙන්නෙ වියළි කවි සහ ඇටසැකිලි කවි. සමහරැ කියනවා ගීතය කවිය තරම් ගැඹුරු නෑ කියලා. ඒත් ඒකත් වැරැදියි. දාර්ශනික කවිතාවක් ඇති ගීත අපේ තියෙනවා. සමහරැ අනුකාරක මනසින් කවි ලියනවා. සමහරු අපි තමා කවියෝ කියලා හිතන මානසිකත්වයෙන් පිහිටවාගත්තු ආධිපත්‍යයෙන් කවිය විනාශ කළා. කෙරැමන් නොවී පොරවල් වෙන්න ගියාම ඔය හෙණේ මොන ක්ෂේත්‍රයටත් වදිනවා. 

ඔබ ඇත්තටම ගී ලියුවේ කවර අරමුණකින්ද?

තරගෙටවත්, ප්‍රසිද්ධියටවත්, සල්ලි හම්බ කරන්ටවත් මම ගීත ලියුවෙ නෑ. මම ගීතයට ආත්මීයව පෙම් කරපු මිනිසෙක්. ගීතය ලඝු කර තකන්න එපා. ගීත සාහිත්‍ය ගැන අලුත් සංකථනයක් ඇති කරන්න. ඒකයි මගේ ඉල්ලීම. 

ඔබ වැඩිපුරම ගී ලියුවේ කාට ගයන්නද?

අමරදේවට.

හැබැයි අමරදේවට ගී ලියූ ගී පද රචකයන් ගැන, අමරදේවගේ ගී ගැන කියන සමහරු අතින් සුනිල් සරත් පෙරේරා කියන නම කියවෙන්නෙ නෑනෙ. 

ඔව්. ඒකට කියන්නෙ කුහකකම කියලා. උගත්කම වියත්කම තියෙන සමහරු ළඟ උපේක්ෂාව සහ මනුස්සකම නෑ. දැනට ජීවතුන් අතර ඉන්න අයගෙන් අමරදේවට වැඩිපුරම ගී ලියුවෙ මම. ඒක එහෙම වුණත් අමරදේවට වැඩිපුරම ගී ලියුවෙ මඩවල එස්. රත්නායක. 

ගී පද රචනය අද ගේය පද රචනය වෙලා? ගී පදයි ගේය පදයි එකක්ද? දෙකක්ද?

තම තම පඬි බව පෙන්නන්ට ගිහින් නා ගැනීමක්නෙ ඕක. ඊළඟ පරපුරේ කොල්ලන්ට  කෙල්ලන්ට විචාරකයෝ පඬි බව පෙන්වන්න ගී පද ගේය පද කළා. ගුණදාස කපුගේ වරක් කීවා ගේය පදනම් නෑ ගාය පදනම් තියෙනවා කියලා. මාධ්‍යවල කට්ටියත් ඔය ගේය පද කියන වචනය උඩ දදා කියනවා. ලියනවා.

වාග්ගේයකාර කියන්නෙ ගායනය තනුව සහ ගී පද රචනය යන තුනම එකට කරන පුද්ගලයට. එක්කෝ ඒක වැරුදියට අල්ලගෙන පඬි බව පෙන්වන්න, තමනුත් ගීත සාහිත්‍යට දෙයක් කරා කියලා පෙන්වන්න කරපු කෙළිනේ ඔය. විමල් දිසානායක, සේකර, මානවසිංහ, මඩවල එස්. රත්නායක මේ හැමෝම කීවේ ගී පද රචනය කියලා. සරච්චන්ද්‍ර ගීතාංගනාටකය කියන වචනයත් තාගෝර්තුමා ගීතාංජලී කියන වචනයත් භාවිත කළා.්‍

මාධ්‍යයෙන් ගීතය ඇතුළු කලාවන්ට වුණේ සැපතක්ද? විපතක්ද?

සැපතක් වුණානම් මෙහෙම වෙයිද?

 සංජීවිකා සමරතුංග 
සේයාරුව l සමන්ත ප්‍රදීප් විල්තෙර