මෙවර හීසරය ලියන්නේ ඡන්ද ප්‍රතිඵල පැමිණි විගසය. ඔබ මෙය කියවනවිට කොන්දේසි, බන්දේසි, වෙන්දේසි සියල්ල තුන් ඈවර වී හමාරය. අගමැති පත්වී හමාරය. ඇමැතිවරු දිවුරුම් දී අහවරය.
ජයග්‍රහකයෝ, ආධාරකරුවන් සමඟ පාටි දමති. හුරේ දමති. පරාජිතයෝ අකුලාගෙන පැත්තකට වී සිදුවූයේ කුමක්දැයි කල්පනා කරති.
ජය පරාජය යනු කාටත් පොදු ලෝක ස්වභාවයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ජය විඳගැනීම පහසුය. පරාජයට මුහුණ දීම දුෂ්කරය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ පරාජයන්ට මුහුණ පෑ නායකයන් අතුරින්, විජයානන්ද දහනායක විශේෂ පුද්ගලයෙකි. 1959දී සිදු වූ බණ්ඩාරනායක ඝාතනයෙන් පසු මැතිවරණයකින් තොරවම අගමැති ධූරයට පත් දහනායකයන්ට ඉතාම කෙටි කලකින් පාර්ලිමේන්තුව විසුරැවා නව මැතිවරණයකට යාමට සිදුවෙයි. ඉන් පසුව අත්වන්නේ අන්ත පරාජයකි. ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයන් එකසිය එක්දෙනාගෙන් ජය ගන්නේ සිදුදෙනෙකි. 80 දෙනකුගේ ඇපද රාජසන්තක වෙයි. දහනායකගේ අතේ තිබූ ගාලු ආසනයෙන්ද ඔහු පරාජය වෙයි.
අගමැති දහනායකගේ ලේකම්වරයාව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් ඔහුගේ අත්දැකීම් විස්තර කළ අවස්ථාවක මෙසේ සඳහන් කර තිබුණි.
දහනායක මහතාගේ අන්ත පරාජය ප්‍රකාශයට පත්වීමෙන් පසු මා අරලිය ගහ මන්දිරයට යනවිට ඔහු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් මත දිගා වී සිටියේය. ඔහුගේ මුහුණේ පැවතියේ වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් වේදනාවකි. දුකකි. අරලියගහ මන්දිරයට මුලින් ආ දවසේ ගෙන ආ සූට්කේසය ද හාන්සි පුටුවට මදක් ඈතින් බිම තබා තිබුණි. මා දුටු ගමන්ම දහනායක මහතා ඉතා සියුම් ස්වරයෙන් කතා කළේය.
බ්‍රැඩ්මන් මට ගාල්ලට යන්න කාරෙකක් ඉල්ලගන්න පුළුවන්ද?
මොකද නැතුව සර්. සර්ට කාරෙකකින් යන්න සම්පූර්ණ අයිතිය තියෙනවා
මම වහාම දහනායක මහතාට යාම පිණිස කාරෙකක් සූදානම් කළෙමි. දහනායක මහතා කාරෙකෙන් ගාල්ල බලා පිටත් විය. ඔහු ගෙන ගියේ මුල් දවසේ ගෙන ආ සූට්කේසය පමණි. වෙනසකට තිබුණේ දහනාවක මහතා මාස කීපයකින් වයස් ගත වී, සූට් කේසයද මාස කීපයකින් පරණ වී තිබීම පමණි. (අගමැතිවරුන් හත් දෙනකු සමඟ - බ්‍රැඩ්මන් වීරකෝන්/ ගුණදාස ලියනගේ)
පරාජයෙන් පසු ගෙදර යාම කල් දමමින් අගමැති මැදුරේම හිතා බලමින් සිටි අය ගැනද හෙලිකොප්ටරයක් ඉල්ලාගෙන පවුල් පිටින් ගමේ ගිය අය ගැනද අපේ රටේ ජනතාව දනිති.
ජයග්‍රාහකයා වටා සෙනග රැස් කති. පරාජිතයා හුදෙකලා වෙයි. ජයග්‍රහණයට පියවරු දහසකි. පරාජය අනාථයෙකි. යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයෙකුව සිටි ජොන් එෆ්. කෙනඩි පැරණි ඉතාලි කියුමක් පැවසුවේ එහෙයිනි. එසේම මිනිසා පරාජය කළ හැකිය. එහෙත් විනාශ කළ නොහැකි යැයි කියුවේද අමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේය.
පරාජයේ රසවත් පැතිද ඇත. එහෙත් ඒ පරාජිතයාට නොවේ. ඔහු දෙස අවධානයෙන් බලා සිටින්නවුන්ටය.
කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචිව සිටි ටෙලි හා චිත්‍රපට නළුවෙක්, මැතිවරණයකට ඉදිරිපත් වුණේය. ඔහු තමා ඉතා ජනප්‍රිය යැයි සිතා සිටි නමුදු එය එසේ නොවන බව වැටහුණේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය. ඔහුට ලැබී තිබුණේ පවුලේ උදවියගේ හා අසල්වැසි කීපදෙනකුගේ ඡන්ද පමණි. ඒ ආසන්නයේම වෙසක් පොහොය ද යෙදුණ අතර, අසල නගරයක ඉදි කළ තොරණක් විවෘත කරනු පිණිස පරාජිත නළුවාට ද ඇරැයුම් ලැබුණි. ඔහු මුදල් කවරයක්ද සාක්කුවේ දමාගෙන තොරණ පිහිටි ස්ථානයට ගියේය.
තොරණේ හරි මැද මාර පරාජය යැයි පුවරැවක් සවිකර තිබෙනු දුටු නළුවාට මාරයා නැග්ගේය. ගියාටත් වැඩි වේගයෙන් ඔහු ආපසු ආවේ නරක වචන පෙළක් ද කියමිනි.
මීට දශක කීපයකට ඉහත පැවති මැතිවරණයකදී මධ්‍යම පළාතට අයත් ආසනයක් සඳහා හිටපු ඩී. ආර්. ඕ. මහතෙකු ද (ආදායම් පාලක) ඉදිරිපත් විය. ඔහුගේ ප්‍රතිවාදියා ද ඔහු හා එකම පාසලේ උගත්තෙකි. මැතිවරණයෙන් ඩී. ආර්. ඕ. මහත්තයා පරාජය විය.
ඊට දෙතුන්දොහකට පසුව ජයග්‍රහකයා (නීතීඥවරයෙකි) තම අධාරකරුවන් කීපදෙනකු අමතා මෙසේ කීය.
අපි යමු ඩී. ආර්. ඕ. මහත්තයා බලලා එන්ඩ. මිනිහා මේ ටිකේ කනගාටුවෙන් ඇත්තේ.
නීතීඥ මහතා එහි යනවිට නිවසේ දොර ජනෙල් වහලාය. බල්ලෙක් බළලෙක්වත් පෙනෙන්නට නැත. වටපිට ඇවිද බැලූවිට ඩී. ආර්. ඕ. මහත්තයා පිළිකන්නේ කොස් ගසක් යට රා මුට්ටියකට වග කියමින් සිටිනු දැකගත හැකි විය. නීතිඥ මිත්‍රයා දුටු ඩී. ආර්. ඕ. මහතා මහත් සතුටින් ඔහු පිළිගත්තේය. නීතීඥයා ද ඔහු අසලින් හිඳ ගත්තේය.
මොකද මේ තනියම?
අපේ නෝනා ගෙදර ඉන්න ලැජ්ජයි කියලා ඒගොල්ලන්ගේ දිහා ගියා. මං මේ රා ටිකක් ගෙන්නගෙන දවල්ට කොස් ගෙඩියක්වත් තම්බන්නයි හිතුවේ.
කොස් ගසට නැග සිටින පුද්ගලයකු නීතීඥ මහතාගේ ඇස ගැසුණේ එවිටය.
ඔය රා මුට්ටිය පැත්තක තියලා යමු අපේ දිහා. නෝනා එනකල් එහෙ ඉන්න බැරියෑ. මොකෝ අපි නොදන්න මිනිස්සුද?
ජයග්‍රාහී නීතීඥයා පරාජිත තම මිත්‍රයාගේ කරට අත දමාගෙන රථය වෙත ගෙන ගියේය.
ජයග්‍රාහකයා වර්තමානය දිනා සිටී.
පරාජිතයාට අනාගතය ඉතිරිව ඇත.
වඩා වැදගත් වන්නේ ඒ දෙදෙනාම ඉතිහාසයට එක් කර තබන්නේ කුමක්ද යන්න පමණි.
කපිල කුමාර කාලිංග