2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ලන්ඩන් උසාවියකින් අවසන් වූ ශ්‍රීලන්කන් ජරමරය

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් A330-200 ගුවන් යානා තුනක් එම සමාගම විසින් අන්තර්ජාතික සමාගමක් හරහා ලීසිං (කල්බදු) ගිවිසුම් දීර්ඝ කිරීමේ ගනුදෙනුව ලන්ඩන් උසාවියේදී නඩුවක් ගොනුවීමෙන් අවසන් වී තිබේ. ශ්‍රීලන්කන් ආයතනය මගින් එකී සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම අහෝසි කරගැනීමේ උත්සාහය හේතුවෙන් මේ තත්ත්වය උදාවී තිබේ. ඔවුන් එසේ සිදුකරනු ලබන්නේ එකී ගිවිසුම නිත්‍යනුකූලව බැඳී ඇති ඒවා නොවන බව සඳහන් කරමිනි.

මෙම තත්ත්වය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළතද බරපතළ ගැටුමක් ඇතිවූ පසුබිමක් යටතේ සිදුව තිබේ. ඉන් පිරිසක් ප්‍රකාශ කරනුයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක සුරේන් රත්වත්ත මෙම ගිවිසුම අත්සන් කොට ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කිසිදු අනුමැතියක් ලබා නොගෙන බවය. නමුත් එම චෝදනාව සුරේන් රත්වත්ත මහතා එකහෙළාම ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රීලන්කන් සමාගමේ ගිවිසුම් පාර්ශ්වකරුවන් වන (SASOF II) අයර්ලන්ත සිවිල් ගුවන් සේවා සමාගම මෙම නඩුව පවරා ඇත්තේ ශ්‍රීලන්කන් ආයතනය අදාළ ගිවිසුම දීර්ඝ කිරීම සඳහා නිත්‍යනුකූලව බැඳී ඇතැයි ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඉල්ලීමක් කරමිනි.

ඉහළ අධිකරණයේ වානිජ උසාවිය තුළ මෙම නඩුව ගොනුකර තිබේ. එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනුයේ ගිවිසුම්වලට අනුකූලව දීර්ඝ කරන ලද ලීසින් ගනුදෙනුවට අදාළව සියලු කුලී ගෙවීම් පියවා දමන්නයැයි ද එසේම නඩු ගාස්තු ගෙවන්නයැයිද යනුවෙනි. SASOF සමාගමේ නඩු ගොනුවේ පිටපතක් සන්ඩේ ටයිම්ස් පුවත්පත සතුව පවතී.
මෙම ගැටලුවට තුඩු දී ඇති ගුවන් යානය වනුයේ 2010 වසරේ ශ්‍රීලන්කන් ආයතනය මගින් පළමුව ලීසින් ක්‍රමයට ලබාගන්නා ලද A330 – 200S වර්ගයේ පැරැණි යානා තුනෙන් එකකි. අදාළ මුල් ගිවිසුම 2017 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයන් තුළදී අවසන් වීමට නියමිතව තිබුණි. නමුත් රත්වත්ත මහතා පසුගිය වසරේ මෙම ලීසින් ගිවිසුම දීර්ඝ කරනු ලැබුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවකට එරෙහිව යමිනි. අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රකාශ කරනුයේ පකිස්තාන් ගුවන් සේවාව තවත් ගුවන් යානා තුනක් (නව A330 – 300S) ලීසිං  කිරීමට එකඟවන්නේ නම් පමණක් ගිවිසුම දීර්ඝ කරනා බවය.

නමුත් අපේක්ෂිත පරිදි පකිස්තාන් ගුවන් සේවා ගනුදෙනුව සිදුවූයේ නැත. පකිස්තාන් ගුවන් ආයතන වෙට්ලීස් ක්‍රමය යටතේ එක් ගුවන් යානාවක් පමණක් ලබාගෙන මාස කීපයකට පසුව එය නැවතත් ශ්‍රීලන්කන් ආයතනයට බාරදුනි. ඉතිරි වූ යානා දෙක ඔවුන් ලබාගත්තේ නැත.

පකිස්තානු ගුවන් සමාගමෙන් ශ්‍රීලන්කන් ආයතනයට මෙම ගනුදෙනුව ඔස්සේ ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදල සහ ඊට අයත් වූ පොලිය තවමත් ලැබී නැත. මේ අතර පකිස්තාන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට හසු වී තිබේ. ශ්‍රීලන්කන් ගුවන් යානා අධ්‍යක්ෂක මණ්ඩලයට මෙම ගිවිසුමට මැදිහත් වීමට සිදුවූයේ ඒ අනුවය.

ශ්‍රීලන්කන් ආයතනය SASOF සමාගමට ලිඛිතව දන්වන ලද්දේ මුල් ලීසින් ගිවිසුම්වලට අනුව A330 – 200S වර්ගයේ යානා තුන නැවත බාරදිය යුතු බවයි. එහිදී කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමේ තීරණය සලකා බලනු නොලැබේ. තවදුරටත් එම ආයතනය ප්‍රකාශ කරනුයේ කොන්ත්‍රාත් දීර්ඝ කිරීම සඳහා අනුමැතිය ලැබෙනුයේ පකිස්තාන් ගුවන් සේවා ආයතනය යානා ලීස් කිරීමේ ගිවිසුම් ඉටුකිරීමේ කොන්දේසි මත බවය.

“ඔබේ දැනුම් දීමෙන් මතු කරන අදහස අපි ප්‍රතික්ෂේප කරන අතර අපි අදහස් කරනුයේ එය ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙසය.” SASOF ශ්‍රීලන්කන් ආයතනයට එවූ පිළිතුරේ එසේ සඳහන් විය. පකිස්තාන් ගුවන් සමාගම සමඟ ඇතිකරගත් ලීසින් ගනුදෙනුවට අදාළ කොන්දේසි පිළිබඳව SASOF සමාගම සමඟ කෙදිනක හෝ සාකච්ඡා කර නොතිබිණි. එසේම අදාළ සමාගම වෙනුවෙන් දීර්ඝ කිරීමේ ගිවිසුම් හෝ වෙනත් එවැනි ගිවිසුම්සහගත ලේඛන සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් නොමැති බව ඔවුන් සඳහන් කරනුයේ මෙම ගැටලුව උසාවිය දක්වා ගෙන යාමටත් පෙරය.

උසාවියේ නඩු විභාගය ආරම්භ වුවහොත් එය විශාල මුදලක් වැයවන කාරණාවක් වනු ඇත. නමුත් දීර්ඝ කිරීමේ ගිවිසුම් හෙළා දකිනා ඇතැම් පිරිසක් සඳහන් කරනුයේ මුදල් අහේනියෙන් පීඩා විඳින ශ්‍රීලන්කන් ආයතනය A330 – 200S ගුවන් යානා තුන දීර්ඝකාලීනව ලබාගැනීම විශාල මුදල් ප්‍රශ්නයක් ඇතිකරවන බවය. එක් එක් ගුවන් යානයක මාසික කුලිය වශයෙන් ශ්‍රීලන්කන් ආයතනය අමෙරිකානු ඩොලර් 225,000 එනම්, රුපියල් 34,146,000 ගෙවිය යුතුය. ඒ අනුව වසරකට ගුවන් යානා තුන වෙනුවෙන් රුපියල් 1,229,256,000 ආසන්න මුදලක් ගෙවනු ඇත. (මෙම ගාස්තු SOSOF ඉල්ලීමේ සඳහන් වේ.)

තවදුරටත් කරුණු දක්වන රත්වත්ත මහතා සඳහන් කරනුයේ පැරැණි ගුවන් යානා ලීසින් කිරීම, ආයතනය සතු ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු ලීසින් ගාස්තු අඩු කිරීම සඳහා වහාම ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුවේ සඳහන් කොටසක් වන බවය.

“මෙම ගුවන් යානා ලීසින් ගිවිසුම් දීර්ඝ නොකරයි නම් 2016 අගෝස්තු මස සිට එම යානා ගොඩබිමේ තබාගැනීමට සිදුවන්නට තිබුණා” යැයි රත්වත්ත මහතා සඳහන් කරයි. වාසිදායක තත්ත්වයන් යටතේ එවැනි දෙයක් වළක්වා ගැනීම සඳහාත් ගිවිසුම් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහාත් මේ තීන්දුව ගැනීමට සිදුවුණා. ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම මාසික ලීසින් ගාස්තුව 50%ක් අඩුකළ බව ඔහු සඳහන් කෙරේ. (මුලින්ම මාසික ලීසින් ගාස්තුව අමෙරිකානු ඩොලර් 460,000කට අධික විය.) එසේම නැවත ගුවන් යානා බාරදීමේ කොන්දේසිද අවම කරගැනීමටද හැකි වී ඇත.
“මෙහි ප්‍රතිඵලය වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 43.8ක මුදලක් ඉතාම ඉක්මනින් ඉතිරි කරගැනීමට හැකිවීමයි. එය අපේක්ෂිත ආදායමකි.” ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද ශ්‍රීලන්කන් අධ්‍යක්ෂක මණ්ඩලයේ අවම වශයෙන් අඩක පමණ සාමාජිකයන් සඳහන් කරනුයේ රත්වත්ත මහතාගේ ලීසින් දීර්ඝ කිරීම තමන් අනුමත නොකළ බවය. 

පසුගිය වසරේ අධ්‍යක්ෂකවරුන්ව සිටි චානක ද සිල්වා, රාජන් බ්‍රටෝ, රඛිත ජයවර්ධන, හරේන්ද්‍ර කේ. බාලපටබැඳිගේ මහත්වරුන් ශ්‍රීලන්කන් සභාපති අජිත් ඩයස් මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටිනුයේ ප්‍රධාන විධායක නිලධාරියා තම වගකීම්වලින් බාහිරව ගොස් ගිවිසුම් අත්සන් කළේ කෙසේදැයි විමර්ශනය කරන මෙන්ය.

අමාත්‍යංශයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ ස්වාධීන මණ්ඩලය මගින් සිදුකරන විමර්ශනයක් තමන්ට අවශ්‍ය බව ඔවුන්ගේ ඉල්ලීමේ සඳහන් විය. නමුත් සභාපතිවරයා එම ඉල්ලීමට අවනත වූයේ නැත.

මේ අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි. ශ්‍රීලන්කන් ආයතනයට බැඳීමක් ඇතිවන අන්දමින් ලීසින් දීර්ඝ කිරීමේ ගිවිසුම්වලට එළඹීම හරහා ප්‍රධාන විධායක නිලධාරීවරයා තම බලතල ඉක්මවා ඇත්දැයි අදාළ තොරතුරු එම වාර්තාවෙන් ඉල්ලා තිබුණි. එම අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා සඳහන් කරනුයේ ඔවුන් එක්ව සිදුකළ ඔවුන්ගේ විමර්ශනයෙන් නිගමනය කළ හැකිවනුයේ කළමනාකාරීත්වය අධ්‍යක්ෂක මණ්ඩලයේ බලතල ඉක්මවා කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනී යන බවත් සමාගම අනවශ්‍ය ආකාරයේ නීති කටයුත්තකට මුහුණදීමේ අවදානමකට ලක්ව ඇති බවත්ය.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලැබී ඇති වෙනත් අදාළ ලියකියවිලිවලට අනුව දැක්වෙන්නේ 2017 වසරේදී පැවැති රැස්වීමකදී ප්‍රධාන විධායක නිලධාරියා තමන් පසුගිය වසරේ සැප්තැම්බර් ලීසින් දීර්ඝ කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබූ බවට දැනුම්දීමක් නොකර ඇති බවය. මෙම දීර්ඝ කළ ගිවිසුම් කිසිවක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී සභාගත නොකර තිබූ බවත් අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කර ඇත්තේ එක් ගුවන් යානාවක් සඳහා මාසික දීර්ඝ කිරීමක් බවත් අනෙක් ගුවන් යානා දෙකෙහි ලීසින් ගිවිසුම් අවසන් කළ යුතු බවත්ය.

කෙසේ වුවද කෙටි දීර්ඝ කිරීමක් සඳහා උත්සාහ කිරීමට කළමනාකාරීත්වයට උපදෙස් ලබාදුන් බව රත්වත්ත මහතා පිළිගනී. නමුත්  ඒ සමඟ ඔහු තර්ක කරනුයේ ගුවන් යානා තුනම සඳහා ලීසින් දීර්ඝ කිරීමේ තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කළ බවයි. සමාගමේ ලේඛන තුළින් මේ බැව් පෙන්විය හැකි බව ඔහු සඳහන් කරයි. එවැනි සාක්ෂි මින් පෙර ඉදිරිපත් කොට, මෙම කරුණු බේරුම් කිරීම සඳහා පත්කරනු ලැබ ඇති අමාත්‍යංශය කමිටුව මගින්ද පිළිගෙන ඇති බව ඔහු සඳහන් කෙරේ.

කෙසේ වුවත් මෙම නීති ගැටලු සහ මතභේද ශ්‍රීලන්කන් සමාගමට පැමිණ ඇත්තේ නරකම කාලයකදීය. පසුගිය සතියකදී ටෙක්ටාස් පැසිපික් ග_ප් (TPG) නම් ආයතනයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රීලන්කන් කළමනාකාරීත්වය බාරගැනීම සඳහා රජය මගින් ලැයිස්තුගත කරන ලද සමාගම නියෝජනය කරමිනි.
මේ සම්බන්ධව තීරණය ගැනීම සඳහා ශ්‍රීලන්කන් අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණි. මේ වනවිට බඳ පළල් ගුවන් යානා 13ක් සහ බඳ පටු ගුවන් යානා 10ක් ශ්‍රීලන්කන් සමාගම සතුව පවතී.

(සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලිපියක් ඇසුරෙනි)
♦ දිශානි ජයමාලි කරුණාරත්න