හම්බන්තොට ආයුර්වේදෙට අසාධ්‍යයි - රෝගින්
ඕවා බොරු කතා: චක්‍රලේඛ අනුව අපි වැඩ කරනවා - රෝහල් අධ්යක්ෂ
හෙළ ඔසු වර්ගවලට මුල්තැන දෙමින් මිනිසාත් පරිසරයේ වටිනාකම් නොඅඩුවම එකට බැදුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනතාව අතර අද වනවිට, මහත් ප්රමුඛත්වයක් ගෙන තිබේ. දුෂ්කර ප්‍රදේශයක ජනතාවට වඩාත් සමීපව තිබූ හම්බන්තොට ආයුර්වේද මහ රෝහලේ ඇතිවී තිබෙනා වත්මන් තත්ත්වය ඉතාමත් අසතුටුදායක බව වාර්තා වෙන්නේ මේ අතරය.
වර්ෂ 2010 මාර්තු මාසදී එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයක් යටතේ මෙම රෝහල ඉදිවූ අතර, බෙලිඅත්ත ආයුර්වේද රෝහලට පමණක් නොදෙවැනි ලෙස මෙහි කටයුතු සිදුකෙරිණි.
පසුගිය කාලය පුරාවටම මෙහි ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ගෙන් අප ලද ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ විශාල අර්බුදකාරී තත්ත්වයකට හම්බන්තොට ආයුර්වේද රෝහල දැන් පත්ව තිබෙන බවය.
රෝහල් බලධාරීන් විසින් චක්‍රලේඛ අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා නේවාසික රෝගීනට විශාල අපහසුතා රාශියක්ද පැමිණ තිබෙන බව සඳහන් වේ. ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සමස්ත රෝහල් පද්ධතියේම විශාල පසුබෑමක් බව රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන් ප්‍රකාශ කරනුයේ දැඩි කලකිරීමකිනි. මේ ගැන අපට කරුණු දැක්වූ දනුත් ඉන්දික (24) පල්ලෙමලල මහතා මෙසේ කියයි.
“හම්බන්තොට ආයුර්වේදයට නම් ලෙඩක් හැදිලා නවතින්න නම් එන්න එපා මහත්තයෝ... නේවාසික ඉන්න රෝගීන්ට වාට්ටුවල නිලධාරීන් කතා කරන්නේ සත්තුන්ට වගේ. රෑ මුරයට එන හෙද නිලධාරීන් හවස හයට දෙන්න තියෙන බෙහෙත්, රෑට කෑමෙන් පසු දීමට තියෙන බෙහෙත්, හිමිදිරියේ දෙන බෙහෙත්, මේ වැනි තුන් වතාවට දෙන පෙති, ගුලි, අරිෂ්ඨ සේරම එකපාරම දීලා රෑ අට වෙනකොට එයාලා වාෂ්ප වෙනවා. ආයෙමත් දකින්නේ පහුවැනිදා උදේ හයට පමණයි. මගේ කකුලේ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගන්න මම දවස් 11ක් ආයුර්වේදයේ නැවතිලා හිටියා.
අපට කෑමට දෙන කෑමබීම ඉතාමත් බාල තත්ත්වයේ තිබෙන්නේ. කිසිම කෑමවේලක් නියමිත වේලාවට ලැබුණේ නැහැ. දෙන කෑම බල්ලෙකුටවත් කන්න බැහැ. මම බැරිම තැන ආහාර ගැනීම නැවැත්තුවා. ඒක බලාගෙන හිටපු හෙද නිලධාරියෙක් ඇවිත් කිව්වා මගේ කෑමවේල් සියල්ල කපලා දානවා කියලා. කන්නවත් හරියට දෙන්නේ නැති නිසා නේවාසිකව සිටි වයෝවෘද්ධ සීයා කෙනෙක් එක දවසක් වාට්ටු භාර වෛද්‍යවරයාට මේ දුක අඬ අඬා කිව්වා. ඒ මහත්තයා කිව්වා, එදා ඒ ප්‍රශ්න ගැන ලියලා ලිපියක් දෙන්න කියලා. අපි ඊටපස්සේ මේ සිදුවන අකටයුතු ගැන ලියලා ලියුමක් භාර දුන්නා. අපිට ඕනෙ ඉදිරියට හරි මේ ප්‍රශ්න විසඳලා මේ රෝහල හොඳ තත්ත්වයට ගන්නයි.
හතරේ වාට්ටුවේ රෝගීන්ට යන්න තියෙන වැසිකිළිය, රෝහල් සේවකයෝ වහගෙන පාවිච්චි කරනවා. අපි රෝගීන් යන්න ඕනේ ඊට ඈත තියෙන වැසිකිළියකටයි. මේක ලෙඩ්ඩුන්ට කරදරයි. අපි අමාරැවෙන් දුරින් තියෙන වැසිකිළියට යන්න ඕනෙ. ලෙඩ්ඩුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ හරිම මන්දගාමීවයි.
රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමේදී දින කිහිපයක් විතරයි රෝහලෙන් බෙහෙත් ලබාදෙන්නේ. ඊටපස්සේ සමහර වෛද්‍යවරැ හම්බන්තොට අවට එයාලාගේ පෞද්ගලික ආයුර්වේද ඔසුසල්වල රෝහලට වඩා හොඳ ඉන්දියන් බෙහෙත් තිබෙන බව කියනවා. ඒවා ගත්තොත් ලෙඩ හොඳවෙන බවත් පවසනවා.
ඒ නිසා අපි ඒ බෙහෙත් රුපියල් 2500 යි, 3000/-ක් පමණ ගෙවලා එයාලාගේ ප්‍රයිවට් සාප්පුවෙන් ගත්තා. ලෙඩ්ඩුන්ට එයාලාගේ ප්‍රයිවට් සාප්පුවේ ගිනි ගණන් බෙහෙත් ගන්න වක්‍රව සැලැස්මකුත් මෙතන තියෙනවා. ඒවා ඉන්දියන් බෙහෙත් කිව්වාට බොරු ලේබල් ගහලා විකුණන ඒවා කියලා පේනවා. මේවා ගැන සොයලා බලන්න ඕනේ. අහිංසක රෝගීන් මර උගුල්වල දාන වැඩත් මෙතන තියෙනවා.
කේ.පී.ඒ. වර්ණවීර (64) දෙබරවැව
“මම හම්බන්තොට ආයුර්වේදයේ දින 14ක් නේවාසිකව සිටියා. උරහිස් කුහර තදවීමකින් ඇතිවූ වේදනාවකට නැවතිලා හිටියේ. මෙතන නේවාසිකව ඉන්න හරියට රෝගීන්ට කන්නවත් ලැබෙන්නේ නැහැ. කෑමවේල රෝගියකුට ලැබිය යුතු සම්පතක්. එය නිසි ලෙස ලැබිය යුතුයි.
මෙහි උදේ කෑම 9.30ට, දවල් 2.30ට ලබාදෙමින් රෝගීන්ගේ කෑම වේලාවන් පවා වෙනස් කරලා තියෙන්නේ. එහෙම දෙන බත් කටේ තියන්න බැහැ. ඒ තරමටම ඒවායේ ගල්වැලි. උදේ කෑමට බත් පීරිසියයි කිරිහොදි මේස හැඳි හතරයි දෙන්නේ. දවල්ට නම් එළවළු දුන්නාට වට්ටක්කා එක අඟලේ කෑල්ලයි, බෝංචි නම් කෑලි තුනයි හෝ හතරයි. වම්බටු නම් කැබලි තුනයි. මේ එළවළු දිනකට එකම වර්ගයක් පමණයි දෙන්නේ. ඊට අමතරව පලා මැල්ලුමක් දෙනවා. බත් ටික නම් කටේ තියන්න බැහැ. බොන්න දෙන තේ ඩයි දාලා වගෙයි. සීනි හැඳි බාගයක් අතට දෙනවා. මම සති දෙකක් නතර වී සිටියා. බත් වේල්වලට කිසිම දවසක් එක හාල්මැස්සෙක්වත් දුන්නේ නැහැ. මාළු, කරවල, බිත්තර, කෙහෙත්ම රෝගීනට දෙන්නෙම නැහැ. අපි අහන්නේ මේ ගම්වල අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ විදියට සලකන්නේ ඇයි? රජයෙන් මේවාට හොඳට ගෙවනවානේ. ආණ්ඩුවේ රෝහල්වල මීට වඩා ඉතාමත් හොඳට නේවාසික රෝගීන්ට සලකනවා. රජයේ රෝහල්වල කෑමවේල නියමිත වෙලාවට හොඳට ලබාදෙනවා. හම්බන්තොට ආයුර්වේදයට විතරයි මේ කුඩම්මාගේ සැළකිලි.
දියවැඩියා රෝගීන්ට අනුමත ආහාර වට්ටෝරු කිසිමදාක රෝගීනට ලැබිලා නැහැලු.
මේ රෝහලේ පත්තු බඳින්න ගෝස්, පුළුන්, ඔයිල් පේපර්, බැන්ඩේජ් පටි අපි කඩෙන් ගෙනියන්න ඕනේ. මේ වාට්ටුවල ඒවා නැහැ.
මම මේ ගැන බලධාරීන් දැනුම්වත් කළා. අපිට අවශ්‍යයි මේ රෝහල හොඳ තත්ත්වයෙන් තබාගන්න. මේක හම්බන්තොට ජනතාවට ලැබුණු දායාදයක්.”
එච්.එම්. පියසේන (58) ජූල්ගමුව
“මගේ වම් අත හිරිවැටිලා අංශභාග තත්ත්වයට ආවා. සිංහල බෙහෙත් ප්‍රතිකාර කරන්න මම මේ රෝහලේ නතර වුණා. මම දවස් 10ක් හිටියා. අපිට කන්න දෙන කෑමනම් හරිම සවුත්තුයි. වාට්ටුවල තත්ත්වය නම් කියන්න කනගාටුයි.
රෝගීන්ට සලකන්නේ මහ පහත් විදියට. කිසිම මනුස්සකමක් නැහැ. ආයුර්වේදය කියන්නේ බුදු දහමත් එක්ක යන ගමනක්. අපේ ගම්වල වෙද මහත්තයා පිරිත් කියමින් තමයි අපිට ඒ කාලේ පත්තු බැන්ඳේ. මේවායේ නම් අපි ගැන එයාලා සලකන්නේ මහ කරදරකාරයෝ කියලා. අපි ඉල්ලන්නේ අපිට මොකුත් එපා, කාරුණිකව අපිට කතා කරන්න. හොඳට අපේ කෑම වෙලාවට දෙන්න කියලයි.
හම්බන්තොට චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහලේ උදාවී ඇති තත්ත්වය ගැන ලැබෙන තොරතුරු අනුව මෙහි රාත්‍රී සේවා කටයුතු නිසි පරිදි සිදුනොවන බවත්, පෞද්ගලික පිරිසුදු කිරීමේ සේවයේ සිටිනා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වී ඇති බවත්, ආරක්ෂක සේවයේ දවල් දකින අය රාත්‍රී සොයා ගැනීමට අපහසු බවත් පැවැසේ.
එමෙන්ම රෝහල් මුළුතැන්ගෙයි කෑම පිසීම සිදුකරනුයේ කොන්ත්‍රාත් අයකු ලබාගත් ටෙන්ඩරයකින් බවත්, එහිදී රෝහලේම සේවය කරනා කම්කරුවන් එම කටයුතු සිදුකරනා බවටත් ආරංචි ලැබී තිබේ.
මේ පිළිබඳව හම්බන්තොට චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.බී. චන්දිමරත්න මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.
“ඇත්තටම අපේ රෝහලට අරක්කැමියෙක් නැහැ. ඒ නිසා ආහාර පිසීමේ සේවකයා සේවයට වාර්තා කරන්නේ පනාමුරේ වැනි ඉතා දුර ප්‍රදේශයක ඉඳලා. ඔහු උදේ හතට ඇවිල්ලා තමයි කෑම උයන්න ඕනෙ. ඒ නිසා උදේ කෑම නම් ටික වේලාවක් පරක්කු වෙනවා. ඒත් කොහොම හරි 8.30 වෙනකොට අපි කෑමවේල ලබාදෙනවා. දවල්, රාත්‍රියට එහෙම තත්ත්වයක් නැහැ.
මාළු, කරවල ලබාදෙන්නේ ධීවර සංස්ථාවේ ටෙන්ඩර් ක්‍රමයට. හොඳ මාළු රෝගීනට දෙන්න ඕනෙ නිසා ඒවා දෛනිකව ලැබිය යුතු වෙනවා. ඒ නිසා ඒවා ගබඩා කර රෝගීනට ආහාර සඳහා ලබාදෙන්න චක්‍රලේඛ අනුව බැහැ. ධීවර සංස්ථාවේ ටෙන්ඩර් ප්‍රමාද වීමක් නිසා තමයි රෝගීනට මාළු, කරවල දෙන්න බැරිවුණේ.
ඒත් ඒ ප්රශ්නය දැන් ඉවරයි. අපි ගිය සතියේ සිට නේවාසික රෝගීනට නැවත මාළු, කරවල ලබාදෙනවා. චක්‍රලේඛ අනුව රෝගියකුට දවසට දෙන ආහාර තුන්වේලටම හාල් ග්‍රෑම් 250ක් තමයි අනුමත කර තිබෙන්නේ. ඒ නිසා එම අනුමත ක්‍රමය අනුව තමයි අපි පරිපාලනය කරන්නේ.
රෝහල් මුළුතැන්ගෙයි කම්කරුවෝ දාලා කෑම පිසින්නේ නැහැ. ඒවා බොරු කතා. අපි වැඩ කරන්නේ අමාත්‍යංශයේ අදාළ චක්‍රලේඛ අනුවයි.
♦ ඡායාරූප සහ සටහන - රුක්මන් රත්නායක