2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

වීරයන්ගේ පාරමිතාව

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

අප්‍රේල් විප්ලවවාදීන්ට හැඟීම්බර මාසයකි. අවුරුදු කුමාරයාගේ කරට අත දා ගන්නට පළමුව ඔවුන් සිය අතීත ගමන් සගයන් සිහිපත් කළ යුතුව තිබේ. ඒ ධනවාදයට එරෙහි පීඩිතයන්ගේ පළමු සවිඥානික අරගලය සමරනු පිණිසය. 1971 අප්‍රේල් පස්වැනිදා මව්බිමට හිරු උදාවූයේ සුපුරුදු අලස කමින් යුතුව නොවේ. 1818 වෙල්ලස්සේ කැරැල්ලත්, 1848 මාතලේ කැරැල්ලටත් ඉක්බිති සියවසකටත් අධික කාලයක් නිද්‍රෝපගතව හුන් ජනතාවක් එදින වික්‍රමාන්විතව නැගී සිටියහ. තමන්ගේ හිසට ඉහළින් කාක්කෙක්වත් පියඹා යනු ඇතැයි සිහිනෙනුදු නොසිතූ ප්‍රභූ පාලක පන්තියක් සලිත කරන ලද අරගලයකට එදා ඒ ජනතාව දිවි හිමියෙන් පණ දුන්හ.

හතළිස් හය වසරකට පසු, නව සියවසක, නව සමාජ තත්ත්වයන් යටතේ කියවන විට අපට ඒ අරගලයේ විවිධ විෂයමූල මනෝමූල අඩුපාඩු පිළිබඳ තර්ක කරන්නට හැකිය. අපේ තර්ක කෙබඳු වුවත් එකී අරගලය සතු වූ විප්ලවවාදී පෞරුෂයට හෝ වික්‍රමාන්විත කැපකිරීම් සමූහයට දශමයක කැළලක් වන්නේ නැත. දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක නිර්මල බව පිළිබඳ උදාරම් පසෙක තිබියදී, ඒ යුගයේ ලාංකික සමාජය ගැන අවබෝධාත්මක කියවීමකට යන්නේ නම්, අපට හමුවනු ඇත්තේ බතින් බුලතින් සශ්‍රීක වූ, ආඪ්‍ය සංස්කෘතික ජීවිතයකින් හෙබි ජනතාවකට වඩා ඉතාමත් අසීරු සහ අවාසිදායක කොන්දේසි යටතේ ජීවිතය හා පොරබදන ලද ජනතාවකි. ඒ ජනතාව ජීවිතයේ සකල විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා වින්දහ. දිළිඳුකම, සූරාකෑම, අර්ධ වහල් බව, විරැකියාව, බඩගින්න මතු නොව කුල පීඩනයද යහමින් සිය අණසක පතුරවමින් සිටි සමාජයක මිනිස් ජීවිතයේ ගරුත්වය උදෙසා ස්පාටකස් වරයෙකු පහළ විය යුතු විය. සන්නද්ධවීම සඳහා හරිහමන් ආයුධයක්වත් නොතිබූ ඔවුන් රාජ්‍යයේ ආරක්ෂක මර්මස්ථානවලට කඩාවැදුණේ පොල්පිති අතැතිවය. එවකට සමාජවාදී චීනයේත්, සෝවියට් සමූහාණ්ඩුවේත් ජාත්‍යන්තර සහයෝගය සිරිමාගේ සභාගයට නොලැබෙන්නට ලංකාවේ පළමු විප්ලවවාදී රජය බිහිවනු ඇත්තේ එදාය. පරාජයෙන් කෙළවර වුවද 71 අරගලය ලංකාවේ සමාජ දේශපාලන ගමන්මග මත තීරණාත්මක පියසටහන් සමුදායක් තබා තිබෙන වග අප පිළිගත යුතුව තිබේ.

ඉන් වඩාත්ම වැදගත් වන්නේ සමාජවාදය උදෙසා වූ ඕනෑම පන්නයේ උත්සුකවීමක් අරභයා ඇතැම් කොටස් විසින් පැලපදියම් කොට තිබූ බෙලහීන මතවාද අකාමකා දමන්නට 71 අරගලයට තිබූ විභවතාවයයි. කොස් දෙල් තියෙන කල්, බුද්ධාගම තියෙන කල් ලංකාවේ අරගල කරනවා බොරු යැයි තෙපල තෙපලා හුන් කූල්ටූර් පැරණි වමට 71 අත්දැකීම විසින් එල්ල කරන ලද්දේ සුළුපටු කණේ පහරක් නොවේ. ඉන් දශක දෙකක් ගෙවෙන්නටත් ප්‍රථම එවකට එජාපයේ යැංකි ගැති ආර්ථික ප්‍රතිපත්තීන්ට එරෙහිවත්, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවත්, අධ්‍යාපනයේ ධවල පත්‍රකාවට එරෙහිවත්, යළි යළිත් සමාජය පෙළමින් තිබූ ලිබරල් ධනවාදයේ පළමු ඉනිමේ පීඩනයට එරෙහිවත් ජනී ජනයා නොපමාව සටන් මඟට අවතීර්ණ කරන ලද සටන්කාමීත්වයේ උත්තේජනය 71 අත්දැකීම විසින් නොඅඩුව නොඅලසව ප්‍රදානය කරන ලද්දක්යැයි යන්නද අප අමතක නොකළ යුතුය. එහි ගැබ්වූ වීරත්වයන් ගේ පාඩම් උතුරේ තරුණ කොටස් අතරටද පැතිරෙන්නට වූ වගට සැකයක් කොහෙත්ම නැත. උතුරේත් දකුණේත් පීඩිත ජනයාගේ අකලංක සන්ධානයකින් මෙහෙයවිය යුතුව තිබුණු ධනවාදයට එරෙහි සටනක් පටු දේශපාලන ඉලක්ක අත්පත් කරගනුවස් ක්‍රියාත්මකවීමේ සාපරාධී අත්වැරුද්ද මෙහිදී වෙනම කතා කළ යුතු මාතෘකාවකි. එවකට දකුණේ තුරුණ කවියෙකු වූ චන්දකුමාර වික්‍රමරත්න උතුරේ අරගලය ගැන වරක් මෙබඳු කවියක් ලිවීය. එකම අපායක දැවෙමින් සිටින විට වෙනම අපායක ඉන්නට පතයි ඔබ*

උතුරේ අරගලය ගැන කියවීම වෙනත් දවසකට ඉතුරු කොට 71 අත්දැකීමට නැවත සම වදින්නේ නම් එය පරාජයන්ගෙන් පාඩම් ඉගැන්වූ අරගලයකි. එකී අරගලකරුවන්ගේ වර්තමාන භාවිතය අප තුළද යම් යම් සංශයවාදී මනෝභාවයක් ඉතුරැකොට ඇතැයි පැවසීම 71 අත්දැකීමට කරන නිගරුවක් නොවේ. අප්‍රේල් පස්වැනිදා යනු ජනතා විමුක්ති පෙරමුණද, පෙරටුගාමීන්ද, තවත් ඇතැම් කොටස්ද 71 පරමාදර්ශ යළි යළිත් ස්මරණය කරමින් රතු මල් අත දරන දිනයයි. මල් අත දරන්නට කාට නමුත් හැකිමුත් වැදගත් වන්නේ, මේ සියවසේදීත් සමාජවාදය උදෙසා සටන් කිරීමේ අවංක වුවමනාව ඇත්තේ කා ළඟද යන්න තෝරා ගැනීමයි. ධනවාදයෙන් ඉතිහාසය අවසන්යැයි නොසිතන, ධනවාදය ස්වභාවිකයැයි නොසිතන තවමත් විප්ලවය කෙරෙහි අචල විශ්වාසය පළුදු කර නොගත්තෙක් ඇත්නම් අන්න ඒ විප්ලවවාදියාට 71උරුමය සැමරීමේ නිර්ව්‍යාජ නිර්මල අයිතිය ඇතැයි අපි විශ්වාස කරමු.

අප්‍රේල් මාසය විප්ලවවාදීන් හැඟුම්බර කරන් තවත් මතකයක් තිබේ. ඒ ගුණදාස කපුගේය. මින් වසර දාහතරකට පෙරාතුව එක් අප්‍රේල් මාසයකදී ඔහු අප හැර ගියේය. කපුගේගේ භෞතික ශරීරය අහිමි වුවද ඔහු අපට විඳින්නට තබා ගිය රසාත්මක කලාපය ඔහු අපේ සිත තුළ සදාතනිකව ජීවත් කරන වග අතිශයෝක්තියක් නම් නොවේ. සිය නම ඉදිරිපිටින් විශේෂණ බොහොමයක් සඳහන් කළ හැකි කලාකරුවන් අපේ කොදෙව්ව සතුව ඇත්තේ අල්පයකි. මානවවාදී, විප්ලවවාදී, ජනතාවාදී මේ ඕනෑම විශේෂණයක් කපුගේට ඔට්ටුය. ඔහු තරම් විප්ලවවාදීන්ට ළඟ ගායකයෙක් නැත. ඔහු තරම් පීඩිතයන්ට ළඟ ගායකයෙක් නැත. පාළුව දෙවනත් කරලා නාඩන් උලලේනෝ* යැයි ගයමින් 71 අරගලකරුවන්ගේ ඉච්ඡාභංගත්වයට පත් වූ ආත්මය ස්පර්ශ කරන්නට වරෙක ඔහු සමත් විය. ජීවිතයේ පීඩිත හද වේදනා යටින්, රණගීයක ජයනාදය ඈත ඇසෙනවා* යැයි ගයමින් අනාගත සමාජවාදී විප්ලවයක් පිළිබඳ අතිශය සුබවාදී හැඟුම් පීඩිත හද මනස තුළ ලියා තැබුවේද කපුගේමය. කරණවෑමියන්, ලෙලි තලන දෝණිවරුන්, පෙදරේරුවන්, රැකියා විරහිත තරුණයන්, ජීවනයේ සුඛවිහරණයන් සිය දුවා දරැවන් වෙනුවෙන් කැප කළ මව්වරුන්, පියවරුන් ආදී බොහෝ සමාජ පාර්ශවයන් ගැන ගැයූ එකම ලාංකික ගායන ශිල්පියා කපුගේය. පලා යයි ඔබේ ලොවින් මා දෙපා සමු නොදී යැයි ගයමින් සිය පංතියෙන් මිදෙන්නට වීමේ හෘද සාක්ෂිය ගායනා කරන්නට තරම් සවිඥානික වූ ගායන ශිල්පියාද ඔහුය. කලාවේ ඔහු පෙන්නුම් කළ මානවවාදය සිය ජීවිතය තුළද අඛණ්ඩව පවත්වා ගනිමින් අපේ යුගයේ පරමාදර්ශයක් බවට නැංවෙන්නට තරම් ඔහු විශිෂ්ට විය. ඉතින්, අදටත් ඔහු ලංකාවේ වික්ටර් හාරාය. ලංකාවේ බොබ් මාලේය. ලංකාවේ ජනතාවාදී ගායකයාය.

සමාජයේ මුළුමහත් සුබ සිද්ධිය උදෙසා කොන්දේසි විරහිතව සිය ජීවිතය කැපකරන්නට යමෙකු සමත් වන්නේ නම් ඔහු වීරයෙකි. මන්ද, ඒ වනාහී සියල්ලන්ටම කළ නොහැකි කැපකිරීමක් බැවිනි. එවැනි කැපකිරීමක් දෙවැනි වනුයේ බුද්ධත්වය පතා කෙරෙන පාරමිතාවකට පමණි. එබැවින් මේ අප්‍රේල් මාසයේදීද එබඳු විප්ලවවාදීන් අභියස නොනැමෙන හිසක් නොතෙමෙන නෙතක් නොගැහෙන පපුවක් ඇත්නම් ඉන් තේරුම් ගත හැක්කේ කුමක්ද.? කිසිසේත්ම ඒ අන් යමක් නොව, මානව ජීවිතය විකසිත කරන සමාජ වෙනසක ඒ මාහැඟි නවෝදයට අප තවමත් දුර වග පමණි.

 නලින්ද සංජීව

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00