2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ඉයස් මිනිස්ටර්!

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203
අලුත පත්වූ ඇමැති මණ්ඩලය, කියන පමාවෙන් වැඩ අරඹා තිබීම කාගේත් සතුටට කාරණයකි. සමහරු සමූහ ඡායාරූපයට හිඳගත් පසු, පුටුවටත් නොකියා පලා ගිය කතාද, තවත් සමහරු ඊටත් කලින් සපෝටර්ලා ද සමඟ ආපසු ගම්රටවල් බලා ගිය වගද අසන්නට ලැබුණත්, ඒවා අසුබ නිමිති යැයි නොසිතමු.
 
ඇමතිවරයෙකුට, රට වෙනුවෙන්ද, අමාත්‍යංශ වෙනුවෙන්ද ඉටුකළ යුතු කාර්යභාරය විශාලය. බැරූරැම්ය. එය වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙයි. එහෙත් පසුගිය කාලේ නම්, ඈලි මෑලි හා නිදිබර ඇමතිවරු පඩිත් කකා, කාලයත් කා දැමූ වග ජනතාවට රහසක් නොවේ.
මෙදා පාර නම්, ඇමැතිවරැත් සේල්ස් රෙප්ලා හෝ මෙඩිකල් රෙප්ලා හා සමානය. ඔවුන්ට හය මාසයක් තුළ ටාගට් කවර් කිරීමට සිදු වී තිබේ.
 
පාසලක වුවත් විදුහල්පති සැර නම්, ළමයින් අතර පමණක් නොව ගුරැන් අතරත් විනය රැකෙයි. පතෝල විදුහල්පතිවරු සිටින තැන, ළමයි පමණක් නොව ගුරෝද පිස්සු නටති. ලෝකු සර්ගේ කරේ නගිති.
මෙදා පාර, ඇමැති මණ්ඩලයට නම් හමුවී තිබෙන්නේ සැර - ලොකු සර් කෙනෙකි. එහෙයින්, ක්‍රීඩා ඇමති පුතාටවත් &සෙල්ලම්* දැමීමට ඉඩක් නැතිවනු ඇත. ඥාතීන්ගෙන් ඇමති මණ්ඩලයට අඩුවක් නැති වුවද, ඒ ඥාතීන්ට, තම ඥාතීන්ට සංග්‍රහ කිරීමට අවසර නොලැබෙනු ඇත. දැනට සිදුකර ඇති ඥාති සංග්‍රහය හොඳටම ප්‍රමාණවත් යැයි ඔවුන් වටහාගත යුතුය. නැති නෑදෑකම් ඇතිකර ගැනීම මිස, ඇති නෑදෑකම් නැතිකර නොගැනීමට ඔවුන් පරිස්සම් විය යුතුය.
මෙවර අමාත්‍ය මණ්ඩලයේ මැටි ඇමැති කෙනෙකු ද සිටීම ගැන සමහරු උපහාසයෙන් කතාකරනු අසන්නට ලැබේ. මගේ අදහස නම්, එය ඉතාම වැදගත් ඇමැති ධුරයක් බවය. මේ රටේ කෙරෙන මැටි වැඩ බොහෝය. ඒවා කළමනාකරණය කිරීමට, එක මැටි ඇමැති කෙනෙක් නොව දෙතුන් දෙනෙක් වුව පත් කරනු වටී.
 
මැටි ඇමැතිට සහාය පිණිස, කිරිමැටි, හුඹස් මැටි, පිඟන් මැටි යනාදී වශයෙන් උප ඇමැති තනතුරැ කීපයක්ද පිහිටුවිය හැකිය. ඒ අතරට මඩ ඇමැති කෙනෙක්ද පත් කිරීම සුදුසු යැයි සිතමු. රජයට එල්ල වන මඩ පහරවල් පිළිබඳව පරීක්ෂාවෙන් පසුවීම මෙන්ම, පාර්ලිමේන්තුවේදී එල්ල වන මඩ පහරවලට, ප්‍රති මඩ ප්‍රහාර එල්ල කිරීමද එම ඇමැතිට බාර කළ හැකිය. මැටි වැඩට මෙන්ම මඩවලටද, ආචාර්ය උපාධි පවා ලත් පුද්ගලයන්ගෙන් සිරි ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට අඩුවක් නැත.
බළලා මැට්ටෙන් හැදුවත්, මීයන් අල්ලනවා නම් මොකදැ*යි කියුමක් ජනවහරේ ඇත. අපටත් කීමට ඇත්තේ එයමය. පඹයා හරි හැටි කුඹුර රකිනවා නම්, උගේ හිස මැටි මුට්ටියක්ද, ගෝනි මල්ලක්ද යන්න අපට වැදගත් නැත.
නාමපුවරැ නොතිබුණත් පහුගිය කාලයේත් ඕනෑ පදං මැටි ඇමැතිවරු සිටියහ. සොක්කන් පමණක් නොව ලොක්කන්ද කියූ මැටි කතා, ජනතාවට අමතක නැත.
 
කංසා වගාව නීත්‍යානුකූල කළ යුතු යැයි නැවතත් කතා කරන්නට පටන්ගෙන තිබේ. හෙරොයින් ආදී මිල අධික මත්ද්‍රව්‍යද හිඟ වී, නැති වී යන හෙයින් මෙය කාලෝචිත මාතෘකාවකැයි කුඩ්ඩන්ට සිතෙන්නට පිළිවන. එහෙත්, කංසාවල ඇති ඖෂධීය වටිනාකම ගැන සිතන විට, කංසා ඇමැති ධුරයක් පිහිටුවීමෙහිද වරදක් නැතැයි කිව හැක. කොකේන් ඇමැති යැයි කියනවාට වඩා කංසා ඇමැති යැයි කීම නම්බුකාර නොවේද? තනතුරු නාම කෙසේ වෙතත්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හුණු වටයේ කතාවේදී කියුවාක් මෙන් දෙයක් වේ නම් ලොව - සුදුස්සාට ම අයිති විය යුතුය.
ඇමැති පදවි නාම ගැන සිනා කතා ඇසෙන, හැඟෙන මේ කාලයේ, චීනයේ ඇමැති මණ්ඩලයක් ගැන නිර්මාණය කෙරුණු අපූරු නාමාවලියක් යළි මතකයට නැඟෙයි. (ඇතැම් නම්, මෙරටටද ගැලපෙනු ඇත)
 
තැපැල් ඇමැති - ලියුං කියුං
ක්‍රීඩා ඇමැති - පිං පොං
ප්‍රවාහන ඇමැති - ගමං බිමං යමං
ආරක්ෂක ඇමැති - දඩිං බිඩිං ඩෝං
සෞඛ්‍ය ඇමැති - සනී පෙං දැං
ධීවර ඇමැති - අල්ලං කං
පරිසර ඇමැති - කැලෑ කපං
මුදල් ඇමැති - බං කළොත් මං
ගුවන් විදුලි ඇමැති - ගැයුම් වැයුං
සංස්කෘතික ඇමැති - නිකං ඉඳිං
මාධ්‍ය ඇමැති - මඩිං ගසාං
බන්ධනාගාර ඇමැති - හෙරෝ යිං
කෘෂිකර්ම ඇමැති - වවං කං
තරුණ කටයුතු ඇමැති - දුතිං මචං
සංචාරක ඇමැති - ගිහිං වරෙං
ආගමික කටයුතු ඇමැති - පිං පව්
(යාවත් කාලීන කරන ලදී)
 
80 දශකයේදී බී.බී.සී. 2 චැනලය තුළින් ඉයස් මිනිස්ටර් (Yes Minister) නමැති නාට්‍යමය වැඩසටහනක් ප්‍රචාරය කෙරුණි. ඇන්ටනි ජේ සහ ජොනතන් ලී විසින් පිටපත් කචනා කරන ලද එය මැති ඇමැතිවරුන්ගේ කටයුතු පසුබිම් කරගත්, උපහාසාත්මක කියුම්වලින් පිරුණක් විය. බ්‍රිතාන්‍යයේ ජනතාව අතර පමණක් නොව, නිර්දය උපහාසයට ලක් කෙරුණු මැති ඇමැතිවරු අතරද එය ඉමහත් ජනප්‍රිය ටෙලිවිෂන් වැඩසටහනක් බවට පත්විණි. මෙරට නිපදවුණු දේශපාලන උපහාස ටෙලිනාටක කිහිපය අතුරින්, ගිරිරාජ් කෞශල්‍ය නිර්මාණය කළ එතුමා මහත් සේ ජනප්‍රිය විය. එහි විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල ආදී දක්ෂ රංගන ශිල්පීන් කළ රඟපෑම්, එය නැරඹු ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවනු ඇත. කලාවේදී උපහාසය මිස අපහාසය භාවිතා නොකෙරේ. තිර රචක හා අධ්‍යක්ෂ ගිරිරාජ්ට, උසස් උපහාස නාටකයක් නිර්මාණය කළ හැකිවූයේ. එම ගුණය මනාව රැකි හෙයිනි.
 
උපහාසයේදී, දේශපාලකයා පතුරු ගැසිය හැකිය. එහෙත් එය රිදුම් දෙන්නක් නොවිය යුතුය. උපහාසය මෙන්ම හාස්‍යයද රසයකි. ඇතැම් විට එය හීන් සැරයකි
 
ඉයස් මිනිස්ටර් වැනි හොඳ ටෙලි වැඩසටහන් සඳහා යෝග්‍ය, තනතුරැ නාමවලින් යුත් ඇමැති මණ්ඩලයක් දැන් අපට සිටී. ඔවුන් කරන හොඳ දෙයට අපිදු ඉයස් මිනිස්ටර් කියන්නෙමු. එහෙත් එසේ නොවන තැන නෝ මිනිස්ටර් කියන්නෙමු. එහෙත් එසේ නොවන තැන නෝ මිනිස්ටර් කියන්නෙමු. අවුරුදු පහ අවසානයේදී කිසිදු වැඩක් කර නැති බව පෙනේ නම්, සොරි මිනිස්ටර් කීමටද අපට සිදුවනු ඇත.
එසේ නොම වේවා - රටට ජය වේවා!
 
කපිල කුමාර කාලිංග
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00