2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

බාල ටෙලිනාට්‍ය රසිකත්වය මොට කළා

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

- ප්‍රවීණ කිවියර ලාල් හෑගොඩ

සෞන්දර්යාත්මක ප්‍රවේශයකින් කවි ලියන ලාල් හෑගොඩගේ සයවන කාව්‍ය සංග්‍රහය කෝමළනී පසුගියදා විදර්ශන ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. කවියට සම්මාන රාශියක් දිනා සිටින ලාල් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්ද වෙයි.

ඔබේ කෝමළනි කාව්‍ය සංග්‍රහය එක්වර වෙබ් ප්‍රකාශනයක් සහ මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස නිකුත් වුණා. මේ ගැන කිව්වොත්?
එය බලාපොරොත්තු නොවූ සිදුවීමක්. කෝමළනි ප්‍රකාශ කරන්න සැලසුම් කළේ කොරෝනා කාලෙට ගැලපෙන සේ වෙබ් ප්‍රකාශනයක් ලෙස. එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් දැකලා විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක ඉණිමංකඩ මහතා පැමිණ එය මුද්‍රණයෙන් ප්‍රකාශ කිරීමට කැමති බව කියා, එයට මගේ අවසරය ඉල්ලා සිටියා.

අන්තර්ජාලයේ නොමිලයේ ප්‍රකාශයට පත් වූ පොතක් මුද්‍රණය කර විකිණීමෙන් සාර්ථකත්වයක් ලබාගත හැකිද යන්න මගෙ පැනය වුණා. ඉණිමංකඩ මහතාගේ අදහස වූයේ පාඨකයන් මුද්‍රිත පිටපත ලබාගැනීමට වඩා කැමැත්තක් දක්වන බවත්, එසේ නොවුණොත් එහි අලාභය විඳ ගැනීමට තමන් සූදානම් බවත් තමන්ට එහි අවසරය පමණක් ලබා දෙන ලෙසයි.

ඔබේ කාව්‍ය ග්‍රන්ථ හැම එකක්ම නම් කර තිබුණේ දීර්ඝ ගීතමය විදිහකට. ඉතා ජනප්‍රිය මා මිනිසෙක් ඔබ ගඟක් නිසා වගේම පසලොස්වක සඳ මගේය, ගඟක් වක්වී ගලන තැන, සඳුන් අරටුව දැල්වූයේ ඔබයි, මේ කව මෙතනින් නවතිමි, ඔබේ පාඨකයන් කවි පොත්වලට මෙන්ම මේ නම්වලටත් ඇලුම් කළා. ඔබේ නව කවි පොත නිකම්ම &කෝමළනි* කියා විතරයි. මොකද්ද මේ වෙනස?
මුල් පොත් හැම එකකම තිබුණේ කවි පොතේ කවියක කොටසක් නමට ගැලපෙන සේ සකසා ගෙන තමයි. මේකත් එහෙම තමයි. නමුත් එය කෙටියි. කවිය ඇරඹෙන්නේ නි ස්වරයේ කෝමළ ලෙසින්. එයයි මම කෝමළනි කියා සකසා ගත්තේ. ඒ පොතේ මුල් කවියයි. කෞෂිකි චක්‍රබෝති නම් උතුරු ඉන්දියානු සම්භාව්‍ය ගායිකාවක් ගැනයි මේ ලියවෙන්නේ.

කෝමළනි කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණ ගණනාවක් ගද්‍යමය ආකෘතියෙන් යුක්ත වන නිසා එය කවියෙන් ඈත් වන බව සමහරැන් කියනවා. ඔබට පිළිතුරක් තියෙනවද?
ගද්‍යමය ආකෘතියෙන් තිබුණත් කවියක් බවයි මම අදහස් කරන්නේ. පද්‍ය යම් නිර්මාණාත්මක අවස්ථාවක් කවියක් නොවන්නත් පුළුවන්. ආරියවංශ රණවීර කවියා ප්‍රකාශ කරනවා බටහිර කවියේදී හමුවන ගද්‍ය කාව්‍ය අපට සිහිගන්වන කෝමළනි කාව්‍ය සංග්‍රහයේ සන්ධ්‍යා නම් ගද්‍ය කාව්‍ය අපට හමුවනවා කියලා.

කවිය ඇත්තේ පොතේ නොව, රසිකයාගේ මනසේ බව පොතේ පෙරවදනේ සටහන් කරනවා. එය තවදුරටත් පැහැදිලි කරන්න.
ලියා අවසන් වූ දේ කොට්ටයක් යට තබාගෙන නිදාගතහොත් එය කවියක් වන්නේ නැහැ. එය රසිකයෙකුගේ නෙත ගැටෙන්නම ඕන. එතකොට තමයි කවිය බිහි වෙන්නේ. එතකොට පොතේ තිබුණේ මොකක්දැයි ඔබ අසාවි. ඒකට නමක් අවශ්‍ය නම් කවි බීජයක් කියා කියන්න පුළුවන්. අසිකයාගේ අත්දැකීම් වගේම භාෂා ඥානය, කුසලතාවය කියන පෝෂණය ලැබීමෙන් තමයි එය කවියක් වන්නේ. බීජය ජානයක් වගේ කවියක් ලෙස වැවෙන්න අවශ්‍ය සියලුම ලක්ෂණ එහි අඩංගු වෙනවා. මෙය පුබුදින්න සිතක් ඕන. ඒ ඒ සිත් අනුව කවිය වටහා ගන්නවා. කියවා ගන්නවා. සාර්ථක කවියක් කවි සියයක්, දහසක්, දස දහසක් වන බව මම කියන්නේ මේ නිසා.

කෝමළනි කාව්‍ය සංග්‍රහයේ ඔබ කැමතිම කවිය මොකද්ද?
උණහපුලුවාට ඌගේ පැටව් මැණික් වගේ. එහි එන හැම කවියකටම මම කැමතියි. එහෙම උත්තරයක් දීලා, ඔබේ ප්‍රශ්නයට සාධාරණයක් ඉටුවෙන්නේ නෑ. මම වඩාත් කැමති එක කවියක් සඳහන් කරන්නම්. නමුත් මේ කවිය ඉතා අසාධාරණයට මෙන්ම අපහාසයටත් පාත්‍ර වූ කවියක්. ඒක රයිෆලයට තවත් පතරොමක් ඔබමි කවියයි.

අද දවසේ මුහුණු පොතේ වගේම පුවත් පත්වල පළවන තරුණ කවි කිවිඳියන්ගේ බොහෝ නිර්මාණවල සියුම් බවක් නෑ. නිස්සාර පද මාලා තමයි තියෙන්නේ. මේ තත්ත්වයෙන් කවිය ඉහළට ගන්න මොනවද කළ යුත්තේ?
මෙය කවියේ පවතින තත්ත්වයක් පමණක් නොවෙයි. සමස්ත රසිකත්වයේම පවතින වැටීම තමයි ඒ. රසිකත්වයේ වැටීම සමස්ත කලාවටම බලපානවා. මෙය පිරිහීමට විද්‍යුත් මාධ්‍යයන්, අවර ගණයේ ටෙලි නාට්‍යත් මදි නොකියන්න බලපානවා. එය රජය විසින් හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වැඩිදියුණු කර දෙන දෙයක් නොවෙයි. අපි කරගන්න ඕන දෙයක්. ජ්‍යෙෂ්ඨ කවියන් විසින් කවියන්ගේ, රසිකයන්ගේ අධ්‍යාපනය හා ආස්වාදය සඳහා සාකච්ඡා සංවාද සංවිධානය කරන්න ඕන. මීට වසර විස්සකට පමණ පෙර තිබුණු විභවි ආයතනය එවැන්නක්. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ප්‍රවීණයාගේ මෙහෙයවීමෙන් තමයි මසකට වරක් එය පැවැත්වුණේ. අද සිටින ප්‍රවීණ කවීන්, තරුණ කවි කිවිඳියන් බොහොමයක් බිහිවුණේ විභවි සෙවණේ. විශ්වවිද්‍යාලවලටත් මෙවන් විවෘත සංවාද තියන්න පුළුවන්. රසිකත්වය වර්ධනය වූ විට කලාව වර්ධනය වෙනවා. මේ වගේ වැඩ කටයුතුවලට බලධාරීන් ශාලා පහසුකම් ලබා දුන්නම ඇති. හැබැයි රජය හෝ ආණ්ඩුවේ බලධාරීන් විසින් වැඩේට අතගහන්නේ නැතුව.


 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00