2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ලාබෙට ගහන පොත්වල දැනුමත් ලාබයි

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ගුරුගෙදර ග්‍රන්ථ කේන්ද්‍රය වාර්ෂිකව ගුරු නිර්මාණ කෘති රුසක් එළිදක්වයි. මේ එහි නිර්මාතෘ ඉන්දික සංජීව විතාන සමඟ කළ කතාබහකි.

කොහොමද ගුරු ගෙදර බිහිවෙන්නේ?
ගුරු වෘත්තියේ නියැලෙන නිර්මාණ‍ෙව්දීන් කිහිප දෙනෙකු සමඟ එකතුවෙලා 2009 අවුරැද්දෙ ජාත්‍යන්තර ගුරු දිනය දවසේ ගුරු ගෙදර ග්‍රන්ථ කේන්ද්‍රය බිහිවෙන්නෙ. ඒ අනුව අපි ගුරු ලේඛක සංචිතයක් බිහිකරලා තියෙනවා. එදා දො තුර හෙළ සාහිත්‍ය කෙත පෝෂණය කළ මුනිදාස කුමාරතුංග, සිරි ගුනසිංහ, මහගම සේකර, ගුණදාස ලියනගේ, සරත්චන්ද්‍ර ජයකොඩි වැනි ගුරැ ලේඛකයින්ගෙන් ගිලිහී ගිය පන්හිඳ නැවත අතට ගෙන සාහිත්‍ය ප්‍රඥාලෝකය දැල්වීමට අල්පමාත්‍ර වූ මෙහෙයක් හෝ කිරීමට ගුරු ගෙදර ලේඛක පරපුර ප්‍රතිඥා දි සිටිනවා. 

මේ වනවිට ගුරු ගෙදරට වසර 07ක්. ගත වූ කාලය තුළ ගුරුපරපුර වෙනුවෙන් කළ මෙහෙය මොනවගේද?
ගතවූ සත්වස තුළ මේ රටේ විශාල ගුරු පිරිසකට නිර්මාණකරණයේ දොරගුළු විවර කරදෙන්න අපට හැකිවී තිබෙනවා. 2010 වසර තුළ කෘති 14ක් 2011 වසර තුළ කෘති 18ක් 2012 වසර තුළ කෘති 16ක් 2013 වසර තුළ කෘති 21ක් 2014 වසරේ කෘති 20ක් 2015 වසර තුළ කෘති 20 සහ 2016 වසරේ කෘති 26ක් ජනගත කළා. වාර්ෂිකව ගුරු කෙටිකතා සංග්‍රහයක් පළකරනවා. කවි සරණියක් පළකරනවා.

මෙම අත්පිටපත් ප්‍රකාශයට පත්කරන්නට පෙර ප්‍රමිතිය පිළිබඳව සලකා බලනවාද?
ඔව්. අධ්‍යාපන අමාත්‍යංශය සහ තවත් ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කළ ළමා කියවීම් ද්‍රව්‍ය ඇගයීමට අදාළ නිර්ණායක මාලාව සකසන්න සක්‍රීය දායකත්වය ලබාදෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අනුව මම පෞද්ගලිකවම මෙම පොත්පත්වල ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ළමා සාහිත්‍ය කෘතියක් ගත්තහම සාහිත්‍යමය අංග, භාෂාවේ භාවිතය, පින්තූර හා චිත්‍රවල යෙදීම්, සමස්ත අන්තර්ගතය සහ පොත් නිමාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ගුරු ගෙදරට ලැබෙන සියලුම නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණතම විද්වත් සමීක්ෂණ මණ්ඩලයක් මගින් තමයි තෝරාගන්නේ. 

ගුරු ගෙදරින් ළමාපොත් රාශියක් එළිදකිනවා. ළමා පොත් ලිවීම පහසු කාර්යයක් කියලා ඔබ විශ්වාස කරනවාද?
කොහෙත්ම නෑ. වර්තමානයේ ළමා සාහිත්‍ය රචකයාගේ භූමිකාව වඩාත් ගැඹුරුයි. ළමයා මිනිසාගේ පියා වීමෙන් ඉතා සියුම් ලෙස අනාගතය මෙහෙයවන්නකු බවට පත්වෙලා තිබෙන නිසා ලේඛකයාගේ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය විසින් සංකීර්ණ වූ සමාජ ගැටලු රාශියකට පිළිතුරු සැපයීම මූලික වගකීමක්. මෙවලම් පිළිබඳ අවබෝධයෙන් ඔහු තම නිර්මාණ කුසලතාවය ඔප් නංවා ගත යුතුයි. 

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිරත කෙනෙක් හැටියට පාසල් සිසුන් තුළ සංසරණය වන බාහිර පොත පත ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
සියයට සියයක් සෑහීමකට පත් වෙන්න බැහැ. පාසල් පද්ධතිය තුළ අප නිරන්තරයෙන් අත්දකින කාරණයක් තමයි ළමුන්ගේ පරිශීලනයට නුසුදුසු පොත පත සංසරණය වන විත්තිය. සුදුසු පොත් නැතුවම නෙමෙයි. වාණිජ පරමාර්ථ මුල්කරගෙන ප්‍රකාශයට පත්කරන පොතපත පරිශීලනය ඇත්තෙන්ම ළමයින්ට දැඩි හානිදායකයි.

 පාඨක