තම පියා සමඟ පොත් ප්‍රදර්ශනයකට ගිය ශිෂ්‍යයෙක්, මහත් ආශාවෙන් ඉතිහාස පොත්ම තෝරාගන්නට විය. ඒ දුටු පියා, පුතාට මෙසේ කීවේය.
ඉතිහාස පොත්ම ගන්නෙ මොකටද? ඕවයෙ අනාගතය ගැන කිසි දෙයක් නෑ. අනාගතයට වැඩක් වෙන දෙයක් කියවන්න.
මෙය, පසුගිය කොළඹ පොත් දැක්මේදී අසන්නට ලැබුණු සිනා කතාවකි.
එහෙත්, සැබෑව නම්, ඉතිහාසය නොදන්නා පුද්ගලයාට හෝ ජාතියකට අනාගතයක් නැත යන්නය. ඊයේ ගැන නොදත් පුද්ගලයාට හෙටක්ද නැත යනු ඉහත කියමනම, නැවත කියැවෙන පිරුළකි.
ඉතිහාසයෙන් වැඩක් නැතැයි, ලොකු ලොක්කන්ට උපදෙස් දුන් අධ්‍යාපන ලොක්කන්ද ද මේ රටේ සිටි බව අමතක කළ නොහැක. අවසානයේ ඔවුන් ඒ උපදේශයනුත් සමඟම වැටුණේ, ඉතිහාසයේ කුණු බක්කියටය.
වර්තමානයේ නම්, උපදේශකයන් නැති තැනක් නැති වුණත්, ඉතිහාසයේ නම් උපදේශකයන් නොහොත් පුරෝහිතයන් සිටියේ රජතුමාටම පමණි. රජු වෙනුවෙන් කල්පනා කිරීම භාරව තිබුණේ පුරෝහිතටය. ඒ නිසා, පුරෝහිතවරුන්ට %රත්තරන් මොළ^ යැයි නමක් ද පටබැඳී තිබුණි.
පුරෝහිතවරු සිටි නිසාදෝ, ලෝක ඉතිහාසයේ බොහෝ රජවරුන් කල්පනා නොකර කටයුතු කර ඇති බවද පෙනී යයි. තම මොළයෙන් වැඩ ගැනීම නවතා, තව කෙනකුට ඒ වැඩේ බාරදුන් විට සිදුවන්නේ, තම මොළේ පල්වී, කුරුවල් වීමය. එවැනි රජකුට, තමන්ගේ රටේ බෝම්බ පිට බෝම්බ පිපිරුණත් ගාණක් නැත.
නිවැරදි උපදේශකයන් තෝරාගැනීම, රජකුගේ පැවැත්ම සඳහා බෙහෙවින් බලපායි. පැරණි සාහිත්‍යයේ ඒ බව කියැවෙන කතා බොහෝය.
එක් කැලෑවක රජකම් කළ සිංහයෙක් තම උපදේශකයා ලෙස නරියකු තෝරා ගත්තේය. නරියා කපටියකු බව සිංහයා ද නොදැන සිටියේ නොවේ. එහෙත්, රටක් රාජ්‍යයක් පාලනය කිරීමට නම්, යම් තරමකට කපටිකම ද අවශ්‍ය බව සිංහයා විශ්වාස කළේය.
ඒත් දිනක්, සිංහයාට බඩගිනි විය. නරියා ඇමතූ සිංහයා, &හොඳ තැනකින් මට හොඳ කෑමක් අරං වරෙන්* යැයි කීය. ඒ කාලයේ ලෝකයේ %ඔන් ලයින් ඕඩර්^ කිරීම් නොතිබුණෙන්, නරියා, රාජකීය භෝජනයක් සොයා කැලෑවට ගියේය.
ටික වේලාවක් යන විට, නරියාට බූරුවකු මුණගැසුණි. පෘෂ්ටිමත්ව වැඩී සිටි බූරුවා දුටු සැණින්, එය රජාට මෙන්ම තමාට ද හොඳ කෑමක් වන බව සිතූ නරියා, මෙසේ කීවේය.
යාළුවා, දැන් අපේ සිංහ රජා නාකියි. වැඩක් පලක් කර ගන්නත් අමාරුයි. ඒ නිසා රජකම බාරදෙන්න කෙනෙක් හොයනවා. මං තමුසෙට ඒක අරං දෙන්නං.. යමු සිංහයා මුණගැහෙන්ඩ.
අනේ ආයුබෝං, මට මොන රජකම්ද? මම බූරුවෙක් නෙව.
බූරුවා මැළි කළේය.
පිස්සුද ඕයි.. තමුසෙට වඩා බූරුවො, රජකම් කරල නැද්ද අපේ ඉතිහාසයෙ. අනික, රජ සැප විඳින්න මොන බූරුවද ඕයි කැමති නැත්තෙ. යමු යමු.. මේ චාන්ස් එක අතෑරියොත් නම් තමුසෙ නිකං බූරුවෙක් නෙවෙයි, ගොන් බූරුවෙක්.
රජ සැප ගැන නරියා කළ විස්තර, වර්ණනා ඇසීමෙන් පසු, බූරුවා ද රජකමට කැමතිව සිංහයා හමුවීමට කැමැත්ත පළ කළේය
කුසගින්නේ ඈනුම් අරිමින් සිටි සිංහයා, පෘෂ්ටිමත් බූරුවා දුටු සැණින්, නරියාට &තැන්කියු* වත් නොකියා, ඌ මත කඩා පැන මරා දැමුවේය.
රජතුමනි, කෑමට කලින් නෑමට ගියොත් හොඳ නැද්ද? ඊටපස්සෙ පොඩි ඩ්‍රින්ක් එකක් හෙම දාලා, බූරු මස් කමු.
නරියාගේ කීම ඇසූ රජු, ගඟට ගියේය. රජා කෑමට ආපසු, තමාට ඉතිරි කරන්නේ බූරුවාගේ පශ්චාත් භාගය වැනි නීරස කොටස් බව දත් නරියා, බූරුවාගේ මොළය කා දමා, නිහඬව සිටියේය.
නෑමෙන් පසු, කෑමට සූදානම් වූ රජු, බූරුවාගේ මොළය සොයා, එය නැති බව දැන, නරියා දෙස බැලීය.
කෝ පුරෝහිත, මේකගෙ මොළේ?
අනේ රජතුමනි, මොළේ කළඳක් හරි තිබුණ නං මේකා ඔබතුමා ළඟට එනවයැ.
නරියා, ඉවත බලාගෙන පිළිතුරු දුන්නේය.
රජවරු, උපදේශකයන්ගෙන් පරිස්සම් විය යුත්තේ එහෙයිනි. ලෝක ඉතිහාසය දෙස බලන කල, නරි පමණක් නොව බූරුවෝ ද උපදේශකයන්, පුරෝහිතයන් වී සිටි බව පෙනී යයි.
ලෝකයේ ඇති උපහාස කතාවලින් වැඩි කොටසක් නිර්මාණය වි ඇත්තේ. පණ්ඩිතයන්ගෙන් නොව, සාමාන්‍ය මිනිසුන්ගෙනි. එබඳු කතා, කටින් කට, රටින් රට ගොස්, කාලයට ගැලපෙන සේ වෙනස් වී සකස් වෙයි. රුසියාවේ, ස්ටැලින් සමයේ පැතිරුණු එබඳු කතා බොහෝමයක වර්තමාන කතා නායකයා, ව්ලද්මීර් පුටින් බවට පත්වී තිබීම එයට නිදසුනකි.
රුසියාවේ, ක්‍රෙම්ලීන් චතුරස්‍රයට පැමිණි මැදිවියේ පුද්ගලයෙක්, උස් හඬින් කෑ ගසන්නට විය
&අපේ රට විනාසයි. හිනාවක් මූණෙ නැති, අර මෝඩ මුඩුම තට්ටයා බලයට ආවට පස්සෙ තමයි අපි නැත්තට නැතිවුණේ. සෝවියට් දේශය නැතිකෙරුවෙ ඌ තමයි. දේශද්‍රෝහියා.
මෙය ඇසූ, රහස් පොලිස් නිලධාරියෙක්, ඔහු අත්අඩංගුවට ගෙන ජනපති පුටින් වෙත ගෙන ගියේය. පුටින් කාරණය විමසුවේය.
අනේ, මම එහෙම කිව්වෙ ඔබතුමාට නෙවෙයි. අර කලින් හිටපු ගෝර්බෂොප්ට.
එම පුද්ගලයා කියූ විස්තර, ගොර්බෂොප් ජනාධිපතිට ද ගැලපෙන බව වටහාගත් පුටින්, ඔහු නිදහස් කළේය. ඉන්පසු රහස් පොලිස් නිලධාරියා දෙසට හැරී මෙසේ ඇසුවේය.
තමුසෙ කොහොමද හිතුවෙ ඒ මිනිහ බණින්නෙ මට කියලා?
ඉන්පසු, රහස් පොලිස් නිලධාරියා ගැන ආරංචියක් නැත.
කපිල කුමාර කාලිංග