දැන් ලංකාවේ නිව්ස්වල තියෙන්නේ 19යි 20යි 21යි විතරයි
කොවිඩ් 19
20 සංශෝධනය
21 පාස්කු ප්‍රහාරය
ඉහත දැක්වුණේ, පසුගිය සතියේ මුහුණුපොතේ දක්නට ලැබුණු හොඳ උපහාසයකි. එයට, රිෂාඩ්ගේ හැංගිමුත්තන්, පොඩි ලැසීගේ මේකප් පෙට්ටිය, මත්ද්‍රව්‍ය වැටලීම් පමණක් නොව, හිටපු ජනාධිපතිගේ හා පොලිස්පතිගේ කතා ද එක් කරන්නට තිබුණි.
ජනාධිපති සිරිසේනට, මෝදිගේ අත් නැති ජැකට්ටුව ඇන්ඳූ කාටුන්කාරයෝ, දැන් ඔහු බබාට අන්දති. පොලිස්පතිටත් සිදුවී ඇත්තේ, යුනිෆෝම් ගැලවූ රාළහාමිට සිදුවන දේමය.
ජනපති, පොලිස්පති දෙදෙනා ගැනම සිතන විට, රේන්ද රාළගේ කතාව ද මතකයට නැගේ. රේන්ද රාළට බලය, ධනය තිබෙන කාලේ, ගෙදර හිටිය බල්ලාගේ මරණයටත් අහල ගම් හතකින් සෙනඟ ආවෝය. එහෙත්, රේන්ද රාළගෙ මළගමට බල්ලෙක්වත් ආවේ නැත.
උපා දන්නෝත්, බණ දන්නෝත් අපායේ නොවැටෙතැයි පිරුළක් ඇත. එහෙත් හිරේ නොවැටෙතැයි ඉන් කියැවෙන්නේ නැත. නඩුකාර හාමුදුරුවන්ගේ වත්තේ ළිඳ කැපූ පලියට, උසාවියෙන් ගැලවීමක් නැත.
හැටේ දශකයේදී නම්, සිරි ලංකාවේ සමාජයේ අපි ඔක්කොම සමානය. රොබින් තම්පෝ එ නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේ එහෙයිනි. එහෙත් ඒ කාලයේදීම, චිත්‍රපටය නරඹන්නට ගිය රසිකයනට වැටහුණේ සමාජය එක හා සමාන නොවන බවය. චිත්‍රපට ශාලාව තුළ ද පන්ති භේදයය. බැල්කනියට ඇඳි පුටුය. ගැලරියට මකුණු බංකුය.
අමාරුවේ වැටුණු ලොකු ලොක්කන්ට, සමාජය පිරී ඇත්තේ කෙළෙහි ගුණ නැති, ගුණමකුවන්ගෙන් යැයි සිතෙන්නට ද පිළිවන. අනෙක් අතට, ලොවට හොඳ මිනිසුන් වාගේ අඟවාගෙන සිටින උදවිය ද, වැරදි නොකරනවා නොවේ. මීයකු දුටු විට, බළලා පනින්නේ, සිල් රෙද්ද පැත්තකට දමමිනි. සිකේදක්දා මහත්මයා නමැති අප්‍රකට ජන කවියකු මෙසේ කියා ඇත්තේ එහෙයිනි.
බෝමන් ඇති කෙනෙක් නැත කට පණ වැන් න
ඒනන් කොහොමදැයි මිතුරනි අහපන් න
මානන් සිල්වතෙකි කියමින් රුක උන් න
මීයන් නැසූ උපාසක බළලා මෙන් න
උපාසක බළල්ලු මීයන් අල්ලන්නෙ දෙක දෙක යැයි ජනවහරේ පවතින්නේ ද මේ නිසාය.
සුදු රෙද්ද පින් කිරීමට මෙන්ම, පව් වසා ගැනීමට ද යොදාගත හැකි බව, තේරුම් ගැනීමට දියවන්නාවටම යා යුතු නැත. කෙසේ වෙතත්, &කරන කලට පව් මීරිය මීසේ - කරන කලට දුක් දැඩි වෙයි ගිනි සේ* යන උපදෙස ද කවුරු කවුරුත් සිහියේ තබාගැනීම වැදගත්ය.
ඉතිහාසය යනු බලය ලබාගැනීමට වෙහෙසුණු මිනිසුන්ගේ කතාව යැයි කියමනක් ඇත. තවත් කෙනකුට අනුව, ඉතිහාසය යනු රුධිර ප්‍රවාහයකි. ඒ කතා බතා කෙසේ වෙතත්, බලය නිසා සිදු වූ අවුල් වියවුල් ගැන නම් නොයෙක් රස කතා ඉතිහාසය පුරාම දක්නට ඇත. පසු කලෙක සයිමන් නවගත්තේගමට අත්පත් වූ %සුබ සහ යස^ කතාව ද, විනෝදය උදෙසා තාවකාලිකව බලය හුවමාරු කර ගැනීමට ගිය රජකුට වූ අකරතැබ්බයකි. බැලූ බැල්මට හාස්‍යෝත්පාදක කතාවක් සේ පෙනෙතත්, එය ලංකා ඉතිහාසයේ සැබෑ කතාවක්ම වන බැවින්, නූතන දේශපාලනඥයෝ නම්, විහිළුවටවත් බලය බෙදාගැනීමට යන්නේ නැත.
බලය ලැබගත්තෝ බලය රුකගැනීමට වෙර දරති. බලය නැත්තෝ, බලයට ඒමට වෙර දරති. මෙය දේශපාලනයේ සදාකාලික ස්වභාවයයි. ලෝකයේ සිටි ඉතාම බලකාමී නායකයන් දෙදෙනකු වූ ඇලෙක්සැන්ඩර්ට හා හිට්ලර්ට සොහොන් කොත් දෙකක් පවා හිමිවූයේ නැත. අනෙක් අතට කිසිදු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වසර සීයක් දෙසීයක් ජීවත් වූයේත් නැත. සියලු සෙල්ලම් ඉන්නා ටිකටය.
මහා ඇලෙක්සැන්ඩර් තම මරණ මංචකයේ දී, හිතවත් සෙන්පතියන් ළඟට කැඳවා මෙසේ කීය. මිත්‍රවරුනි.. මගේ දේහය ගෙන යන අවමංගල පෙරහරේ, දේහය අසලින්ම මගේ රාජකීය වෛද්‍යවරු සියලු දෙනාම ගමන් කරන්න ඕනෙ.
සෙන්පතිවරු එකඟ වූහ.
ඇලෙක්සැන්ඩර්, නැවතත් ඉල්ලීමක් කළේය.
මිත්‍රවරුනි.. මගේ අවමංගල පෙරහරේදී රන්, රිදී කාසි, මුතු මැණික් මග දෙපස විසුරුවමින් ගමන් කළ යුතුයි.
සෙන්පතියන් එකඟ වූ අතර, ඇලෙක්සැන්ඩර් තෙවැනි ඉල්ලීම ද කළේය.
මිත්‍රවරුනි.. මගේ දේහය ගෙන යන පෙට්ටියෙන් මගේ අතක් එළියට දමාගෙන ගෙනියන්න.
සෙන්පතිවරු එකඟ වූහ. එක් සෙන්පතියෙක් මෙසේ විමසීය.
උතුමාණෙනි, ඔබේ මේ අවසාන ඉල්ලීම් තුනේ තේරුම කුමක්ද?
එවිට ඇලෙක්සැන්ඩර් මෙසේ පිළිතුරු දුන්නේය.
මිත්‍රවරුනි, පළමුවැනි ඉල්ලීමේ තේරුම, මට කොතරම් දක්ෂ වෛද්‍යවරුන් සිටියත් ඒ කිසිවකුට මගේ ජීවිතය බේරාගත නොහැකි වූ බව ජනතාවට දැනුම් දීමයි.
දෙවැන්නේ තේරුම, මම විශාල ධනයක් එක්රුස් කළා. එහෙත් ඒ කිසිවක් මට, මා සමඟ ගෙන යා නොහැකි බව ජනතාවට දැන්වීමටයි.
තුන්වැන්නේ තේරුම, මා කොතෙක් බලවන්තයෙක් වුණත් මෙලොවට ආවෙ හිස් අතින්. ඒ වගේම, ආපසු යන්නේත් හිස් අතින්.
පාලකයන්ගේ ජීවිත පිළිබඳ මෙබඳු උපදේශාත්මක කතා බොහෝය.
සෝවියට් දේශයේ සිටි බලවන්තම පාලකයා වූ ස්ටාලින්, දිය නෑමට ගිය අවස්ථාවක, ගඟේ ගිලී ගසාගෙන යන්නට විය. පහළ තොටුපළක සිටි ඔරුකාරයෙක් ඔහු බේරාගත්තේය.
මහත් සතුටට පත් ස්ටාලින්, ඔරුකාරයාගෙන් මෙසේ ඇසීය.
සහෝදරයා.. ඔබ මගේ ජීවිතය බේරාගත්තා. ඔබට මගෙන් විය යුත්තේ කුමක්ද?
මම ඔබතුමාව බේරගත්තා කියල කාටවත් කියන්න එපා.
ඔරුකාරයා බැගෑපත්ව ඉල්ලා සිටියේය.
සිනා කතාවලට ද ඇත්තේ මහා බලයකි!
එසේම, බලයෙන් සිනා ගැස්වීමට ද නොහැකිය.
I කපිල කුමාර කාලිංග