2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

සුපර් ස්ටාර් නවකතාකාරයෝ නැහැ

2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00136

 

ප්‍රවීණ සම්මානනීය ලේඛක ටෙනිසන් පෙරේරා ලියූ අලුත්ම නවකතාව කොරෝනා කාලේ අබිරහස් ජීවිත සරසවි ප්‍රකාශනයක් ලෙසින් පසුගියදා නිකුත් කෙරිණි. ලෝකයම බියට පත් කළ කොරෝනා වසංගතය කතුවරයාගේ පරිකල්පන ලෝකයට හසුවන ආකාරය මෙහිදී විඳගත හැකිය. කතුවරයා මෙයට පෙර උන්මාද මන්දිර, මහා රාවණ, දණ්ඩ භූමි, අභිරහස් ජීවිත තරණය ඇතුළු නවකතාවලින් දුටු සමාජ විවරණය තවදුරටත් ඉදිරියට ගෙන යමින් කොරෝනා කාලේ අබිරහස් ජීවිත රචනා කර තිබේ.

ඔබේ කොරෝනා කාලේ අබිරහස් ජීවිත* නම් නවකතාව ගැන අපට විස්තරයක් කළහොත්? 

මෙම නවකතාව හුදෙක්ම කොරෝනා කාලේ පාදක කරගත් නවකතාවක් නොවෙයි. සාමාන්‍යයෙන් කොරෝනා කාලයේ පරිසරය, වෙසෙසින්ම ජන විඥානය මෙහිදී ප‍්‍රබන්ධයේ අන්තර්ගතය පෝෂණය පිණිස භාවිතාවට ගෙන තිබෙනවා. ඇතැම් කොරෝනා රෝගී චරිතයන්ද එම චරිත හා ගැටෙන චරිතයන්ද දැක්ක හැකියි. මෙහි චරිත නායකයා වන්නේ කොරෝනා කාලේ පැමිණි විදේශ භාෂාවක් කතාකරන අද්භූත විදේශීය වෛද්‍යවරයෙක්. අධිමානසික බලයක් ඇති ඔහු කොරෝනා රෝගීන් මරණයෙන් බේරාගන්නවා පමණක් නොව ඇතැම් ස්ත‍්‍රීන් හා පෙමින් බැඳී ලෞකික ජීවිතයක් අපේක්ෂා කරන්නෙක්ද වෙනවා.

නවකතාෙව් ෙදාස්තර කළු චරිතයක් බවට පත්වන බව ෙප්නවා....

ඔව්. ඔහු තමා විසින් ප‍්‍රාණය ලබාදුන් රෑමතියක් හා පෙමින් බැඳෙයි. ඇය සැමියාගෙන් වෙන්ව ඔහු හා එක්වීමට දරන උත්සාහයත්, එයට අකුල් හෙලන රෑමතියගේ සැමියා අතර ගැටුමත් මෙහිදී දැක්ක හැකියි. කෙසේවුවත් වෛද්‍යවරයා‍ගේ ලෞකික ජීවිතයේ දුබලතා නිසා ඔහුගේ ප්‍රේමය බිඳවැටී අපේක්ෂා ශූන්‍ය වී යයි. කතා වෘතාන්තය සරලව මෙසේ දැක්වුවත් මෙම නවකතාවේ අන්තර්ගත තේමාව බෙහෙවින්ම සංකීර්ණ තල මාන හරහා යමින් පාඨකයා නොසිතූ වින්දන පරාසයකට රුගෙන යන්නක් බව කිව යුතුයි. 

මෙයට පෙර ඔබ බොහෝ විට පාදක කර ගත්තේ සමාජයේ අතීත සිද්ධි පාදක කරගත් නවකතා බව පෙනෙනවා. මෙවර කාලීන සිද්ධියක් යොදා ගැනීමට සිතුණේ ඇයි?

මා පවතින යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමට අභිරැචියක් දක්වන ලේඛකයෙක්.  මගේ ඵෙතිහාසික නවකතා හැර සෙසු ඒවායේ අන්තර්ගතය වී තිබෙන්නේ කාලීන ලාංකික යථාර්ථයයි. යුද්ධය හා හැත්තෑ එකේ සහ අසූ නවයේ තරැණ නැගිටීම ආදී සිද්ධි මා ඒ කාලයේම නවකතා නිර්මාණය සඳහා යොදාගත්තා. අනතුරැව මා වාණිජ ආර්ථිකය නිරෑපණය කරන නවකතා ලිව්වා. මම මේවා රචනය කළේ සමකාලීනයෙක් වශයෙන්. සමකාලීන සිදුවීම් මගේ ප‍්‍රබන්ධවල ප‍්‍රතිනිර්මාණය වී තිබෙනවා. වසර පනහක පමණ කාලයක් තුළ නවකතා ලියන්නෙක් වූ මා හැමවිටම සමකාලීන යථාර්ථය අතහැර ගියේ නැහැ. මා මේ වනවිට කොරෝනා සමයට අතිශයින්ම සමීප වී සිටියත් වසංගත යුගයන් අලලා ලියන ලද නවකතාවලින් මා ලැබූ අනුභූතිය අසීමිතයි.

එවැනි නවකතා ගැන කිව්වොත්?

ඇල්බෙයා කැමූගේ මහාමාරිය නවකතාවේ චරිත නායකයා වූ බර්තාරිය හා ගර්ෂියා මාර්කෙස්ගේ කොලරා කාලේ ආලේ නවකතාවේ චරිත නායකයා වූ හුවෙනාල් උර්බිනෝ අදත් මගේ මනසේ රජයනවා. මගේ කොරෝනා කාලේ අබිරහස් ජීවිත නවකතාවේ චරිත නායකයා වන්නේද මේ ආකාරයටම වෛද්‍යවරයෙක්. ඇත්ත වශයෙන්ම කොරෝනා කාලේ අලලා නවකතාවක් ලිවීමට මගේ අදහසක් තිබුණේ නැහැ. මා මේ වන විට වෙනත් නවකතාවක් ලියමින් සිටියේ. එය කලක් තිස්සේ සැලසුම් කළ නවකතාවක්. එහෙත් අප සමාජය මතට කඩාවැටුන වසංගත ව්‍යසනය අපේ මනස් වෙනස් කළා. කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාව සහ පාලනයේ අනාථවීම අපේ මනසේ රජයන්ට වුණා. සමාජය ගැන පරිකල්පනාත්මක අදහස් මතු වෙන්නට වූවා. මේ නයින් සමීපතම කාලීන සිද්ධිය වෙනත් ආකාරයට ප‍්‍රති නිර්මාණය කිරීමේ ජවය මනස තුළ ඇති වූවා. මෙය මෙලෙස ප‍්‍රතිසන්ධිය ලැබූ ප‍්‍රබන්ධයක් බව අවංකවම කිය යුතුයි.

විචාරකයන් පවසන්නේ යම් සිද්ධියක් නිර්මාණකරැවා තුළ ටික කලක් පවතින විට එය මෝරා හොඳ නිර්මාණයක් එළිදකින බවයි. මෙය උණුඋණුවේම නවකතාවක් ලිවීමක්ද? 

නැහැ. මෙම අදහස යථාර්ථවාදී විචාරකයින් කලක් තිස්සේ දරන මතයක් තමයි. මෙයම වෙනත් ආකාරයට පවසන්නේ නම් හොඳ නවකතාවක් බිහිවීමට නම් අත්දැකීම් පරණ විය යුතු වෙනවා. අත්දැකීමක් පරණ වීමෙන්ම හොඳ නවකතා බිහිවෙතැයි කීම අප තුළ ප‍්‍රචාරය වූ අසම්පූර්ණ අදහසක්. මෙය පිරිපුන් අදහසක් වීමට නම් අත්දැකීමක් පරණ වනවාට වඩා එය ගැන බලන දෘෂ්ටියද පුළුල් විය යුතුයි. හෙළන දෘෂ්ටිය විචක්ෂණ විය යුතුයි. ප‍්‍රබන්ධමය අගයක් නොමැති නම් අත්දකීමක් පරණ වුවත් ඵලයක් අත් නොවේ. වෙසෙසින්ම අවශ්‍ය වන්නේ සිද්ධිය තමා තුළ තබාගෙන අටුකොස් කිරීම නොව සිද්ධිය බහුමානයන් දෙසට හැරවීමේ කලාත්මක පරිකල්පන ශක්තියයි. 

අද සමහරු සුපර් ස්ටාර්ස්ලා වගේ ක්ෂණික නවකතාකරැවන් බවට පත්වෙන බව පෙනෙනවා. ඔවුන් නවකතා කලාව ගැන කිසිම අධ්‍යයනයක් කරන බවක් පේන්නේ නැහැ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද? 

මෙය අද සුලබව දැකිය හැකි දෙයක්. නවකතාව, කෙටිකතාව, කවිය වැනි සාහිත්‍ය නිර්මාණ කරන නවක ලේඛක ලේඛිකාවන්ගේ සාහිත්‍ය හැදෑරීමක් නැහැ. සාහිත්‍ය හැදෑරීමෙන් හා පොතපත කියවීමෙන් සාහිත්‍යකරුවන්ට ලැබිය හැකි දැනීම අතිමහත්.  විශ්ව නවකතා තබා දේශීය නවකතා පවා කියවන අය අඩුයි. සමහර විට තමන් ලියන දේ පවා දෙතුන් වතාවක් කියවා බලන්නේ නැහැ. මෙය අද නවකයින්ගේ තිබෙන දුබලතාවක්. එක රැයෙන් සුපර්ස්ටාර්ස්ලා වගේ නවකතාකරැවන් හෝ කෙටිකතාකරැවන් හෝ කවියන් බිහිවෙන්නේ නැහැ. එයට කැපවීමක් හා හැදෑරීමක් අවශ්‍යයි. මෙය නවකයින් දැන සිටිය යුත්තක්.

නිර්මාණ කලාව වෙනුවෙන් දුක් විඳින්නට සිදුව ඇති බව ඔබ පවසනවා. එයට හේතුව? 

නිර්මාණකරැවා දෙආකාරයෙන් දුක් විඳින බව පැවසිය යුතුය. සැබෑ නිර්මාණකරැවෙක් නම් ඔහු තම කලාව වෙනුවෙන්, එය හැදෑරීම වෙනුවෙන් ජීවිතය කැප කර දුක් විඳිනවා. ඔහුට බොහෝවිට තිබෙන්නේ විඳවන ජීවිතයක්. ආර්ථික අපහසුකම් නිසා ඔහුට සැපවත් ජීවිතයක් උරැම නැහැ. මෙය තම කැමැත්තෙන් අත්පත්කර ගත්නා තත්ත්වයක්. දෙවැන්න වන්නේ තමා වෙහෙසින් කළ නිර්මාණ සඳහා නිසි වෙළඳපොළක් නොතිබිමයි.

සම්මානලාභී ලේඛකයෙක් ගේ පොත්වලටත් වෙළෙඳපොළක් නැද්ද?

උදාහරණයක් ලෙස කියනවා නම් මා විසින් පසුගිය වසර දෙකහමාර තූළ වෙළුම් 11 එකොළහකින් යුත් අරාබි නිසොල්ලාසයේ පරිවර්තනයක් කළ අතර, ඒ සඳහා දිනකට පැය අටක් වැය කිරීමට සිදුවුණා. ප‍්‍රකාශකතුමා මහත් පිරිවැයක් දරා මුද්‍රණය කර දුන්නත් මගේ වෙහෙස මහන්සියෙන් සියයෙන් දහයක්වත් ලැබුණේ නැත. මෙය සඳහා මා වූ වෙහෙස දන්නේ මගේ පරිගණයකය හා රෝගී දෑස් පමණයි. ලේඛකයෙක් නිර්මාණ සඳහා දරන කායික මානසික වෙහෙස නොදන්නා සංස්කෘතික රටාවක් ඇති රටක ලේඛකයා විඳවන්නෙක් බව කිව යුතුය.

 කුසුම්සිරි