2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

පුතා ඔන්ලයින්!

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

රොබින්ගේ සොහොයුරියගේ පුතාට පන්තියේ ළමයි කියන නම ඇම්ඩන්ය. ඒ ඔහු දඟ වැඩ කරන්නෙකු නිසා නොව, ඇම්ඩන්ගේ විහිළු කතා නිතර කියන නිසාය. රොබින්ද කාර්යාලයේදී ඇම්ඩන්ගේ (පුතාගේ) කතා රස කර කර කියයි.

ඊයේ පෙරේදා දවසක ගේට්ටුවෙන් ඇතුළට එන පුද්ගලයකු දුටු ඇම්ඩන් පුතා, භීතියට පත්ව බෙරිහන් දුන්නේය.

මෙන්න ජල බිල්ලා එනෝ.

ඒ ඇසූ අත්තම්මා (රොබින්ගේ මව) ජනේලයෙන් එබුණාය.

කවුද කොල්ලෝ?

මනු කියවන්නා.

මොකෙක් කිව්වා?

මීටර් රීඩර්.

අන්න එහෙම තේරෙන බාසාවකින් කියපංකෝ. ඉතින්, උඹ මොකද ඒ මනුස්සයට ඔය හැටි බයවුණේ?

පත්තරේ තිබ්බා, මනු කියවන්නා ආවොත්, මීටරේ දුරින් ඉන්ඩ කියලා.

ඒක උන් කියන්ඩ ඕනයැ. ඒ මනුස්සයා ළංවෙලා හරි දුරින් ඉඳල හරි මීටරේ බලල යයි. උඹ කොරෝනා හදාගන්නෙ නැතුව ගෙට වෙලා ඉඳින්. අත්තම්මා ජනේලය ළඟින් මෑත් වුණාය.

සවස රොබින් වැඩ ඇරී ගිය පසු, ඇම්ඩන් ඔහු ළඟට ආවේය.

මාමේ රුපිඩ් ඇන්ටිජන් කියන්නෙ මොනවට ගන්න බෙහෙතක්ද?

බෙහෙතක් නෙමෙයි බං, ඒක මිස්ටේක් එකක්.

ඒ කිව්වේ?

බයි මිස්ටේක්.

තේරුණේ නෑ...

කවුදෝ ඒක බෙහෙතක් කියල තියෙන්නේ වැරදීමකින්. රැපිඩ් ඇන්ටිජන් කියන්නෙ, කොවිඩ් ආසාදිතයො අඳුනගන්න පරීක්ෂණ කට්ටලයකට.

මාමා දන්න තරම් දෙයක්වත් පොලිටික්ස්ලා දන්නෙ නෑනෙ. මාමව යවන්ඩ තියෙන්නෙ පාර්ලිමේන්තුවට.

ඒ ඇසූ අත්තම්මා යළිත් මැදිහත් වූවාය.

උඹ හදන්නෙ ඒකගෙත් ලැජ්ජ බය දෙක නැති කරන්ඩද? දැන් අතේ සතේ නැතත්, පාරේ බැහැල යන්ඩ පුළුවන්.

ඒ වගේද අත්තම්මෙ, ලක්ෂ පන්සීයක ස්වීප් එකක් ඇදුණොත් එහෙම? ඇම්ඩන් කට උල්කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසිනි.

ඔය කටකතා පතුරවන්ඩ එපා බං. උඹව නිරෝධායන හිරේට අල්ලං යයි. අත්තම්මා සැර වුණාය.

එහෙනං මරුනෙ අත්තම්මෙ. මේ ගෙදරට කොටු වෙලා ඉන්න එකේ. ආණ්ඩුව ගානේ මරු ට්‍රිප් එකක් ගහල එන්ඩ පුළුවන්.

හෙනං ඔය එක එකා, නිරෝධානෙට අල්ලං යන්ඩ එනවා කියලා පළාතෙත් නොඉඳ පැනල යනව කියන්නෙ.

ඒ කුඩු කේස්නෙ. උන්ට කුඩු නැතුව බෑනෙ. ඒකයි හැංගෙන්නෙ.

කෝකටත් උඹ ඔය සංචරණෙ නවත්තල ගෙට වෙලා ඉඳපං.

ඒ කතාවට රොබින්ට පමණක් නොව, පැත්තකට වී බලා සිටි පූසාටද සිනා ගියේය. ක්‍රිකට් නිසා ක්‍රිකට් වචන ඉගෙන ගත්තාක් මෙන්, අත්තම්මලාද දැන් කොවිඩ් වචන භාවිතයට ගනිමින් සිටිති. 

ඔන්ලයින් වැඩ කිරීමද, කොරෝනාවෙන් පසු සමාජයට එක්වූ අලුත් යෙදුමකි. ඇම්ඩන් පුතාටද පාසල් වසා ඇති නිසා ඔන්ලයින් පාඩම්වලට යොමුවන්නට සිදුවිය. පාසල තිබෙද්දීත්, පාඩමට කම්මැලි ඇම්ඩන්ට, ඔන්ලයින් ලෙසන්ස් මාර හිසරදයක් විය. එහෙත් ඔහු මින් වාසියක් ගැනීමට උපක්‍රමයක් යෙදීය. කාමරයට වී දොර වසාගන්නා ඇම්ඩන්. අත්තම්මාට උපදෙස් දුන්නේ, කවුරුත් තමා ගැන විමසුවත් පුතා ඔන් ලයින්. බාධා කරන්ඩ එපා යනුවෙන් පවසන ලෙසය.

අත්තම්මා, පුතා කියූ දෙය අකුරටම ඉටුකළ අතර ඇම්ඩන් කාමරයට වී දොරගුළු දමාගෙන, ෆේස්බුක් බැලුවේය. යූ ටියුබ් ගියේය. 

එක් දිනක්, පාසලේ ගුරුවරයෙක් ගමනක් යන අතර ඇම්ඩන්ගේ වැඩකටයුතු සොයාබැලීමට ඔහුගේ නිවසට ගොඩවුණේය. ඉස්තෝප්පුවේ සිටියේ අත්තම්මාය.

කෝ ඇම්ඩා... ගුරුවරයා ඇසීය.

පුතා අද නාන කාමරේ. ඔන්ලයින්. කරුණු වටහාගත් ගුරුවරයා පාරට බැස්සේය.

ආණ්ඩුවේ කුණු රෙදි සෝදන මාධ්‍ය ප්‍රකාශකවරුන් ජනතාවට අප්‍රිය නමුත්, කොවිඩ් සමයේ, තම සැඟවුණු කුසලතා මතුකළ, පොලිස් - හමුදා සහ වෛද්‍ය සංගම් මාධ්‍ය ප්‍රකාශකවරු, ඉතාම කෙටි කලක් තුළ රියැලිටි තරු සේ ජනප්‍රියත්වයට පත්වූහ. දැනට ප්‍රචාරනය වන සමහර ‍ටෙලිනාට්‍ය නරඹනවාට වඩා එම මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ වැඩසටහන් බලා සිටීම ප්‍රියජනක බව රොබින්ද පවසයි. අපේ කන්තෝරුවේ බ්‍රිජට් පවසන අන්දමට, හමුදාපතිතුමා, සිවිල් ඇඳුමින් පෙනී සිටින විට, ඇයට කවුදෝ, බටහිර චිත්‍රපට නළුවෙක් සිහියට නැගෙයි. (චිත්‍රපට ලෝලියකු වන බ්‍රිජට්, එසේ පවසන්නේ හමුදාපතිතුමාගේ පෞරුෂය හා ප්‍රසන්න පෙනුම කෙරෙහි ඇති ආදරය නිසාය)

කෙසේ වෙතත්, හමුදා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉහත කී ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් නොමඟ ගොස් ටෙලි හෝ චිත්‍රපට රංගනය කෙරෙහි උනන්දු නොවනු ඇතැයි සිතමු. දැනට ඔවුන් කරන රඟපෑම් හොඳටම ප්‍රමාණවත්ය.

මේ සියලු කොරෝනා කලබල මැද්දේ, අමෙරිකාවේ ජනාධිපතිවරණය නිමවිය. 

මාමේ මමනං හිතන්නෙ, ට්‍රම්ප් පැරදුණේ හිතාමතාම. ඇම්ඩන් රොබින්ට කීවේය.

උඹ කොහොමද බං එහෙම කියන්නෙ?
ට්‍රම්ප්ගෙ යාළුවෙක්, එයාට කිව්වලු ඉලෙක්ෂන් එකෙන් පැරදුණොත් නෝනා ඩිවෝස් වෙන්නයි බලං ඉන්නෙ කියලා.

(මෙම තීරු ලිපියෙහි, දැක්වෙන අදහස් හා කතාවල හිමිකම අප කාර්යාලයේ, රොබින් තරුණ මහතා සතුය.)

- කපිල කුමාර කාලංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00