2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

නවකතාකාරයා නළුවෙක් විදියට හිතන්න ඕන...

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

- ප්‍රවීණ සාහිත්‍යවේදී පරාක්‍රම කොඩිතුවක්කු

කවියකු මතු නොව නවකතා කෙටිකතා රචකයකුද වන පරාක්‍රම කොඩිතුවක්කුගේ අලුත්ම නවකතාව වෙස්ගත් කතාවක් සහ වරද නැති සොරකම කෙටිකතා සංග්‍රහය පසුගියදා සරසවි ප්‍රකාශන ලෙස නිකුත් විය. මේ එම කෘති පිළිබඳව දේශය සමඟ කළ සංවාදයකි.

• වෙනස්ම හැඩයක් ගත් ඔබේ අලුත් නවකතාවත් කෙටිකා පොතත් ගැන අපට කිව්වොත්?

අද සමහර බටහිර විචාරකයන් නවකතාව ART OF THINKING (සිතීමේ කලාවක්) කියා හඳුන්වනවා. එමගින් සමාජ සිතට ලොකු ඇමතීමක් කළ හැකියි. පාඨක සිත කැළඹිය හැකියි. සිත කළඹන්නේ සිතේ නිදිගෙන ඇති චින්තන ශක්තීන් බලගැන්වීමටයි. මගේ ලිවීමේ අරමුණ එබඳු තැතිගත් ඥානයක් ලබාදීමයි. සමාජ විඥානයක් සවිබල ගැන්වීමටයි. එමගින් මිනිසා සශ්‍රීක වෙනවා. සාරධර්ම මහිමයක් නැති සාහිත්‍යයක් විශිෂ්ට වන්නේ නැහැ. දරුණු රිය අනතුරකින් තම බිරිඳත් පුත්‍රයාත් නැති වූ ලේඛකයෙක් දිවි නහගන්ට බැරි නිසා වෙස් වලාගෙන විශ්‍රාමික දිසාපතිවරයකුගේ නිවසේ සේවයට යනවා වෙනස් ජීවිතයක් සොයාගෙන. එහිදී ඔහුට හමුවන වෙනස් වෙනස් ගැහැණුන් මිනිසුන් නිසා ඔහු තුළ ජීවිත පෙරළියක් සිදුවෙනවා. 

• මෙම කෘති දෙකම සරල බස් වහරකින් බලගතු ආකාරයකට මිනිස් හදට ළංවීමට දැරූ ප්‍රයත්නයක් ලෙස අපි දකිනවා. එහි බස ගැන ඔබේ අදහස?

නිර්මාණකාරයාගේ බසත් සාම්ප්‍රදායික සන්නිවේදන බසත් එකක් නොවෙයි. දෙකක්. සාහිත්‍යකරුවා අදහස් කරුණු දක්වන්නෙක් නොවේ. සාහිත්‍යය කියන්නේ හැඟීම් විද්‍යාවක්. හැඟීම් ප්‍රකාශනයෙන් අපූරු සංකල්පා තලයකට යෑමයි. සාහිත්‍යයේ ක්‍රියාන්විතය. නවකතාකරුවා කළ යුතු වන්නේ යමක් කියාපෑම නොවෙයි. යමක් මවාපෑමයි. ඒ නිසයි සාහිත්‍යයේ බස ශාස්ත්‍රීය බසක් නොවෙයි කියන්නේ. ලේඛකයා වියරණ පංතියේ ශිෂ්‍යයෙක් නොවෙයි. සරල ගැඹුර තමයි නවකතා බස. නැනෝ, කොන්ටම්, මිනිමලිසම් ආදී වශයෙන් අද අලුත් විද්‍යාවක් පෙන්වා දෙන්නෙත් කුඩා දේවල් සරල දේවල් බලය ගැනයි.

• ඒ කියන්නේ ඔබේ නවකතාවේ භාෂාව කාව්‍යමය හා කටවහරේ බසක් කියාද?

නැහැ. කවි බසක් නොවෙයි. මම කතාවක් ලියන්නේ සංගීත විඥානයක්, නාට්‍ය විඥානයක් හිතේ ඇතිවයි. නවකතාකාරයා නළුවකු විදිහට සිතන්න ඕනෑ. නිර්මාණකරුවා අමුතු බසකින් කතා කරනවා කියන්නේ ඒ නිසයි. සරල බස කියන්නේ අශාස්ත්‍රීය බසක් නොවෙයි. ඓතිහාසික භාෂා ගංගාවේම පිටාරයක්. ලොව ගැඹුරුම දේ කියන්ට පුළුවන් සරල ආකාරවලින්. &මම නැවතිලා නුඹ දුවනවා... මගේ ධර්මයේ අඩුවකුත් නැත, වැඩියකුත් නැත... ඔහුත් නොවෙයි, ඔහු නොවන්නේත් නොවෙයි.... විශ්වයම තිබෙන්නේ මේ ශරීර කූඩුව ඇතුලේ...* බුදුන් අලුත් දේ කියන්නට සාදාගත්තේ මොනතරම් සරලත්වයක්ද? නවකතාකාරයාට වුවමනා රසික සිතේ පින්තූර මවන රෑපාකාර SCREEN LANGUAGE භාෂාවක්. %ඕජස්වී^ බස් වහරක්. අද නවීන විචාරකයන් ඊට කියනවා VIGOROUS ENGLISH කියලා. වචනවලින් තමයි නවකතාවට ධ්වනිය ලැබෙන්නේ.

• අද බිහිවන බහුතරයක් නවකතා කියැවීමට වෙහෙසකර ලිවීම්, ආකෘති. එහෙත් පාඨකයාට මේ තරම් සොඳුරු ලෙස කතා පුවතක් මැවීමට ඔබේ ලියන ක්‍රමයේ ලක්ෂණ මොනවාද?

නවකතාකරුවා හොඳ කතා පුරුෂයෙක් විය යුතුයි. එහි කතා ගතිය ඉහළින්ම තියෙන්න ඕනෑ. ඒකට උසස් ශිල්පීයත්වයක් තිබෙන්න ඕනෑ. බොහෝ ලේඛකයන් සිතන්නේ තමා ලියූ ප්‍රථම පිටපතම නව කතාවේ අවසන් පිටපතය කියා නැහැ. ඇත්තෙන්ම ප්‍රථම පිටපත තමා නවකතාවේ ආරම්භක පිටපත. හරුකි මුරකාමී කියනවා තමා කතාවක පිටපත් 7ක් ලියන බව. එවිට මුල් පිටපත මුළුමනින්ම වෙනස් වී අලුත් රුවක් ලැබෙනවා. තුන්වන ඇස අන්තිමට දෙන සාරයෙන් තමා නවෝත්පාදනය බිහිවන්නේ. 

• ඔබ නවකතාව ලිවිමට පෙර සැලැස්මක් තනනවාද?

ඔව්, මම නවකතාවට ගාහ සැලැස්මක් පිළියෙළ කර ගන්නවා. නවකතාවට ඇතුළු වන දොර කුඩා එකක්ද? ලොකු එකක්ද? පෞරාණික - නවීන පෙනුමක්ද? වැඩි ආලෝකයක් පතිත කරන කාමරය කතා පෙදෙස මොකක්ද? මීදුමේ අඩ අඳුරේ බොඳකර තබන්නේ මොන කොටසද? වෙනස් පැත්තක් පෙන්වන කුඩා ජනේලයක් ජවනිකාවක් තබනවාද? සෙමෙන් කියනවන පෙදෙස ලොකු පඩිපෙළක්, පටු ගමන් මළුවක පාඨකයා අඩියෙන් අඩිය කැඳවාගෙන යන කතා කොටස කුමක්ද? මේ වැනි ගෘහ නිර්මාණ පැලෑනයකින් තමයි නවකතාවේ හැඩය ගොඩනැගෙන්නේ. බොරු සංකේත පරිසර වැනුම් උපමාලංකාර කතා හෑලි වියරණ ගැට පෑන එහේ මෙහේ ඇදගෙන යෑම.... මේවා නවකතා කලාවේ සතුරෝ. මම නවකතා ලිවීමකදි යථාර්ථයත් - සිහිනයත් අතර රේඛාවක ගමන් කරන්නේ.

• සම්මාන බලාගෙන ලියන නවකතා ගැන චෝදනා බොහෝමයි. මේ අර්බුදය ඔබ දකින්නේ කොහොමද?

මේ වාණිජ ආක්‍රමණය හැම රටකම කලා ක්ෂේත්‍රයට බෝ වෙලා. බ්ලේක් කවියා කීවේ හැම තුරු හිසකම ගිජුලිහිණියන් වසා සිටිනවා කියලා. ඇතැම් කූට පොත් ප්‍රකාශකයෝ, මුග්ධ විචාරකයන් විනිශ්චය මණ්ඩල හා නිවට මාධ්‍ය ප්‍රචාරකයින්ද අත්වැල් අල්ලාගෙන සම්මාන කොල්ලයක් අපේ රටේත් දැන් කරගෙන යනවා. එය වැළැක්විය නොහැකියි. එදා පේරාදෙණි සාහිත කොල්ලය ගැන සිසිර කුමාර මාණික්කාරච්චි නිර්භය හෙළිදරව්වක් කළා. එම යථාර්ථයේ නිරුවත පෙන්වා දිය හැක්කේ සේන තෝරදෙණිය, සුනිල් ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, ආරියරත්න ඇතුගල වැනි ස්වාධීන දැක්මක් ඇති නිවහල් විචාරකයන්ටයි.

• විදෙස් සම්මාන උළෙල ගැනත් විවිධ චෝදනා තිබෙනවා නේද?

ඇමෙරිකාවේ සම්මාන ප්‍රදාන ගැනද අද උග්‍ර විවේචන තිබෙනවා. ඉන්දියාවේ දැන් සම්මාන සංස්කෘතියක් බිහිවි ඇති බවත් ඒ පිටුපස තරුණ සාහිත්‍ය නඩ ඇති බවත් ජිලානි බාන්ද් ඉන්දීය ලේඛිකාව හෙළිදරව් කළා. මේ වෙළෙන්දන් මාධ්‍යයත් ආක්‍රමණය කරනවා. හොඳ පොතක් ගැන (විදෙස් හෝ මෙරට) ආනන්දනීය අර්ථසාර වැඩසටහනක් රජයේ රෑපවාහිනියකවත් තිබෙනවාද? ඒවායේ කතා කරන වැඩි දෙනෙක් පුස්සෝ. නව රජයටත් ආර්ථික දේශපාලන දැක්මක් ඇතත් සංස්කෘතික ඇසක් නැහැ. සංස්කෘතිය කියන්නේ වෙහර විහාර උඩරට නැටුම් සීගිරි චිත්‍ර නොවේ. ඒවා සංස්කෘතික දායාදයන්. වෙනස් වන ලොව සමඟ වෙනස් වන සංස්කෘතියක් අපේ පාරම්පරික මුතුන් මිත්තන්ගේ දැනුම් මං ඔස්සේ. ගොඩනගා ගැනිමෙනුයි සංස්කෘතික පෙරළියක් සිදුකළ හැක්කේ.

• බටහිර විචාරකයන්ද සංස්කෘතිය හා සාහිත්‍යය යන දෙකේ සබඳතාව ගැන කියනවා නේද?

ඔව්. අද බටහිර විචාරකයින් පෙන්වා දෙන්නේද සංස්කෘති රුහැනකින් (CULTURE CODE) තොර සාහිත්‍ය ව්‍යාජයක් බවයි. එයින් අදහස් වන්නේ ලේඛකයා සංස්කෘතික මල්ලක් කරේ එල්ලාගෙන යා යුතුයි කියන එක නොවෙයි. සංස්කෘතික - සමාජ විඥානයකින් නිර්මාණයක් පලදැරිය යුතුය යන්නයි. මම සිනමාව නිපදවන්නේ වෙළෙඳපොළට නොවෙයි සංස්කෘතියටයි මහ සිනමාකරු ස්පිල්බර්ග් පවසනවා. සියල්ල අතීතයෙන් ඇදගන්න. ඉතිහාසයක් නැත්නම් මුකුත් නෑ ඔහු කියනවා. එවැනි කතාවල චරිත දෙපා නොල්ද්දන් මනස් පුතුන් බව වික්‍රමසිංහ - අමරසේකර පෙන්වා දුන්නා. පෝස්ට් මොඩන්කාරයන්ගේ සම්මානිත නවකතා හරියට දැන් ලොකු හෝටල්වල රෑගත කරන ටෙලිනාටකවල සිටින චරිත වගේ පය ගසන පොළොවක් නැහැ.

 කුසුම්සිරි