2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අැති ලෙඩ නැතිවෙන නැතිලෙඩ අැතිවෙන සම්බාහනය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 1056

සම්බාහන මධ්‍යස්ථාන, මසාජ් ක්ලිනික් එහෙමත් නැත්නම් ස්පා වෙත ඇදී යන්නට බොහෝ දෙනකු හුරුවී සිටින්නේ සම්බාහනයද ශරීරයට අත්‍යවශ්‍යයම ප්‍රතිකාර ක්‍රමයක් වන නිසාය. එහෙත් ආයුර්වේදය යන නාමය විකුණමින් රට පුරා විවිධ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර මේවා බොහොමයක්ම ලිංගිකත්වය මුල් කරගනිමින් පවත්වාගෙන යන ඒවාය. සම්බාහනය අපේ සිරුරට අත්‍යවශ්‍යය වුවත් නිවැරදි සම්බාහන ප්‍රතිකාර වෙත නොයෑමෙන් සිදුවන්නේ සිරුර තිබුණාටත් වැඩියෙන් රෝගාතුර වීමයි. නිවැරදි සම්බාහන ප්‍රතිකාර ක්‍රමයක් වෙත අප යොමුවන්නේ කෙසේද? මේ පිළිබඳව අපේ වෙදකමෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතායි.
සම්බාහනය ගැන අද විශාල වශයෙන් කතාබහ වෙනවා. මෙම සම්බාහනය කියන ප්‍රතිකාර ක්‍රමය ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයෙන් සිදුකරනවා. චීනය, තායිලන්තය, උතුරු හා දකුණු ඉන්දියාව, රුසියාව, අමෙරිකාව ආදී මේ සියලුම රටවල මෙම ප්‍රතිකාර විවිධ වූ ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකෙරුණත් ඒ සෑම ආකාරයකින්ම සිදුකරන්නේ මිනිසාගේ නිරෝගී බව ඇති කිරීමයි. 

කායික හා මානසික සහනයක්
සම්බාහන ප්‍රතිකාර යනු මිනිසාගේ කායික හා මානසික වශයෙන් ඇතිවන නොයෙක් පීඩාකාරී තත්ත්වයන් සමනය කරගැනීමට අවශ්‍ය වූ ප්‍රතිකාර ක්‍රමයකි. ලෝකයේ හැම රටකම ඒ ඒ රටවලට ආවේණික ක්‍රමවේදවලට අනුවද, ඒ ඒ රටවල දේශීය ප්‍රතිකාර ක්‍රමවලට අනුවද සැකසුණ මෙවැනි ප්‍රතිකාර ක්‍රම ඇත. අපේ රටෙත් යම් යම් රෝග අවස්ථාවන් සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාරයක් ලෙස මෙය ප්‍රචලිත වේ.

හතු පිපෙන ගණනට ස්පා
අතීතයේ පටන්ම යම් අපහසුතාවයක්, රෝගී අවස්ථාවක් මතු වූ විටෙකදී තෙල් සාත්තුවක් දමා එම ස්ථානය මෘදු ලෙස සම්බාහනය කිරීම සිදුකරනු ලැබීය. එය තරමක් දියුණු අවස්ථාවට පත්වූ විට මාංශපේෂීවල පිහිටීම, රෝග අවස්ථාව හඳුනාගැනීම සේම, විශේෂයෙන්ම සිරුරේ නිල පිහිටීම අවබෝධ කරගෙන ඊට අනුරූප ලෙස සම්බාහන ප්‍රතිකාර ක්‍රම සිදුකෙරිණි. 

පොදුවේ අපේ වෙදකමත් සමඟ සම්බාහනය සම්බන්ධයෙන් අද මතුවී ඇති ගැටලුව වන්නේ හතු පිපෙන ගණනට ආයුර්වේද සම්බාහන ආයතන නැතිනම්, ස්පා නමින් සෑම නගරයක්, ගමක් පාසා මධ්‍යස්ථාන බිහිවීමයි. මෙවැනි ස්ථාන ආශ්‍රිතව නිවැරදි ක්‍රමවේදයන්ට අනුව ප්‍රතිකාර සිදුකෙරෙනවාද, ඒවා මානසික ආතතිය සමනය කිරීම සඳහා භාවිත කරනවාද, එසේත් නැත්නම් ලිංගික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරගැනීම සඳහා වක්‍රාකාරයෙන් සිදුකෙරෙන ක්‍රමවේදයන්ද යන්න ගැටලුකාරී තත්ත්වයක් මේ වනවිටත් මතු වී ඇත.

සම්බාහන ආයතන මුවාවෙන් ගණිකා මධ්‍යස්ථාන
ගණිකා වෘත්තිය නිත්‍යනුකූල නොවන අපේ රටේ නීතියට මුවාවෙන් එම වෘත්තිය පවත්වාගෙන යන ක්‍රමවේදයන් කිහිපයක්ම ඇති අතර සම්බාහන මධ්‍යස්ථානද එවන් එක් ආකාරයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුව නියමාකාරයෙන් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවලට මේ මගින් ඇතිකෙරෙන්නේ විශාල බලපෑමකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයකදී කායික හා මානසික වශයෙන් රෝගියා හොඳින් හඳුනාගෙන රෝගියාට අවශ්‍ය ඖෂධ හා ස්ථානීය වශයෙන් කරන බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

මුහුණට සම්බාහනයක්
මුහුණ සම්බාහනය කිරීමේදී එය සිදුකරන පුද්ගලයා තුළ මුහුණේ මාංශපේෂි පිහිටා තිබෙන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් තිබිය යුතුයි. නමුත් අද වනවිට සම්බාහන මධ්‍යස්ථාන වැඩි ප්‍රමාණයක ඉන්නේ මේ සම්බන්ධ නිසි අවබෝධයක් නැති පිරිස්ය. එසේ නිසි අවබෝධයකින් තොරව එක් එක් අතට සම්බාහනය කරමින් සිදුකරනු ලබන සම්බාහනයකදී සිදුවන්නේ සමේ පේෂීන් ඇදීමට ලක්වීමයි. එහිදී සමේ ඒ ඒ කොටස් ඇදවීම සේම එල්ලා වැටීමකට ලක්වීමද සිදුවිය හැක. එසේම සම්බාහනයක් සිදුකිරීමේදී එය සිදුකළ යුත්තේ කොතැනටද, සිදුනොකළ යුත්තේ කොතැනටද, යන්න පිළිබඳවද අවබෝධයක් සම්බාහනය සිදුකරන පුද්ගලයා තුළ තිබිය යුතුය. එසේ නොවුවහොත් සිදුවන්නේ යම් රෝගී අවස්ථාවක් තිබෙනවානම් එය තවදුරටත් වැඩිවීම පමණකි.

ෆුල් බොඩි මසාජ්
වර්තමානයේදී බොහෝ දෙනකු සම්බාහන මධ්‍යස්ථාන වෙත පිවිසෙන්නේ සිරැරේ නිරෝගී බව ආරක්ෂා කරගැනීමටය. මෙහිදී බොහෝවිට ඔවුන් ෆුල් බොඩි මසාජ්, එහෙමත් නැතිනම් මුළු සිරුර ආශ්‍රිතවම සම්බාහනයක් සිදුකරගන්නා අතර මෙම සම්බාහනය සිදුකරන්නේ ඇතැම් විට පුහුණු සම්බාහකයෙක් හෝ නුපුහුණු සම්බාහකයෙක් විය හැකිය. සම්බාහනය නිමවීමෙන් අනතුරුව සම්බාහනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරට යම් සැහැල්ලු බවක් දැනුණද නුපුහුණු පුද්ගලයකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම සිදුකෙරෙන සම්බාහනය නිසා වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට සම්බාහන මධ්‍යස්ථාන වෙත ගිය පුද්ගලයන් හට නැති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවූ අවස්ථාද තිබෙන්නට පුළුවන. එබැවින් සම්බාහනය යන්නට නිරතුරුවම හොඳ ප්‍රමිතියක් තිබිය යුතුය. 

මානසික අාතතියටත් කියාපු බෙහෙතක්

සම්බාහනයක් අවශ්‍ය වන රෝගී අවස්ථා
යම් රෝගියකු හට සම්බාහනයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කරන්නේ වෛද්‍යවරයකු විසිනි. වෛද්‍යවරයා මෙය තීරණය කරන්නේ රෝගියා පෙළෙන පීඩාකාරී තත්ත්වය දෙස බලාය. නිදසුනක් ලෙස හිසේ සම්බාහනයකදී හිස කෙස්වල ගැලවීම, කෙස් ඉදීම, හිසේ සමෙහි රුධිර සැපයුම, මානසික ආතතිය සමනය, ඇස් ආදියට සහනයක් සැලසෙන අතර වඩාත් සැහැල්ලුභාවයක් දැනේ. එබැවින් හිසේ යම් රෝගී අවස්ථාවක් ඇත්නම් සතියකට දෙතුන් වතාවක් හිස සම්බාහනය කිරීම සඳහා රෝගියා යොමු කිරීම වෛද්‍යවරයා විසින් සිදුකරනු ඇත. ඕනෑම නිරෝගී පුද්ගලයකුට වුවද එවැනි සම්බාහනයකින් සිදුවන්නේ යහපතකි.
එහෙත් ඇතැම් රෝග අවස්ථාවලදී එනම්, මොළයේ ගෙඩියක් පැවතීම වැනි රෝගී අවස්ථාවකදී සම්බාහනය කිරීම වැනි දේ සිදුනොකරන අතර එහිදී සිදුකළ යුත්තේ වෙනත් ප්‍රතිකාරයන්ය.

තනියෙන් සම්බාහනය කිරීම භයානකයි

සිරුරට සම්බාහනය අවශ්‍යයි
අපේ සිරුරට නියමිත පරිදි සත්කාර නොකළහොත් සිරුර අපෙන් ගිලිහේ. විනාශ වී යයි. අප අපගේ සිරුර රුකබලා ගන්නා තරමටම අපගේ පැවැත්ම යහපත්ය. අපි නාන්නේ නැත්නම්, අපගේ සිරුර පිරිසුදු කරන්නේ නැත්නම්, සිරැරේ සෑම අංගයක් ගැනම සැලකිලිමත් නොවන්නේ නම් සිරුර අපට අවශ්‍ය ආකාරයට රඳා පවතින්නේද නැත. සම ගැන සැලකිලිමත් නොවීමෙන් සම දුර්වර්ණ වී යයි. විනාශ වී යයි. සම ලස්සන කරන්නට සිදුකරන ආලේපයන් සේම, සමස්ත ශරීරයම නියම ආකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා සම්බාහනය වැනි ප්‍රතිකාර ක්‍රම අවශ්‍යයම වේ.

තමන්ම සම්බාහනය කරගැනීම භයානකයි
මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වන ආකාරය බලාහිඳිමින් තමන්ම සම්බාහනය කිරීම එතරම් සුබදායක දෙයක් නොවේ. එවැනි අවස්ථාවකදී ඒ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගෙන් අවශ්‍ය දැනුම්වත්වීම් ලබාගත යුතුයි. එසේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ශරීර ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර තෙල් වර්ගයක් වේවා, ක්‍රීම් වර්ගයක් වේවා, මේ ඕනෑම දෙයක් තෝරාගැනීමේදී නිරතුරුවම තමන්ට ගැළපෙන දේ තෝරාගැනීමට වගබලාගත යුතුය.

හරියට කළොත් මාර සැහැල්ලුවක්

පාද සම්බාහනයේදී පරිස්සම් විය යුතුයි
දෙපතුල්වලට නිවෙසේදී කළ හැකි සත්කාරයක් ලෙස බොහෝ කාන්තාවන් හුරැවී ඇති ක්‍රමවේදයක් වන්නේ උණුවතුර භාජනයකට ෂැම්පු ස්වල්පයක් හෝ වෙනත් පිරිසුදුකාරකයක් දමා ඒ මත දෙපතුල් ගිල්වා මෘදු ලෙස පිරිමැදීමයි. මෙහිදී උණුවතුරට දෙහි ස්වල්පයක් දමා දෙපතුල් පිරිසුදු කිරීම ගැටලුකාරී නොවූවත් ෂැම්පු වර්ග හා වෙනත් පිරිසුදුකාරකයක් භාවිත කිරීම එතරම් සුබදායක නැත.

පංචකර්ම ප්‍රතිකාර
සම්බාහන මධ්‍යස්ථාන බොහෝදුරට පවත්වාගෙන යන්නේ ඒවා තුළ පංචකර්ම ප්‍රතිකාර සිදුකරනු ලබන බව කියමිනි. පංචකර්ම ප්‍රතිකාර දියුණු වෛද්‍ය ක්‍රමයක් පදනම් කරගෙන කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයකි. එහිදී පස්වැදෑරුම් ක්‍රමයකට ශරීරය පවිත්‍ර කරගැනීම සිදුකෙරේ. මෙහි පළමු ක්‍රමය නස්න කර්මයයි. මෙම නස්න කර්මය සිදුකරන්නේ හිස මුහුණ ආශ්‍රිතව තිබෙන ශ්‍රෝතස් මාර්ග ශෝධනය කරගැනීමයි. එනම් නල මාර්ගවල ඇති අපවිත්‍ර බැඳීම් ඉවත් කරලා සුද්ධ කරලා හොඳින් ඒවායෙහි ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට පිරිසුදු කරගැනීමයි. මූලික වශයෙන් අපගේ නාසය මුල්කරගෙන පිරිසුදු කිරීමේ කටයුතු සිදුකරයි. මේ හරහා අපට බොහෝ රෝග සමනය කරගැනීමේ හැකියාව ලැබේ. මෙය කළ යුත්තේ ක්‍රමවත් ආකාරයටයි. මෙහිදී රෝගියා ප්‍රතිකාර කිරීමට සූදානම් කිරීම සඳහා වූ ප්‍රථම කර්මද, අනතුරුව නස්නයද, නස්නයෙන් පසු සිදුකෙරෙන පශ්චාත් කර්මද ඇත. රෝගියා නැවතත් හිටපු තත්ත්වයට පත්කරගන්නේ මෙම පශ්චාත් කර්ම හරහාය. මේ සඳහා නියම වෛද්‍ය උපදෙස් අනුව ආහාර විහරණ පාලනය කර ඖෂධ ලබාදීමද සිදුකරනු ලැබේ. මේ ආකාරයට අනෙකුත් පංචකර්ම ප්‍රතිකාර වන වමන කර්මය හරහා පපු ප්‍රදේශය ආශ්‍රිතව ශ්‍රෝතස් ශෝධනය කිරීමද, විරේචන කර්ම හරහා අධර උදර ප්‍රදේශයේ ඇති අපද්‍රව්‍ය එම මාර්ගයෙන් බැහැර කිරීමද, වස්ති කර්ම හරහා අධෝගත උදරයේ ඇති දෝෂ බැහැර කිරීමද, රක්ත මෝක්ෂණය හරහා ශරීරයේ දූෂිත රක්තය ඉවත් කිරීමද සිදුකෙරේ. මෙම සියලු ප්‍රතිකාරවල සිදුවන්නේ මුළු ශරීරයම පවිත්‍ර කරගැනීමකි. මේ අනුව සම්බාහන මධ්‍යස්ථානවල පංචකර්ම ප්‍රතිකාර ලෙස සඳහන් කර තිබුණද එවැනි ප්‍රතිකාර ක්‍රමයක් මේ කිසිදු තැනක සිදුවන්නේ නැත. පංචකර්ම කිරීමේදී ඉහත ප්‍රධාන කර්ම පහ යටතේ පංචකර්ම සිදුකළ යුතු අතර මෙම බොහොමයක් මධ්‍යස්ථානවල සිදුකරන්නේ නිග්ධ ශ්වේද ක්‍රමවේදයයි. එනම් තෙල් ගල්වා වාෂ්ප අල්ලා මසාජ් කිරීම පමණක් මෙහිදී සිදුවේ. මෙය ශරීරය සැහැල්ලු කරගැනීමට වැදගත් වුවද එය වෛද්‍ය ප්‍රතිකර්මයක් නොවේ. නියම පංචකර්ම ප්‍රතිකාර ක්‍රමවේදයකදී අප සඳහන් කළ අවස්ථාවන් එසේම සිදුකළ යුතුය.

හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ l අන්තර්ජාලයෙනි)

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00