2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ලංකාවේ ගැහැනුන් බිංදුවටම දාලා

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 204

කැෆේ සංවිධානයෙන් හෙළිදරව්වක්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ශ්‍රී ලංකාව කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රටක් වන බව සාමාන්‍ය බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ මතය වී තිබේ. මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට ඡන්ද හිමිකම ලැබෙන්නේ (සර්ව ජන ඡන්ද අයිතිය) 1928දී ය. එයින් වසර තුනකට පසු ලාංකික කාන්තාවට ද ඡන්ද හිමිකම ලැබීම තුළ පිළිබිඹු වූයේ සමාජයක් ලෙස රටක් ලෙස ශ්‍රී ලංකාව අත් කරගෙන තිබූ ඉදිරිගාමීත්වය මිස අනිකක් නොවේ. 

නමුත් 1931 වසරේ සිට වසර 86ක් ගෙවුණු තැන ලාංකික කාන්තාවට හිමි තැන කුමක්ද? ඒ ගැන නැවත ප්‍රශ්න කළ යුතුව ඇති බව කැෆේ සංවිධානය විසින් මෑතක පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරිණ. එනම් 2006 සිට 2016 අතර  දශකයක කාලයේදී ලෝකයේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය වැඩිම බිඳවැටීමකට ලක්වුණු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  2006 දී ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතා දර්ශකයේ 13 වන ස්ථානයේ සිටි අප රට 2016 දී 100 වන ස්ථානය දක්වා පසු බැස තිබේ. කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ පුරැෂ මුලික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය නිසා මෙවැන්නක් සිදුව ඇති බව ය. 

1931 මැතිවරණය හරහා එවක ව්‍යවස්ථාදායකය වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි කාන්තා නියෝජනය සමස්ත නියෝජනයෙන් සියයට 4ක් විය. වසර 86ක් ගතවන මේ මොහොතේදී අද ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5කි. තව ද පාර්ලිමේන්තුවට ද එහා ගිය කාන්තා නියෝජනයක් දැකිය හැකි පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල තත්ත්වය ඊටත් වඩා බරපතළ ය. එනම් පිළිවෙළින් සියයට 4ක් හා සියයට 2ක් වේ. 
2015දී ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ වාර්තාවකින් ලොව පාර්ලිමේන්තු 139ක අධ්‍යයනයකින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රඳවා තිබුණේ 130 වැනි ස්ථානයේ ය. ඊට අතිශය අවම මට්ටමක පවත්නා කාන්තා නියෝජනය ද ප්‍රබල හේතුවක් විය. 

ශ්‍රී ලංකා ජනගහනයෙන් බහුතරය එනම් සියයට 54ක් කාන්තාවන් ය. නමුත් රටට අදාළ තීරණ ගැනීමේ අයිතිය දරා සිටින සියයට අනූ පහක්ම පිරිමි ය. කොටින්ම පසුගිය රජය සමයේදී කලක් කාන්තා කටයුතු අමාත්‍යංශය භාරව සිටියේද ඇමැතිවරයෙකු විසිනි.  කාන්තාවන් පිළිබඳව, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සංවේදීතාවක් නොමැති රටක් බිහි වන්නේ මෙවැනි පසුබිමක් තුළය. 
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කළ යුතු යැයි අද පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තන්ම 2016 කාන්තා දිනයේදී කෑ මොර දුන්හ. පුවත්පත් පිටු පුරා ලොකු අදහස් සමඟ ඉඩ පිරවූහ. එසේ කියූ කටවලින්ම අද පළාත් පාලන කාන්තා නියෝජනය සියයට 25ක් කළ නොහැකි යැයි කෙඳිරෙන්නට පටන් ගෙන තිබේ. 

කාන්තාවන්ට සම තැන දීම අතින් ශ්‍රී ලාංකිකයෝ ප්‍රගතිශීලි බවට විවාදයක් නැත. එසේ නොවන්නට ලොව පළමු අගමැතිනිය බිහිවන්නේ ලංකාවෙන් නොව 1966දී ඉන්දියාවේ බලයට පත් ඉන්දිරා ගාන්ධි ය. අනතුරැව 1994දී විධායක ජනාධිපතිනියක් පත් කරගත් ලාංකිකයෝ දෙවරක්ම ඇයට එම තනතුර හිමිකරදුන්නේ කාන්තාවක් අතින් තමන් පාලනය වීම ගැන අබමල් රේණුවක හෝ චකිතයක් තමන් තුළ නොවූ නිසා ය. 
එසේනම් කාන්තා නියෝජනය අඩුවීමට බලපානුයේ කුමක් විය හැකිද? ඊට මූලිකම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය පත්ව ඇති ජරාජීර්ණ තත්ත්වයයි. සිරිමාවෝ බණ්ඩාරනායක මෙරට අගමැති ධූරයට පත්ව සිටි යුගයට හාත්පසින්ම වෙනස් යුගයකට ශ්‍රී ලංකාවේ දේශපාලනය තල්ලු වී ගොස් තිබේ. අම්මා යන සංකල්පය පෙරදැරිව කාන්තාව ගැන කතාකරන සමාජයක් පවතින රටක් ලෙස ලංකාවේ අද දේශපාලනයට පා තැබීමට කාන්තාවක් සිතන්නේ නම් ඒ තමන්ගේ ආත්ම ගරුත්වය ලංසුවට තබමිනි. එකක් අද දේශපාලනයට මැර දේශපාලනය නමින් විශේෂණයක් එක්ව තිබේ. එවැනි වටපිටාවක පිරිමින් හා එකම මට්ටමක ගැටෙමින් ක්‍රියාකිරීම කාන්තාවන්ට අමාරු දෙයක් නොව කරන්න බැරි දෙයකි. 

ගෝලීය දර්ශක මගින් විවිධ දත්ත සංඛ්‍යා ලේඛන ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යාය ධර්ම ගැන ඒ ඔස්සේ දේශනා කරනු ඇත. නමුත් මහ පොළොවේ යාථාර්ථය ඊට තරමක් වෙනස් වුවද දේශපාලනයේ කාන්තා නියෝජනය පිරිහී යාම නිසා රට තුළ ප්‍රශ්න ගැටලු වැඩිවෙමින් පවතින බව ඉඳුරා පැහැදිලි ය. කුස්සියේ ප්‍රශ්න ගැන ළමුන්ගේ ප්‍රශ්න ගැන අධ්‍යාපනය ගැන සෞඛ්‍යය ගැන තර්කානුකූල බුද්ධියකින් තීරණ ගැනීමම සුදුසු නැත. කාන්තාවක් සතු නිසඟ සංවේදී සිත ද ඊට මුසුවන්නේ නම් තවමත් සංවර්ධනයවන වැඩි ග්‍රාමීය ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටක ජනතාවට සංවර්ධනයේ සුබ සිහින දැකීමට අසීරැ නොවනු ඇත. 

 රජිත ජාගොඩ ආරච්චි 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00